
ඇන්ටාක්ටිකාවේ විශාලතම ග්ලැසියරය ලෙස සැලකෙන ‘ලෝකාවසාන‘ ග්ලැසියරයේ පත්ලේ විශාල සිදුරක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබේ. මේ සිදුර ඇති වී තිබෙන්නේ එය දියවී යෑම හේතුවෙන් බව ඔවුන්ගේ විශ්වාසයයි. මේ සංසිද්ධිය පෘථිවි ගෝලයේ පාරිසරික වශයෙන් තවත් අහිතකර බලපෑම් රාශියක් ඇති කිරීමට සමත් වනු ඇති බව විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.
ඇන්ටාක්ටිකාවේ මහා ග්ලැසියර දියවෙමින් පවතින බව විද්‍යාඥයන් මීට පෙර ප්‍රකාශ කළද මේ විශාල සිදුර සොයා ගැනීමත් සමග ඔවුන් පවසා සිටින්නේ ග්ලැසියර දියවීම සිතුවාටත් වඩා ඉක්මනින් සිදුවෙමින් පවතින බවයි. මේ ග්ලැසියරය දියවීමෙන් සිදුවිය හැකි ප්රබලතම ව්‍යසනය වන්නේ මුහුදු මට්ටම ඉහළ යෑමය. එසේ වීමෙන් දැනට පවතින ප්‍රමාණයට වඩා මීටර් දෙකක් මුහුදු මට්ටම උස් විය හැකි බවත්, ඒ සමග අදාළ උස මට්ටමේ පවතින බොහෝ සමුද්‍රාසන්න නගර මුහුදු ජලයෙන් යටවිය හැකි බවත් විද්‍යාඥයන් පෙන්වා දී තිබේ. එමෙන්ම මේ සිදුර තුළින් උණුසුම් ජලය ඇන්ටාක්ටිකාවේ අභ්‍යන්තර අයිස් පර්වත දක්වා ගමන් කර ඒවාද දිය කර දැමීමේ හැකියාවක් ඇතිවිය හැකි බවද පෙන්වා දී තිබේ. එමෙන්ම ග්ලැසියරයේ සිදුවී ඇති මේ කුහරය වඩාත් අභ්‍යන්තරය දක්වා කා වැදීමෙන් ග්ලැසියරය කඩා වැටීමට පවා ඉඩ ඇති බවද ප්‍රකාශ වී තිබේ.
දැනට සිදු කර ඇති මිනුම් අනුව විද්‍යාඥයන් පවසා ඇත්තේ ග්ලැසියර කුහරය සැතපුම් හයක් දීර්ඝ සහ අඩි දහසක් ගැඹුරු බවයි. දැනට ඇති වී ඇති කුහරය හේතුවෙන් ටොන් මිලියන 14ක අයිස් ප්‍රමාණයක් දියවී ගොස් ඇති බව විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.
නාසා විද්‍යාඥයන් මේ වන විට ඉතාලියානු සහ ජර්මානු චන්ද්‍රිකා මගින් ග්ලැසියර කුහරය නිරීක්ෂණය කරමින් සිටිති. මේ නිරීක්ෂණයේ යෙදී සිටින විද්‍යාඥයන් පවසා ඇත්තේ දක්නට ලැබෙන දර්ශනය සිත බියපත් කරවන බවයි. එමෙන්ම ග්ලැසියරයට සත්කාර කිරීම සඳහා විශාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද විද්‍යාඥයන් කටයුතු කරමින් සිටිති. එය ආරම්භ වූ පසු එවැනි ක්‍රියාවක් සඳහා ලෝකයේ මෙතෙක් දියත් කෙරුණු විශාලතම ව්‍යපෘතිය එය වනු ඇති බවට මත පළ වී තිබේ. මෙය වසර පහක ව්‍යාපෘතියක් සේ ප්‍රකාශ වී ඇති අතර දැනට ඒ සඳහා අමෙරිකා සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් මුල් තැන ගෙන තිබේ. මේ ව්‍යාපෘතිය සඳහා පවුම් මිලියන 38ක් දැනට වෙන් කර තිබේ. එමෙන්ම මේ සඳහා දිය යට මධ්‍යස්ථාන ඉදිකිරීමට සහ රොබෝ තාක්ෂණය යොදා ගැනීමට යෝජනා වී තිබේ.
එමෙන්ම ගෝලීය උණුසුම ඉහළ යෑමට බලපාන මිනිස් ක්‍රියාකාරකම් හැකි ඉක්මනින් අවම කිරීම කෙරෙහි සමස්ත පෘථිවි වාසීන්ගේ අවධානය යොමු කරවීම සම්බන්ධයෙන්ද විද්‍යාඥයන් මත පළ කර තිබේ.