
ඔබත් ඔන්චිලි පදින්න කැමති ඇති. විවේකීව ඔන්චිල්ලාවක පාවේවි කාර්යබහුල ජීවිතයෙන් ඈත් වෙලා මොහොතක් ගෙවන්න කවුද අකමැති? ඒත් ඔන්චිල්ලාවක නැගලා මුළු ජීවිතේම පරදුවට තියලා, ඇඟේ ලේ වතුර වෙන අත්දැකීමක් ලබන්න කැමතිද? ඒ කියන්නේ මහා ප්‍රපාතයක් අද්දර ඔන්චිල්ලාවක් පදිනවා වගේ වැඩකට? බොහෝ දෙනෙක් එහෙම අත්දැකීමක් ලබන්න නම් අකමැති ඇති. ඒත් ඔබ දන්නවාද මේ දුර්ලභ අත්දැකීම ලබන්න බොහෝ දෙනා මුදල් වැය කරගෙන ඉක්වදෝරයට යන බව. ඉක්වදෝරයේ තුන්ගුරාහුවා කියන ගිනි කන්ද සමීපයේ තමයි මේ අසාමාන්‍ය ඔන්චිල්ලාව බැඳලා තියෙන්නේ.
අද මේ ඔන්චිල්ලාව සංචාරක ආකර්ෂණය දිනා ගෙන තිබුණත් මේ ඔන්චිල්ලාව බැඳුණේ ඊට වඩා උසස් අරමුණක් වෙනුවෙන් කැපවුණු මිනිසුන් සඳහා. ඒ තමයි විද්‍යාඥයන්. ඉක්වදෝරයේ තුන්ගුරාහුවා ගිනිකන්ද කියන්නේ හිටිගමන් විදාරණය වන සජීවී යමහලක්. තුන්ගුරාහුවා කියන ඉක්වදෝර වදනේ සිංහල තේරුම ‘ගිනි උගුර‘ විදිහට ගන්න පුළුවන්. කොහොම වුණත් මේ නම අතීතයේ ඉඳන් යෙදිලා තියෙන්නේ මේ ගිනිකන්ද එච්චරට සක්‍රීය නිසා.
අපි දන්නා ඇතැම් ගිනිකඳු එකවර සක්‍රීය වෙනවා. ලාවා ගලා ගිහින්, ජීවිත දේපළ හානි කරලා නැවතත් අක්‍රීය වෙනවා. නැතිනම් නිදා ගන්නවා. ආයෙත් බොහෝ කාලයකට, ඇතැම්විට සියවසකට හෝ සක්‍රීය වන්නේ නෑ. තුන්ගුරාහුවා ගිනිකන්දත් ඒ වගේ අක්‍රීය වෙලා තිබුණා. ඒත් 1999 වසරේ අගෝස්තු 19වැනිදා හදිසියේම ගිනි කන්ද විදාරණය වන්නට පටන් ගත්තා. මුළු පළාතක්ම වැහෙන්න අළු වළාකුලක් වැටිලා සැතපුම් ගණන් දිගට ලාවා ගලා ගියා. එතරම් ජනගහණයක් නොමැති නිසා ජීවිත හානි අවම වුණාට ප්‍රදේශයේ ජන ජීවිතය යළි කවදාවත් සාමාන්‍ය වුණේ නැහැ. ඒකට හේතුව එදා ඉඳන් අද දක්වාම වරින් වර තුන්ගුරාහුවා ගිනි කන්ද වරින් වර විදාරණය වීම. 2000 වසර සම්පූර්ණයෙන්ම සැලකෙන්නේ ගිනි කන්ද සක්‍රීයව පැවති වසරක් ලෙසින්. ඉන් පසු දිගටම 2006, 2013, 2014 වසරවලදී තුන්ගුරාහුවා ගිනිකන්ද විදාරණය වූවා. මේ විදාරණය වීම් අතර විදාරණය වීමේ ලක්ෂණ පෙන්වමින් ගිනිකන්ද මිනිසුන් බියපත් කළ අවස්ථා අපමණයි. ගිනිකන්දේ මේ හැසිරීම නිසයි අපි මුලින් කතා කළ අසාමාන්‍ය ඔන්චිල්ලාව බැඳෙන්න හේතුව බිහිවන්නේ.
ගිනිකන්ද කොයි මොහොතේ විදාරණය වන්නේද යන්න සම්බන්ධයෙන් සංඥා දැනගැනීමට වගේම ගිනි කන්ද ආශ්‍රිතව පර්යේෂණ පැවැත්වීමට ලෝකයේ දස දෙසින් පැමිණි පාරිසරික විද්‍යාඥයන් වගේම භූ විද්‍යාඥයන්, යමහල් විශේෂඥයන් මේ ගිනිකන්ද අසල නවාතැන් ගන්නවා. ඔවුන් ඒ සඳහා තෝරා ගන්නේ ගිනිකන්දට ඉදිරියෙන් වන අතිසුන්දර පරිසරයකින් යුතු සන්ග්‍රේ ජාතික උද්‍යානය. මේ උද්‍යානයේ තුන්ගුරාහුවා ගිනිකන්දට මුහුණ ලා පිහිටා ඇති දළ බෑවුමකින් යුතු කඳු ප්‍රදේශයේ විද්‍යාඥයන් කඳවුරු බැඳ ගන්නවා. ඔවුන් මාස ගණන්, වසර ගණන් එහි ගත කරනවා. ගිනි කන්ද සක්‍රීය ව පවතින අවස්ථාවන්හිදී හැර ඔවුන්ට දැනෙන්නේ පාළුවක්. ඔවුන් ඒ කාන්සිය නැති කරගන්න විනෝද ක්‍රීඩාවක් සකස් කර ගන්නවා. දළ බෑවුම මායිමේ ඇති ගසක ඔන්චිල්ලාවක් බැඳීමෙන්. හරියට මාරක ළිඳේ වගේ ඔවුන් හරියටම අඩි 2500ක පමණ බිහිසුණු ප්‍රපාතය දෙසට ඔන්චිල්ලාව පදිනවා. කඹය කැඩුනොත් හෝ ගසේ මුල් ඉදිරී ගියොත් ඉතින් මරණය තමයි. ඒත් ඔවුන් මේ මාරක ඔන්චිල්ලාව වින්දනය කරනවා.
වසර කිහිපයක් ගතවන විට මේ මාරක ඔන්චිල්ලා පැදීම ගැන කතාව කටින් කට පැතිර යනවා. මාරක ඔන්චිල්ලාවේ පැද්දෙන්න සංචාරකයන් එන්නේ අන්න ඒ විදිහට. දැන් මේ මාරක ඔන්චිල්ලාව නිසාම ඉක්වදෝරයේ තුන්ගුරාහුවා ප්‍රදේශයත්, ගිනිකන්දත්, සන්ග්‍රේ ජාතික උද්‍යානයත් ලෝකප්‍රසිද්ධ වෙලා. කොතරම් පිරිස් ඇවිත් පැද්දත් ඔන්චිල්ලාව තවමත් නිරුපද්‍රිතයි. එය බැඳ ඇති දළ බෑවුම අයිනේ ඇති ගසත් තවමත් ශක්තිමත්. අනතුරක් වාර්තා වෙලා නෑ. ඒ නිසාම ඇඟ ලේ වතුර කරවන මාරක ඔන්චිල්ලා පැදිල්ල තවතවත් ජනප්‍රිය වෙලා.