ආදරය නිසාම වළං සෝදන බිල් ගේට්ස් | Page 3 | සිළුමිණ

ආදරය නිසාම වළං සෝදන බිල් ගේට්ස්

ලෝකයේ අංක එකේ ධනවතුන්ගේ ලැයිස්තුවේ තවමත් ඉදිරියෙන්ම රැඳී සිටීමට සමත්ව සිටින බිල් ගේට්ස් වළං සෝදනවා යැයි ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි. ඔහු බිලියනපතියෙක්. ඔහු මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘවරයා. ඔහුට ඕනෑතරම් ගෘහ සේවකයන් ලබා ගත හැකියි. ඒත් ඔහු ඒ සියල්ලටම වඩා තම බිරියත් සමග නිදහසේ කාලය ගත කරන්න කැමතියි. ඒ හේතුවෙන්ම ඔහු තමන්ගේ නිවස තුළ දී බිලියනපතියකුගේ භූමිකාවෙන් ඉවත්ව ආදරබර ස්වාමිපුරුෂයකු බවට පත්වනවා. ඔහු පවසා ඇති අන්දමට බිරිය සමග එක්ව වළං සෝදන්නේ අන්න එවැනි අවස්ථාවන්හිදී.

පසුගියදා බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිය මෙලින්ඩාගේ විවාහ ජීවිතයට වසර 25ක් සම්පූර්ණ වුවා. මේ තොරතුරු ඔවුන් මාධ්‍යයට පවසා තිබුණේ එම අවස්ථාව සමරමින්. බිල්ට මෙලින්ඩා හමුවන්නේ 1987 වසරේදී. ඒ වන විට බිල් මයික්‍රොෙසොෆ්ට් සමාගම ආරම්භ කර අවසන්. ඇය පැමිණියේ ඔහුගේ සමාගමේ සේවිකාවක් ලෙස. නමුත් ඇය සමග ප්‍රේමයෙන් බැඳෙන බිල් මෙලින්ඩාව විවාහ කර ගන්නවා. ඔවුන් දරු තිදෙනකුගේ දෙමවුපියන්. වඩාත් වැදගත්ම දෙය අදත් ඔවුන් එදා මෙන්ම එකිනෙකා වෙත වන තම ප්‍රේමය ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටීමයි.

ඒ ගැන බිල් ගේට්ස් කියන විදිහට ඔහු කැමතියි නිවස තුළ සාමාන්‍ය මිනිසකු සේ සිටින්නට. කොතරම් ධනයෙන් බලයෙන් පරිපූර්ණ වුවත් ඔහු කැමති නෑ පවුල් ජීවිතය බිඳ ගැනීමට. ඉතින් තමන්ගේ පවුලත් සමග වන බැඳීම පවත්වා ගැනීමට කාර්ය බහුල ඔහු කෙසේ හෝ දවසෙන් බිඳක් වෙන් කර ගන්නවා. බොහෝ විට ඒ තමා රාත්‍රී ආහාරය. ඔහු නොවරදවාම තම බිරිය සමග රාත්‍රී ආහාරය ගන්නවා. ඉන් පසු ඔවුන් දෙදෙනාම එක්ව වළං, පිඟන් සෝදා දමනවා. මේ කාලය තුළ නොවරදවාම ඔවුන් දෙදෙනා කතාබහේ යෙදෙනවා. එකිනෙකාගේ අදහස් අනෙකාට දැනෙන්නට හරිනවා. මෙලෙස කටයුතු කිරීමෙන් ඔවුන් දෙදෙනාගේ බැඳීම තවතවත් ශක්තිමත් වන බවයි බිල් ගේට්ස් පවසා සිටින්නේ.

මෙලින්ඩා වසර විසිපහක තමන්ගේ පවුල් ජීවිතය දෙස බලන්නේ ඉතා සතුටින්. ඇයට ඔවුන්ගේ අතීතය අමතක නැහැ. ඔවුන්ගේ පළමු දරුවා ලැබුණු කාලයේදී ජීවිතය කොතරම් කටුක වූවාදැයි ඇයට මතකයි. ඒ කාලයේ තමයි මයික්‍රොසොෆ්ට් ආයතනය වර්ධනය කර ගැනීමට බිල් දිවා රෑ නොබලා මහන්සි වූයේ. මේ කාලයේදී පවුලේ සියලු වැඩ මෙලින්ඩාට තනිවම කර ගැනීමට සිදුවූවා. ඒත් ඔවුන් කටුක කාලය ඉවසීමෙන් සහ ආදරයෙන් ගෙවා ගත්තා. දරුවන් වැඩෙන විටත් මෙලින්ඩා පවුල තුළ ආදරය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළා.

ඇය පවසා ඇති අන්දමට දිනක් රාත්‍රී ආහාරයෙන් පසු ඇය වටහා ගත්තා මුළුතැන්ගෙයි ඉතිරිව සිටින්නේ තමා පමණක් බව. බිල් ඇතුළුව පවුලේ සෙසු සියලු දෙනාම ආහාර ගැනීමෙන් පසු තමතමන්ගේ වැඩවලට නික්ම ගොස්. ඇය පසුදාම නීතියක් දැමුවා. ‘මීට පස්සේ කාටවත් මම කුස්සියෙන් යන තුරු එළියට යන්න බෑ“. ඒ අනුව එදා සිට බිල් සහ දරුවන් රාත්‍රී ආහාරයෙන් පසු ඇයගේ වළං පිඟන් සේදීමේ වැඩවලට සහාය වන්න ගත්තා. දරුවන් ක්‍රමයෙන් ලොකුවෙලා ඔවුන්ගේ අරමුණු කරා ගියත් බිල් හැමදාම මෙලින්ඩා සමග රැඳුණා. අදටත් ඔවුන් දෙදෙනා රාත්‍රී ආහාරයෙන් පසු වළං, පිඟන් සෝදා මුළුතැන්ගෙන පවිත්‍ර කරනවා. ඒ අතර තමතමන්ගේ අදහස් බෙදා හදා ගන්නවා.

ධනවත්කම අතින් බිල් ගේට්ස්ගේ ළඟටම ආපු ජෙෆ් බේසස් පසුගියදා තමන්ගේ බිරියගෙන් දික්කසාද වූවා. ඒ ලෝකයේ වැඩිම දික්කසාද වන්දිය ගෙවමින්. පසුව ඔහු රූපවාහිනී නිවේදිකාවක සමග විවාහ වන බව ප්‍රකාශ කළා. ඒත් බිල් ගේට්ස් නම් තවමත් තමන්ගේ ආදරණීය බිරියට මුළුතැන්ගෙයිදී සහාය වනවා. ඇයත් සමග ආදරය බෙදා ගන්නවා. ඒ අතරම ලෝකයේ විශාලතම සහනාධාර ලබා දෙන්නා ලෙසද කටයුතු කරනවා. ආදරය ඔහුව මේ ලෝකේ ධනවත්ම මිනිසා පමණක් නොව මේ ලෝකේ සතුටින්ම සිටින මිනිසා බවටද පත් කර ඇති අන්දම අපූරූයි.

Comments