
පසුගිය මාර්තු මස ආරම්භයේ සිට කොවිඩ් වසංගතයෙන් දරුණු ලෙස බැට කෑ ඉතාලිය මේ වන විට වසංගතයෙන් මිදීමේ උදා අරුණලු පහළ කරමින් සිටී. කොවිඩ් වසංගතය වාර්තා කරමින් වූහාන් වසා දැමුණු පසුගිය ජනවාරි මස සිට මේ දක්වා වැඩි වශයෙන් වාර්තා කරන්නට සිදුවූ කණගාටුදායක පුවත් අතරට මෙවැනි සතුටුදායක පුවත් වාර්තා කිරීමට ලැබීම සැබවින්ම සතුටකි. මීට පෙර චීනය රෝගයෙන් මිදුණු අතර දැන් වසංගතයෙන් හෙම්බත් වූ කුණාටුවකට පසුව සුන්දර ඉතාලිය අති දුශ්කර මාස දෙකකට පසු වසන්තයේ උදා හිරු කිරණ අත් විඳිමින් සිටී.
පසුගිය මාස දෙක පුරාවටම ඉතාලියෙන් දිනකට කොවිඩ් රෝගීන් දහස් ගණනින් වාර්තා වූ අතර පසුකාලීනව එය නිසි පරිදි වාර්තා කිරීමටද ඉතාලිය අපොහොසත් විය. එහෙත් කෙසේ හෝ මරණ සංඛ්‍යාව වාර්තා කිරීමට ඉතාලි බලධාරීන් කටයුතු කළේය. බොහෝ දිනවල වාර්තා වූයේ මරණ දහසකට නොවැඩි එහෙත් හයසියය ඉක්මවූ සංඛ්‍යාවකි. එහෙත් පසුගිය අප්‍රේල් මස අවසාන දින කිහිපය වන විට ක්‍රමයෙන් ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව අඩු අගයක් ගන්නා අන්දම දැක ගත හැකි විය. ඒ අනුව පසුගිය අප්‍රේල් 27වැනිදා එරටින් වාර්තා වී තිබුණේ මරණ 333ක් පමණි. අප්‍රේල් 26වැනි දින වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 260ක් පමණි. සැබවින්ම මෙය අනාගතයේ සුභ පෙරනිමිත්තකි. බොහෝ විට මැයි මස අවසානය වන විට වසංගතයෙන් මිදීමට ඉතාලියට හැකියාව ලැබෙනු ඇත.
ස්පාඤ්ඤයද මේ වන විට මෙතෙක් පැවති ආසාධිතයන් වාර්තා කිරීමේ J අකුරේ හැඩය ගත් වක්‍රයෙන් ක්‍රමයෙන් ඉවත් වෙමින් සිටින බවට වාර්තා වේ. එම J අකුරේ හැඩය ගත් වක්‍රයෙන් අදහස් වන්නේ ආරම්භයේදී අඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කළද පසුව එක්වරම ඉතා වේගයෙන් වැඩි ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පැවති බවයි. ස්පාඤ්ඤය හා ඉතාලිය යන රටවල් දෙකම මේ වන විට ආසාධිතයන් ලක්ෂ දෙක ඉක්මවා වාර්තා කර තිබෙන අතර මරණ සංඛ්‍යාවද 25000 ආසන්නයේ පවතී. කෙසේ වුවද මේ දෙරටින්ම දැන් ලැබෙන වාර්තා සතුටුදායක වන අතර මේ රටවල රෝහල්වල දැන් රෝගීන් සඳහා ප්‍රමාණවත් පහසුකම්ද පවතින බවට වාර්තා ලැබෙමින් තිබේ.එහෙත් අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය තවමත් වයිරසයේ ග්‍රහනයෙන් මිදීමට දැඩි ප්‍රයත්නයක නිරතව සිටී. මේ වන විට අමෙරිකාවේ මරණ 60,000කට ආසන්නව පවතින අතර ආසාධිතයන් මිලියනයක් එරටින් පමණක් වාර්තා වීම ඛේදවාචකයකි. මේ වන විට රෝගය පැතිරීමේ උච්චතම අවස්ථාව පසුවී ඇතැයි ජනාධිපති ට්‍රම්ප් පවසා සිටියද එය එසේ නොවන බව අඛණ්ඩව සිදුවන කෝවිඩ් මරණ පෙන්වාදෙයි.
මහා බ්‍රිතාන්‍ය කෝවිඩ් ආසාධිතයන්ගේ ඉතා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වන විට සංඛ්‍යා ලේඛනවල ආසාධිතයන් 160,000කට වැඩි ආසාධිතයන් සංඛ්‍යාවක් පෙන්නුම් කර සිටියද ආරම්භයේ සිටම ඔවුන් ආසාධිතයන් වාර්තා නොකළ බැවින් සැබෑ වාර්තා බොහෝ වෙනස් වීමට ඉඩ ඇති බව විචාරකයන්ගෙ මතයයි. මේ වන විට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 21,000කි.
ජර්මනිය දිගින් දිගටම තම සෞඛ්‍ය සේවාවේ ශක්තිමත් බව පෙන්වමින් සිටින්නේ ආසාධිතයන් ලක්ෂ එකහමාර ඉක්මවූවද මරණ සංඛ්‍යා 6,000ක අවමයක පවත්වා ගනිමිනි.
මේ අතර කොවිඩ් ආසාධිතයන් 70ක් එකවර හමුවීමෙන් ඊසාන දිග චීනයේ හර්බින් නගරය වසා දැමීමට එරට එජය කටයුතු කර තිබේ. පසුගියදා නිව්යෝර්ක් නගරයේ සිට පැමිණි පුද්ගලයකුට කොරෝනා ආසාධනය වී ඇති බව වාර්තා වීමෙන් පසු එම ප්‍රදේශයෙන් තවත් ආසාධිතයන් 70ක් හමුවීමෙන් පසු මිලියන 10ක ජනහගනයෙන් යුතු හර්බින් නගරය වසා දැමීමට චීන රජය කටයුතු කර තිබේ. වහාම ක්‍රියාත්මක වූ චීන රජය මේ වන විටත් එම නගරයෙන් පුද්ගලයන් 4000කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ් පරීක්ෂාවන්ට ලක් කර ඇතැයිද වාර්තා වේ. කෙසේවුවද චීනය කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාකාරීව ගැලවීමට ප්‍රධාන හේතුව ඔවුන් සිදුකළ අඛණ්ඩ පරීක්ෂණ බවද සටහන් කළ යුතුය.
මේ අතර අමෙරිකා ජනාධිපතිවරයාගෙ ප්‍රකාශයක් හේතුවෙන් මුළු ලොවම සිනා සයුරක ගිලී ගියේ මුහුණ දෙමින් සිටින ඛේදවාචකය මොහොතකට අමතක කරමිනි. ජනාධිපතිවරයා පවසා සිටියේ සිරුරට විෂබීජ නාශක දියර එන්නත් කර ගැනීමෙන් කොවිඩ් ආසාධනය වීමෙන් වැළකිය හැකිවනු ඇති බවයි.
මෙය මුලු ලොවම සිනා ගැන්වීමට මෙන්ම පුදුමයට පත් කිරීමටත් සමත් වූ බැවින් පසුව ජනාධිපතිවරයා පවසා සිටියේ තමා මෙසේ පැවසුවේ විහිළුවට බවයි.
මේ වන විට කොව්ඩ් පාලනය කිරීමට නොහැකි වීමෙන් ජනාධිපතිවරයාට ලබන නොවැම්බරයේ ජනාධිපතිවරණයේදී අවාසිදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට මත පළ වෙමින් තිබේ. බොහෝ දුරට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට දෙවැනි ධූර කාලයක් අහිමි වීමටද ඉඩ තිබේ. අවසන් මොහොතේ ඔහු ජාතිකත්වය ඉස්මතු වන සුළු කිසිවක් නොකලේ නම් බොහෝ දුරට ඩිමොක්‍රටික් ජනාධිපතිවරයකුට අමෙරිකාව හිමි වීමට ඉඩකඩ උදාවෙමින් තිබේ.
මේ අතර නිදහස් අදහස්වලින් අනූන අමෙරිකානු ජනතාව රට වස දැමීමට, මුහුණු ආවරණ පැළඳීමට විරුද්ධව මෙන්ම පක්ෂවද විරෝධතා පවත්වනු දැකිය හැකිය. චීනය කිසිදු මත පළ කිරීමකට ජනතාවට ඉඩ ලබා නොදෙමින් දැඩි හස්තයක් යටතේ රෝගය පාලනය කළ අතර අමෙරිකාව පිටරටක වසංගතයක් අනාරක්ෂිත වීමෙන් තම ඇගේ දමා ගනිමින් එය නූල් බෝලයක් සේ හතරවට පටලා ගනිමින් සිටී.
මේ අනුව සමාජවාදී මුහුණුවරින් යුතු ඒකාධිපතිවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ මුහුණුවරින් යුතු අන්ත ධනවාදය යන මේ දේශපාලන ක්‍රම වසංගතයක් තුළ ක්‍රියාත්මක වන අන්දම ලෝක ඉතිහාසයට තවත් රසවත් කරුණු එක් කඅරනු නොඅනුමානය.
මේ අතර සමස්ත ලෝකයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව මිලියන තුන ඉක්මවා ගිය අතර මරණ සංඛ්‍යාවද ලක්ෂ දෙක ඉක්මවීය. මේ වන විට අප්‍රිකා මහාද්වීපයේ රටවල් රැසකින්ද කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙමින් පවතින අතර ඒ අතරින් වැඩිම සංඛ්‍යාව වන 4,786 වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවෙනි. මැද පෙරදිග කලාපයේ කුවේට්, බහරේන් සහ ඕමාන් වැනි රටවලින්ද ආසාධිතයන් වර්ධනය වන ලකුණු දක්නට ලැබේ.
මේ අතර ඉන්දියාව ලෝකයේ වැඩිම කොවිඩ් ආසාධිතයන් වාර්තාවන රටවල් අතරින් 15 වැනි ස්ථානයට පත්වූයේ ආසාදිතයන් 30,000කට වඩා වාර්තා කරමිනි. මේ වන විටි ඉන්දියාවට ඉහලින් සිටින්නේ නෙදර්ලන්තය,බෙල්ජියම, කැනඩාව, බ්‍රසීලය, චීනය, ඉරානය, රුසියාව, තුර්කිය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ අමෙරිකාව යන රටවල් පමණි.