මේ තෙවැනි ලෝක යුද්ධයද? | Page 3 | සිළුමිණ

මේ තෙවැනි ලෝක යුද්ධයද?

කොවිඩ් - 19 මේ වන විට මුළු ලෝ‍කයේම පාලනය තමන් අතට ගෙන තිබේ. මේ දක්වා මිනිස් වර්ගයා වසංගතය හමුවේ ජරාජිතය. ඇතැම් දෙනා මෙය තුන්වැනි ලෝක යුද්ධය ලෙස දකිති. සැබවින්ම තුන්වැනි ලෝක යුද්ධය මෙවැනි ජීව අවියක් සහ මිනිස් වර්ගයා අතර සිදුවිය හැකි බවට අනාවැකි රැසක්ම පළ වී තිබිණි. අත්දැකීම් ඇති බොහෝ දෙනා පවසා සිටියේ ලෝකය පුරා දැන් පවතින තත්ත්වය දෙවැනි ලෝක යුද්ධ කාලයට බෙහෙවින් සමාන බවයි. වෙනස් වන්නේ නම් ඒ එක් එක් රටවල් හානි අවම කර ගැනීමට හුදකලා වීම හෙවත් ලොක් ඩවුන් වීම මගින් පමණි. කෙසේ වුවද මේ වන විට පොදුවේ මිනිස් වර්ගයාට සතුරු ප්‍රහාරයක් එල්ල වෙමින් තිබේ. එහි ජයපරාජය තීරණය කිරීම තවම කිසිවකුටත් නොහැකිය.

මේ වන විට දිනකට කොව්ඩ් ආසාදිතයන් ලක්ෂය ඉක්මවා වාර්තා වන තත්ත්වයක් උද්ගත වී තිබේ. මෙය සැබවින්ම මිනිස් වර්ගයා මුහුධ සී දිටින ප්‍රබල තර්ජනයකි. කොවිඩ් වසංගතයේ ආරම්භයේදී ප්‍රථම ආසාදිතයන් ලක්ෂය වාර්තා වීමට මාස තුනක පමණ කාලයකුත්, දෙවැනි ආසාදිතයන් ලක්ෂය වාර්තා වීමට දින 12ක කාලයකුත්, තුන්වැනි ආසාදිතයන් ලක්ෂය වාර්තා වීමට , දින හතරක් , සිව්වැනි ලක්ෂය සඳහා දින දෙකක් සහ පස්වැනි ලක්ෂය වාර්තා වීම එක් දිනකින්ද සිදු විය. මේ වන විට දිනකට ආසාදිතයන් ලක්ෂයක් වාර්තා වන අතර එය තවත් වර්ධනය වන ලකුණු පමණක් දක්ණට ලැබීම කණගාටුදායකය. ඒ ආසාදිතයන් වැඩිවීම යනු මරණ සංඛ්‍යාව වැඩි වීම වන බැවිනි.

පසුගිය සතිය තුළ ලෝකයේ සිදුවූ ප්‍රධානතම සිදුවීම වන්නේ අමෙරිකාව කොව්ඩ් ආසාදියත් වැඩිම රට බවට පත්වීම යනුවෙන් දැක්විය හැකිය. මෙතෙක් චීනය කොව්ඩ් ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා කර සිටි අතර දැන් අමෙරිකාව එතැනට පැමිණ තිබේ. එහෙත් තවමත් අමෙරිකාවෙන් වාර්තා වන්නේ චීනයට සාපේක්ෂව අඩු මරණ සංඛ්‍යාවකි. අමෙරිකාව ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවය සහ හදිසි ප්‍රතිකාර ඇඳන් සංඛ්‍යාව වැඩිම රට වුවද අමෙරිකාවෙන්, විශේෂයෙන්ම කොවිඩ් ආසාධිතයන් වැඩිම නිව්යෝර්ක් නගරයෙන් ලැබෙන තොරතුරු එතරම් සුභදායී නැත. දැනට මරණ දහස ඉක්මවා වාර්තා කර සිටින අමෙරිකාව ඇතැම් විට ලෝකයේ වැඩිම කොවිඩ් මරණ වාර්තා කිරීමට වුවද ඉඩ ඇත. එහෙත් මිනිසුන් ලෙස අප සැමගේ ප්‍රාර්ථනය වන්නේ එසේ වීමට පෙර ‍වයිරසය මර්දනය කිරීමට මිනිස් වර්ගයාට හැකිවේවා යනුවෙනි.

මේ වන විට යුරෝපය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබේ. ඉතාලිය ඉක්මවා යමින් ස්පාඤ්ඤය මරණ වාර්තා කිරීම කණගාටුදායකය. ඉතාලියට යම් සහයෝගයක් දීමට ජර්මනිය ඉදිරිපත්වීම සතුටුදායක පුවතක් ලෙස සදහන් කළ හැකිය. එහෙත් ජර්මනියට වඩා වැඩි උපකාරයක් කිරීමට නොහැකි වන්නේ ඔවුන්ද අනතුරුදායක මට්ටමක සිටින බැවිනි. යුරෝපා රටවල් සියල්ලම මේ වන විට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙමින් සිටී,

ආසියානු කලාපය සැලකුවහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල් කටයුතු කිරීම ප්‍රශස්ථ ලෙස දැක්විය හැකිය. එහෙත් උදම් ඇනීමට තරම් වේලාසන වැඩිය. ගිනිකොණ ආසියාවේ රටවල් බොහොමයක්ද මේ වන විට කොව්ඩ් හේතුවෙන් අර්බුදයට මුහුණ දී සිටී. තායිලන්තයේ ප්‍රධාන අදායම් මාර්ගය වන සංචාරක කර්මාන්තය බිඳ වැටීමෙන් එරට විශාල ආර්ථික අර්බූදයක් මතුවන ලකුණු පහළ වී තිබේ. පකිස්තානයද කොවිඩ් හේතුවෙන් කබලෙන් ලිපට වැටෙමින් තිබේ. මේ වන එරට රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටන පකිස්තානයෙන් යහපත් සෞඛ්‍ය පහසුකම් බලාපොරොත්තු වීම සිහිනයකි. තුර්කියද එවැනිමය. සිරියානු අර්බූදය හේතුවෙන් වැඩිම සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් දරා සිටින තුර්කියද මේ වන විට කොවිඩ් පැතර යෑමේ මරණ මංචකය අබියස සිටී.

මෙතෙක් කල් රෝගයෙන් ආරක්ෂා වී සිටි අප්‍රිකානු කලාපය සහ දකුණු අමෙරිකාවෙන්ද මේ වන විට රෝගීන් වාර්තා වෙමින් තිබේ. විශේෂයෙන්ම අප්‍රිකානු කලාපය තුළ රෝගීන් වාර්තා වීම කණගාටුදායක වන්නේ මේ කලාපයේ රටවලින් වැඩිහරියක් අන්ත දූගී රටවල් වීමයි.

කොවිඩ් අර්බුදයට යම් ප්‍රශස්ථ මට්ටමකින් සහ දුර දක්නා නුවණින් යුක්තව කටයුතු කිරීමට නවසීලන්තයට හැකියාව ලැබී තිබේ. ඕස්ට්‍රේලියාව ආරම්භයේදීම රෝගය රටපුරා පැතිරීමට ඉඩ හැරියද එරට භූමි ප්‍රමාණයේ විශාලත්වයට සාපේක්ෂව සිටින අඩු ජනගහනය රෝගය පැතිරීමට කිසියම් බාධාවක් වී ඇති බව පෙනේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධන නගර කිහිපයක් පමණක් ජනධික වන අතර සමස්ථ මහාද්වීපයේම පැතිරී සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයට සමාන ජනගහනයකි.

මේ අතර රෝගය පැතිරයෑම ආරම්භ වූ චීනය සෙසු රටවල ජනතාවට තම රටට ඇතුළුවීම වැළැක්වීමට කටයුතු කරමින් සිටී. එහෙත් රෝගය තම රටේ පැවතියදී ඔවුන් මෙවැනි දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළේ නැත. එසේ කළේ නම් රෝගය ලොව පුරා මෙතරම් ව්‍යප්ත නොවන බව පැහැදිලිය. මේ වන විට කොවිඩ් සඳහා යම් ‍ඖෂධයක් තමන් සතුව තිබෙන බවද චීනය පවසන බවට වාර්තා ලැබෙමින් තිබේ. එහෙත් රෝගය සඳහා වන ඕනෑම ‍ඖෂධයක් සමස්ත ලෝකය පුරා බෙදා හැරීමට තවත් මාස ගණනාවක් ගත වනු ඇති බව නිසැකය. එබැවින් මේ ලියන මොහොත වන විටද කොවිඩ් සඳහා නිශ්චිත ඖෂධයක් නැත.

සිංගප්පූරුවද රජයේ උපදෙස් පිළිනොපදින ජනතාව සිරගත කිරීමට කටයුතු කරමින් සිටී. මියන්මාරය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලින්ද මෙවැනිම ආරක්ෂිත ක්‍රියාමාර්ග වාර්තා වේ.

කෙසේවුවද පසුගිය සිකුරාදා වන විට ‍ලොව පුරා සම්පූර්ණ කොවිඩ් ආසාදිතයන් 5,52,943ක් වාර්තා වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 25,000ට අධික විය. දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව රටින් රටට අදාළව සඳහන් කිරීම පළක් නොවන්නේ එය මොහොතින් මොහොත වර්ධනය වන බැවිනි. එහෙත් එක් දෙයක් සඳහන් කළ යුතුමය. එනම් කොවිඩ් මාරයා ලොවම ගිල ගනිමින් සිටින බවය.

 

Comments