
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාට ඉඩ සලසමින් රුසියාවේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පසුගියදා ඉල්ලා අස්විය. මේ වන විට භාරකාර රජයක් ස්ථාපිත කර ඇති අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කරන තෙක් පාලනය එසේ වනු ඇති බව සඳහන්ය. රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිවරයා සෑම වසරකදීම එරට පාර්ලිමේන්තුව අමතා කථා කළ යුතු අතර එහිදී ගත වූ වර්ෂයේදී රටක් ලෙස ලැබූ ප්‍රගතිය මෙන්ම ඉදිරි වර්ෂයේ බලාපොරොත්තුද ඔහු පාර්ලිමේන්තුව හමුවේ පැවසිය යුතුය. ඒ අනුව මෙවර පාර්ලිමේන්තුව අමතමින් සිදු කළ කථාවේදී රුසියා ජනාධිපති පුටින් තමන් සිදුකිරීමට බලාපොරොත්තු වන සංශෝධන සම්බන්ධව අදහස් පළ කර ඇති අතර එම කථාවෙන් පසුව මෙලෙස අගමැති ඇතුලු පිරිස ඉල්ලා අස්වී තිබේ.
අගමැති මෙද්වෙදෙව් පුටින් ජනාධිපතිවරයාට සෑම අවස්ථාවකදීම සහාය පළ කර ඇති බව ඉතිහාසය පුරා සඳහන්ය. අඛණ්ඩව දෙවතාවකට වඩා ජනාධිපතිධූරය හෙබවීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොවුණු කල 2008 දී පුටින්ගෙන් ජනාධිපති ධූරය මාරුවූයේ දිමිත්‍රි මෙද්වෙදවේ වෙතය. ඔහු ධූර කාල දෙකක් දැරූ අතර එතෙක් පුටින් අගමැති ධූරය හෙබවූයේය. ඉන්පසු යළිත් ජනාධිපති ලෙස කටයුතු කිරීම ඇරඹූ ව්ලැදිමිර් පුටින් මේ දක්වා එම ධූරය හොබවමින් සිටින්නේය. එහෙත් 2024න් පසු ඔහුට බලයේ සිටීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති අතර ඔහු මේ සූදානම් වන්නේ ව්‍යවස්ථාව වෙනස් කරමින් යළිත් ධූරය දැරීමට හැකි වන සේ කටයුතු සම්පාදනය කර ගැනීමට බව විචාරකයන්ගේ අදහස වී තිබේ.
කෙසේ වුවද ව්ලැදිමිර් පුටින් ජනාධිපතිවරයාට රුසියානු ජනතාවගේ අඛණ්ඩ ආදරය හිමිවි තිබේ. 2000 වසරේදී ඔහු රුසියාව බාර ගන්නා විට රටක් ලෙස එහි තත්ත්වය ශෝකාකූල විය. කලක් වාමාංශයට නායකත්වය දුන් යෝධයා එදා වේල සොයා ගත නොහැකි ලෙස අසරණ වී සිටියේය. එහෙත් පුටින් යටතේ රුසියාව යළිත් ඉතා ශීඝ්‍ර පෙර ගමනක නිරත විය.
රාජ්‍ය නායකයා ලෙස පත්වීම් ලබන විට රාජ්‍ය සේවකයකු වශයෙන් මිස දේශපාලනඥයකු වශයෙන් පුටින් සතුව කිසිදු අත්දැකීමක් තිබුණේ නැත. එහෙත් ඔහු පළමු අදියරේ සිට රාජ්‍ය නායකයකු ලෙස සාර්ථක විය. බිඳ වැටී තිබුණු රුසියාව යළිත් ලෝක බලවතකුගේ මට්ටමට ගෙන ආවේ ඔහුය. ඔහු ධූර කාල අවසන නොයෙක් උපක්‍රම මතින් යළි යළිත් රාජ්‍ය නායකත්වයට පැමිණියද එරට ජනතාව ඔහුට එරෙහිව නැගී සිටියේ නැත. ඒ ඔහු රුසියාවට සාධාරණය ඉෂ්ඨ කළ නිසාමය. මේ වන විට 67 වැනි වියේ පසුවන පුටින් ඉදිරියටත් රුසියාවේ රාජ්‍ය නායකත්වයේ රැඳී සිටීමට ඉඩකඩ සලසාගැනීමට කටයුතු කරන බවට සැක නැත.
ඒ අනුව ඉදිරියේදී රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කෙරෙනු ඇත. ඇතැම් විචාරකයන් අනුමාන කරන්නේ පුටින් ජනාධිපති ධූරයෙන් බැහැරව පාර්ලිමේන්තුවට වැඩි බලතල පවරා දීමට අදහස් කරනු ඇති බවයි. ඒ අතරම පුටින් අගමැති හෝ ජනාධිපතිධූරයන් බාර නොගනිමින් ඒ වෙනුවට එරට ප්‍රධාන දේශපාලනඥයා ලෙස කටයුතු කිරීමටත් එවැනි ධූරයක් ස්ථාපිත කරනු ඇති බවටත් වන වාර්තාද හමුවේ. ඒ කෙසේ වුවද පුටින් ජනාධිපතිවරයා යටතේ සිදු කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රසිද්ධ කෙරෙන තෙක් මේ කිසිවක් ස්ථිරව පැවසීම දුෂ්කර වනු ඇත. ඒ මන්ද යත් පුටින් යනු මෙතෙක් මෙලොව බිහි වූ අසහාය රාජ්‍ය නායකයකුම වන බැවිනි.