
යුක්රේන අන්තර්ජාතික ගුවන් සේවයට අයත් වූ මගීන් 176 ක් රැගත් මගී ගුවන් යානයක් පසුගියදා ඉරානයේ ටෙහෙරාන් ගුවනේ දී අනතුරට ලක්වුණේ කාර්මික දෝෂයක් බව අනුමාන කරමිනි. නමුත් අනතුරට හේතුව ඉරානය මඟින් 'අත්වැරදීමකින්' එල්ල කරන ලද ගුවන් මිසයිලයක් බවට අනුමාන කරළියට ඒමට පටන්ගෙන තිබේ. අමෙරිකානු- ඉරාන යුද්ධයක ඉඟි පළකරමින් ප්‍රහාර - ප්‍රතිප්‍රහාර සිදුවන පසුබිමකදී මෙම අනතුර සිදුවීම නිසා එම අනතුර පිළිබඳ නිසි නිගමනයක් ගැනීමට තවමත් නොහැකිව ඇත. එහෙත් දැන් දැන් හෙළිවන කරුණු අනුව මෙම අනතුර ද අවදානමට පෙර සූදානමක් ඇති කරගන්නට ගොස් වරද්දා ගන්නා ලද ඉලක්කයක් බව අනුමාන කළ හැකිය.
පසුගිය බදාදා (7) අලුයම ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපළින් ගුවන්ගත වූ මගී ගුවන් යානය අනතුරට ලක්වන විට එහි ඉරාන ජාතිකයන් 82 දෙදෙනෙක්, කැනඩා ජාතිකයන් 63ක්, යුක්රේන ජාතිකයන් 11ක්, ස්වීඩන ජාතිකයන් 10 ක්, ඇෆ්ගන් ජාතිකයන් 4 දෙනෙක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 3 දෙනෙක් හා ජර්මානු ජාතිකයන් 3 දෙනෙක් සිටි අතර යානයේ සියලු දෙනාම මියගොස් තිබුණි. මෙම අනතුර සිදුවුණේ ඉරාන හමුදා විසින් ඉරාකයේ අමෙරිකානු හමුදා කදවුරු දෙකකට රොකට් මිසයිල 22ක් පමණ එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුවයි. ඉරානයේ එම ප්‍රහාරය අමෙරිකාව විසින් තම රටේ දෙවැනි බලවත්ම පුද්ගලයා වූ හමුදා අණදෙන නිලධාරි මේජර් ක්වෙසින් සොලෙයිමානි ඝාතනය කිරීමට පළිගැනීමේ ප්‍රති ප්රහාරයකි. අනතුරෙන් පසුව ලුෆ්තාන්සා හා ඔස්ට්‍රියානු ගුවන් සේවය ඇතුළු ගුවන් සේවා කිහිපයක් ටෙහෙරානය දක්වා සිදුකළ ගුවන් වාර අවලංගු කළේය.
කෙසේ වෙතත් ටෙහෙරානයෙන් ගුවන් ගතවූ ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව කාර්මික දෝෂයක් බව කඩිමුඩියේ කියැවුණේ එය වර්තමානයේ චෝදනාවලට එල්ලවූ බෝයිං වර්ගයේ යානයක් නිසා විය හැකිය. නමුත් කරුණු කාරණා සහිතව දැන් අනතුරට හේතුව ඉදිරිපත් කිරීමට බටහිර නායකයන් ඉදිරිපත් වී සිටියි. ඊට හේතුවූයේ ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී එය ගුවන් මිසයිල ප්‍රහාරයකින් සිදුවූවක් බවට කරුණු අනාවරණය වෙමින් පැවතීමයි. විශේෂයෙන්ම ගුවන් අනතුරට පෙර තත්පර ගණනාවක් තුළ ගුවන් මිසයිල ප්‍රහාර එල්ල වනු වීඩියෝ දර්ශනවල පටිගත වී තිබුණි. නවතම වාර්තාවලින් දැක්වුණේ රුසියාවේ නිෂ්පාදිත බවට සැලකෙන ගුවන් මිසයිල ප්‍රහාර දෙකක් යානයට එල්ල වූ බවයි.
කැනඩාව අනතුර පිළිබද විමර්ශනයක් ඇරඹුවේ තම ජාතිකයන් 63ක් ඉන් මියයෑම හේතුකොට ගෙන ය. කැනඩා රජය පවසන්නේ ඔවුන්ට ලද බුද්ධි වාර්තාවලට අනුව මෙය ඉරානය විසින් ඉලක්කගත නොකළ එහෙත් ගුවන් මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූ බවය. කෙසේ වෙතත් කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ කියා තිබුණේ අනුමානයකට පැමිණීමට කලින් අනතුර පිළිබද පූර්ණ විමර්ශනයක් අවසන් කළ යුතුය යන්නයි. ඉරානයේ ගුවන් අනතුරු විමර්ශන කාර්යංශය විසින් අනතුර වූ ස්ථානයට පැමිණෙන ලෙස කැනඩාවට ඇරයුම් කර තිබුණි.
යුක්රේනයට ද අනතුර වූ ස්ථානයේ විමර්ශන සඳහා පැමිණෙන ලෙස ඉරානය විසින් ඇරයුම් කොට තිබීම නිසා එරට කණ්ඩායම් කිහිපයක් විමර්ශන සඳහා ගොස් තිබුණි. යුක්රේන ජනාධිපති අනතුර 'මහත් ඛේදවාචකයක්' බව ප්‍රකාශයක් කොට ඇත. යුක්රේන රජය මේ පිළිබද විමර්ශනයක් සඳහා බ්‍රිතාන්‍යයට ද ඇරයුම් කර තිබුණි.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසා තිබුණේ පවතින තත්ත්වය කුමක් වුවද විමර්ශනය අවසන් වූ වහාම වඩා විනිවිදභාවයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කරමින් අනතුරට සැබෑ හේතුව හෙළිකරන බවයි. දැනට පවතින බුද්ධි තොරතුරු තහවුරු වුවහොත් ඉරානය විසින් තම ජනතාව ද ගමන් ගත් ගුවන් යානයට ප්‍රහාර එල්ල කිරීම එරට ජනතාව කම්පනයට පත් කරන්නක් වනු ඇති බවට ද පොම්පියෝ පවසා තිබේ. කෙසේ වෙතත් ඇමෙරිකානු රජයේ පොදු අදහස ද වන්නේ එම අවස්ථාව ඉතා උණුසුම් අවස්ථාවක් බැවින් ආරක්ෂක පියවරක් ලෙස අත්වැරදීමකින් ඉරානය කළ ප්‍රහාරයක් බවය. එය චේතනාන්විත එකක් බව පෙනී යන්නේ නැතැයි අමෙරිකාව අවධාරණය කර තිබේ. බෝයිං සමාගමට ද අනතුර පිළිබද සොයා බැලීමට පැමිණෙන්නැයි ඉරානය පවසා ඇත. නමුත් ඉරානයට යාමට නම් බෝයිං සමාගම අමෙරිකාවෙන් අවසර ලබාගත යුතු වන්නේ පනවා ඇති සම්බාධක හේතුවෙනි. ඉරානය පවසා තිබුණේ යානයේ තත්ත්වය පිළිබද තොරතුරු ඉදිරිපත් කිරීමට බෝයිං සමාගමේ හිමිකරුවා ලෙස ඇමෙරිකාවට ද ටෙහෙරානයට පැමිණිය හැකි බවයි.
මේ අතර ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා තිබුණේ මෙම අනතුර සිතා මතා එල්ල කරන ලද ප්‍රහාරයක් බව පෙනී නොයන බවයි. වඩා පැහැදිලි විමර්ශනයක් අත්‍යවශ්‍ය බවත් කළු පෙට්ටියෙන් දත්ත සොයාගැනීම මූලික කාර්යයක් බවත් සිහිපත් කළ අගමැතිවරයා පවසා තිබුණේ තම බුද්ධි අංශ වෙත ද අමෙරිකාව හා කැනඩාව පවසන කරුණුවලට සමාන තොරතුරු ලැබී ඇති බවය. කෙසේවෙතත් සම රටේ සහය අවශ්‍ය නම් ලබාදෙන බවට ද අගමැතිවරයා පෙන්වා දී තිබේ.
ගුවන් අනතුර පිළිබද ස්වීඩන රජය අවධාරණය කර තිබුණේ අනතුර පිළිබද 'කිසිදු අවශේෂ කරුණක් හෝ බැහැර නොකරන' බවයි. කෙසේ වෙතත් ඉරානයේ විමර්ශනවල මූලික අවස්ථාවේදී කියැවී තිබුණේ යානයේ කළු පෙට්ටියට මතුපිට බොහෝ හානි සිදුවී ඇති බවය. කළු පෙට්ටියෙන් දත්ත කියැවීමේ තාක්ෂණය ඉරානය සතුව නොමැති අතර දත්ත ලබාගැනීමේ පහසු ක්‍රමවේද දත්ත විනාශයට ද මගපෙන්වනු ඇති නිසා එය වඩාත් දුෂ්කර කාර්යයක් වී තිබේ. සොයාගත් පෙට්ටි දෙකෙහි දත්ත කියවා ගැනීමට වෙනත් රටකට යැවිය යුතු වන අතර ඒ කුමන රට ද යන්න තෝරාගැනීමට ඉරානයට සිදුවේ. පවතින තත්ත්වය හමුවේ ඉරානයට එය සිදුකිරීමට නම් මේ වනවිට ඉරානය කාර්ය බහුල වී සිටින යුද සැලසුමක් සේම අවධානය යොමු කළ යුතු බරපතළ කාර්යයක් වනු ඇත.