කොවිඩ් හේතුවෙන් ලෝකය වෙනස් වෙන්නේ මෙහෙමයි | Page 3 | සිළුමිණ

කොවිඩ් හේතුවෙන් ලෝකය වෙනස් වෙන්නේ මෙහෙමයි

ආසාදිතයන් දිගින් දිගටම වාර්තා වුවද මරණ සංඛ්‍යාවද අඩුවක් නොපෙන්වූවද තවදුරටත් ආර්ථීකය යන සාධකය මත පදනම් වෙමින් ලොව බොහෝ රටවල් කොවිඩ් ලොක්ඩවුන් අවසන් කරමින් තිබේ. එහෙත් ඒ බොහෝ ආරක්ෂක විධිවිධාන පවත්වා ගනිමිනි. එසේ කිරීමට රටරටවල ජනතාවට උපදෙස් ලබා දෙමිනි.

මේ හේතුවෙන්ම යළිත්වරක් තම නිවෙස්වලින් බැහැර ගියද බොහෝ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පිළිපැදීමට ජනතාවට සිදුව තිබේ. පසුගිය මාර්තු මස ලෝකයේ බොහෝ රටවල ජනතාවට තම නිවෙස් තුළට වී සිටීමට නියෝග ලැබුණු අතර ඔවුන් යළි ‍තම නිවෙස්වලින් ඉවතට පැමිණෙන විට ලෝකය බෙහෙවින් වෙනස් තැනක් බවට පත්වී ඇත්තේ පෙර නුවූ විරූ නීති රීති රැසක් ද සමගිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කොවිඩ් සඳහා එන්නත් සියයකට වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කර තිබුණද සායනික පර්යේෂණ සඳහා යොමු කිරීමට තරම් සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණේ ඒ අතරින් 8ක් පමණි. එම එන්නත් 8ම සායනික පර්යේෂණවලදී ආසාර්ථක වූ අතර ලෝකය තවමත් කොවිඩ් සඳහා නිශ්චිත එන්නතක් නොමැතිව අසරණව සිටී. එබැවින් එන්නතක් සොයා ගන්නා තුරු මිනිස් වර්ගයාට කොවිඩ්වලින් නිරතුරු ප්‍රවේශම් වීමට සිදුවනු ඇති අතර තම ජීවන රටාවද කොවිඩ් අනුව වෙනස් කර ගැනීමට සිදු වනු ඇත.

කොවිඩ් වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් සඳහා සමස්ත මිනිස් වර්ගයාට මාර්තු මාසයට පෙර පැවති තමන්ගේ සාමාන්‍ය චර්යා රටාවන් වෙනස් කර ගැනීමට සිදුවනු ඇත. ඒ සියල්ල අවසානයේ බිහි වනු ඇත්තේ මෙතෙක් නොපැවති අන්දමේ ලෝකයකි.

මෙහිදී මිනිසුන්ගේ එදිනෙදා ජීවන රටාව මෙන්ම ලෝක බල ව්‍යුහයන්ගේද වෙනසක් වනු ඇති බවට විචාරක මත පළ වී තිබේ. ඒ අනුව ආසියා කලාපයෙන් ලෝක බලවතුන් බිහිවනු ඇති අතර චීනයට අමතරව දකුණු කොරියාව සහ සිංගප්පූරුව එම ලැයිස්තුවේ නිශ්චිත ස්ථාන හිමි කර ගැනීමට නියමිතය.

කොවිඩ් වසංගතයෙන් පසු මෙතෙක් පැවති ගෝලීයකරණය අහෝසි වනු ඇති යන්න තවත් මතයකි. ගෝලීයකරණය යනු පසුගිය සියවසේදී මහත් ජනප්‍රිය වූ මතයකි. වේගයෙන් දියුණු වූ තාක්ෂණයත් සමග මෙය ක්‍රියාවට නැංවීමේ පහසුකම් මෙන්ම ප්‍රයෝජනද විය. එහෙත් කොවිඩ් වසංගතයෙන් පසු ලෝකයට සමීප බව නොව දුරස්ථ බව පවත්වා ගැනීමේ අවශ්‍යතා මතු වී ඇති බැවින් ගෝලීයකරණය තව දුරටත් වලංගු නොවනු ඇති බවට මත පළ වී තිබේ. එසේත් නොමැතිව මෙතෙක් පැවති තත්ත්වය තවදුරටත් ඉදිරියට පවතින්නේ නම් එය බොහෝ දුරට චීනය මූලික වන ගෝලීයකරණයක් වනු ඇති බවද පැවසේ.

වසංගතයෙන් පසු මෙතෙක් පැවති ලෝක රටාවේ නොයෙක් රැකියා සඳහා පැවති ප්‍රමුඛතාව උඩුයටිකුරු වනු ඇතැයි තවත් විචරකයන් පෙන්වා දී තිබේ. ඒ අනුව පෙර පැවති ඇතැම් රැකියා අවස්ථා සඳහා ඉල්ලුම වේගයෙන් පහළ බැසීමටත් ඇතැම් රැකියා වැදගත්කමින් වැඩිවී, රටරටවල පැවැත්මට අත්‍යවශ්‍ය රැකියා බවට පත්වීමටත් වැඩි ඉඩක් ඇති බව පැවසේ. ඒ යටතේ මෘදුකාංග, වෙබ් අඩවි සහ අන්තර්ජාල සබඳතා අංශවල ව්‍යපාරිකයන් වේගයෙන් ලාබ ලැබීමට නියමිත අතර ප්‍රවාහන ඇතුළු තවත් අංශ රැසක රැකියා අවිනිශ්චිත වීමටද නියමිතය.

යුරෝපයේ බොහෝ රටවලට ගැටලුවක් වූ සංක්‍රමණිකයන්ගේ පැමිණීමද වසංගතයෙන් පසු පාලනය වනු ඇතැයි බලාපොරොත්තු වන්නේ බොහෝ ප්‍රධාන පෙළේ යුරෝපා රටවල් කොවිඩ් වසංගතයෙන් අධික ලෙස පහර කෑමට ලක් වූ බැවිනි. ඒ අනුව තම රටවල් වඩා ආරක්ෂිත ලෙස පිළිගැනීමට බොහෝ ආසියා සහ අප්‍රිකා කලාපීය රටවල ජනතාව පෙළඹී තිබේ.

තවත් අනුමානයකින් පැවසෙන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් කාර්යාල තවදුරටත් අත්‍යවශ්‍ය දෙයක් නොවනු ඇති බවයි. මේ වන විට ලොව පුරා රටරටවල ජනතාව තම නිවෙස්වල සිට රාජකාරීන්හි නිරතවී ඔප්පු කර පෙන්වා ඇති බැවින් තවදුරටත් කාර්යාලවලට පැමිණීම සේවය කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් නොවනු ඇතැයි මත පළ වී තිබේ. සැබැවින්ම මෙසේ කාර්යාල අහෝසි වීම රටරටවල තවත් ගැටලු රැසකට පිළිතුරු සපයනු ඇතැයිද, විශේෂයෙන්ම ප්‍රවාහන සේවා සහ රථවාහන තදබදය, ඉන්ධන මිල ඉහළ යෑම, මාර්ග නඩත්තුව වැනි ගැටලු සඳහා ඉබේම පිළියම් ලැබෙනු ඇති බව විචාරකයන්ගේ අදහසයි.

කොවිඩ් වළක්වා ගැනීමේ පියවරයන් අතර පළමුවෙන්ම හමුවන්නේ මිනිසුන් අතර ආරක්ෂිත දුර පවත්වා ගැනීමය. ඒ අනුව කෙදිනක හෝ කොවිඩ් සඳහා එන්නතක් සොය ගන්නා තුරු එකිනෙකා අතර මීටරයේ දුර පවත්වා ගැනීමට මිනිසුන්ට සිදු වනු ඇත. මේ වන විටත් භාණ්ඩ මිලදී ගැනීමේ පොළිම්වලදී, බැංකු සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා පෝළිම්වලදී එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වා ගැනීමට මිනිසා පුහුණු වෙමින් සිටී. මීට අමතරව ඉදිරියේදී ආපනශාලා මෙන්ම මංගල, අවමංගල වැනි උත්සව අවස්ථාවලදීද එකිනෙකා අතර මීටරයක දුර පවත්වා ගැනීමට මිනිසුන්ට සිදුවනු ඇත. මෙය තරමක් නුහුරු ක්‍රියාවක් වනු ඇති බවත් සුහද එකිනෙකා සමග කතාබස් කිරීමේ සුන්දර මිනිස් චර්යාව කොව්ඩ් හේතුවෙන් අමතක කර දැමීමට මිනිසුන්ට සිදුවනු ඇත.

මේ වන විටත් තම ගුවන් සේවා ක්‍රියාත්මක කරන රටවල් රාශියක් ගුවන් යානාවල ආසන ගණනට වඩා අඩු සංඛ්‍යාවක් මගීන් ඇතුළත් කර ගනිමින් ආසන අතර දුර පවත්වා ගැනීමට ක්‍රියා කරමින් සිටී. නවසීලන්තයේ අගමැතිනිය තම සැමියා සමග ආහාර ගැනීමට අවන්හලක් වෙත ගිය නමුදු ඇයව අවන්හල් සේවකයන් විසින් හරවා යවා තිබුණේ කොවිඩ් ආරක්ෂණ ක්‍රමවේද මත අවන්හලට ඇතුලත් කර ගන්නේ පාරිභෝගිකයන් සුළු සංඛ්‍යාවක් පමණක් බව පවසමිනි.

ඒ අනුව ඉදිරියේදී ආපනශාලා සහ ගුවන් යානා පාඩු ලැබීම වැළැක්වීමට අමතරව කටයුතු කිරීමට ව්‍යාපාරිකයන්ට වෙනම ආයාසයක් දැරිය යුතු වනු ඇත. ඒ යටතේ ගුවන් ගමන් මිල වැඩි කිරීමට හෝ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීමට සිදු වනු ඇත. ආපනශාලාවල ආහාරපාන මිල නම් වැඩිවීමට ‍ඇති ඉඩකඩ වැඩිය. එමෙන්ම අඛණ්ඩ ආහාර පාන සැපයීමේ දුශ්කරතාවලට මුහුණ දීමට විවිධ රටවලට සිදුවනු ඇතැයි අනුමාන කෙරෙන්නේ වරාය සහ ගුවන් තොටුපොළවලදී විශේෂ ආරක්ෂක විධිවිධාන රැකිය යුතු වන බැවිනි. මේ හේතුවෙන් රටවල් රැසක් ආනයන ආර්ථිකයන් වෙනුවට තම රටතුළ රටට අවශ්‍ය දේ නිෂ්පාදනය කර ගැනීමට පෙළඹෙනු ඇතැයිද ඒ හේතුවෙන්ම තවත් රැකියා රැසක් ඇතිවීම මෙන්ම රැකියා රැසක් අහිමිවීමද සිදුවනු ඇතැයි පැවසේ.

කෙසේවුවද වසංගතය හේතුවෙන්ම මිනිසුන් වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවන්ට හුරුවනු ඇතැයිද අන්තර්ජාලය මගින් කරණු ලබන ආහාර ඇනවුම් කිරීම් ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ. කොවිඩ් හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා ප්‍රතික්ෂේප කිරීමට ජනතාව වැඩි වැඩියෙන් ක්‍රියා කරද්දී පාපැදිය ලොව අංක එකේ ප්‍රවාහන මාධ්‍ය බවට පත් වනු ඇතැයි තවත් අනුමානයකින් කියැවේ. පාපැදිය ඒක පුද්ගල ප්‍රවාහන මාධ්‍යයක් වන නිසා සෙසු මිනිසුන් සමග ගැවසීමේ අවස්ථා අවම වන අතර ශරීර සෞඛ්‍යටද අමතර වාසියක් ගෙන දේ. මාර්ග තදබදයටද විසඳුමක් වන බැවින් ලෝකය පුරා රටවල ජනතාව වැඩිවැඩියෙන් පාපැදිය පරිහරණය කිරීමට පෙළඹෙනු ඇතැයි විචාරකයෝ අනුමාන කරති.

වයිරසයේ පැතිරීම දරුණු ලෙස සිදුවූ අවස්ථාවේදී නගරවල මහල් නිවාසවලට කොටුවෙමින් අතිශය දුෂ්කර කාලයක් ගෙවා දැමූ නාගරිකයන් නිසාම ඉදිරියේදී පවතින නගරවල ස්වභාවය වෙනස් කිරීමටත්, අලුතෙන් ඉදිකෙරෙන නගර වඩා සුන්දර සහ මිනිස් වාසයට වඩා හිතකර නගර ලෙස ඉදිකිරීමට බලධාරීන් කටයුතු කරනු ඇති බවද පැවසේ.

මේ සියල්ල අවසානයේ අපට මේ වසර ආරම්භයට පෙර පැවති ලෝකය වෙනුවට සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක් ඉදිරියේදී කොවිඩ් හේතුවෙන් අපට මුණගැසෙනු ඇත.

Comments