
කොළඹ නගරයේ ඔබ සිටින විට මහනුවර නගරයට ඔබ්බෙන් බුරබුරා ඇවිලෙන මහා ගිනි ජාලාවක් ක්‍රමයෙන් වර්ධනය වේ යැයි සිතන්න. එවිට ඔබගේ මනස කෙසේ ක්‍රියාකරනු ඇතිද? ඔබ අවට පරිසරය කෙසේ වනු ඇතිද? ගින්න වර්ධනය වෙමින් පවතින බැවින් ඔබගේ හෙට දවස කෙසේ වනු ඇතිද? සැබවින්ම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නගරවාසීන් මේ දිනවල ගතකරන්නේ එවැනි වූ පිළිතුරු සොයා ගැනීමට අපහසු ප්‍රශ්නවලට මුහුණ දෙමිනි. සිඩ්නි නුවර වටකරමින් මහා ගිනි ජාලා ඇවිලෙමින් පවතින අතර ඔවුහු සාමාන්‍ය දිනචර්යාව ගෙවමින් ගින්නත් සමග ජීවත්වෙමින් සිටිති. ඒ දවසක් හෝ දෙකක් දක්වා නොවේ. ලබන පෙබරවාරි මස අවසානයේ වැසි ලැබීමෙන් පසු මේ මහා ලැව් ගිනි නිවී යනු ඇතැයි ඔවුහු විශ්වාසයෙන් යුතුව බලා සිටිති. ඒ අතර මහා ගිනි ජාලා ඇවිලේ.
අන්තර්ජාතික ජනමාධ්‍ය ඉදිරිපත් කර ඇති තොරතුරු සහ දත්ත අනුව පසුගිය සැප්තැම්බර් සිට ඇවිලෙමින් පවතින මේ මහා ලැව් ගිනි හේතුවෙන් මේ වන විට දැවී ගොස් ඇති භූමි ප්‍රමාණය යුරෝපා මහාද්වීපයෙන් භාගයක් පමණ වේ. එය පසුගිය වසරේ ඇමේසන් වනයේ ඇතිවූ ලැව් ගිනිවලින් දැවීගිය සමස්ථ භූමි ප්‍රමාණය මෙන් දෙගුණයකි. සංඛ්‍යාත්මකව අක්කර මිලියන 14කි. මේ ගිනි හේතුවෙන් මියගොස් ඇතැයි ගණනය කර ඇති සතුන් සංඛ්‍යාව බිලියන බාගයකි. දැවෙමින් පවතින භූමිය සහ ඉන් නැගෙන දුමාරය අභ්‍යවකාශ ගත කර ඇති චන්ද්‍රිකා මගින් ඉතා පැහැදිලිව ඡායාරූප ගත කර තිබේ. මේ මහා ගිනි ජාලාවෙන් නැගෙන ගිනි පුළිඟු අක්කර බිලියන 1.3ක් පුරා පැතිර යමින් පවතින බවද වාර්තා වේ. එය කොතෙක්ද කිවහොත් නවසීලන්තයට පවා මේ ලැව්ගින්නේ දුමාරය සහ පුළිඟු දක්නට ලැබී තිබේ.
ඕස්ට්‍රේලියාවේ දකුණු සහ ගිනිකොණ ප්‍රදේශය, විශේෂයෙන්ම නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අති විශාල ප්‍රදේශයක් ගින්නෙන් බැට කමින් තිබේ.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයකු වන සුජීව කොකාවල මහතා මේ ගින්නේ අත්දැකීම ලබමින් සිටින්නෙකි. ඔහු පවසන පරිදි මේ මහා ගිනි ජාලාව පවතින්නේ ඔහු සිටින ප්‍රදේශයට කිලෝමීටර් 100ක් එපිටිනි. සැබවින්ම එම දුර කොළඹ සහ නුවර අතර ඇති දුරට සරලව සමාන කළ හැකිය. ඔහු පවසන පරිදි මේ සා ආසන්නයේ මහා ගිනි ජාලාවක් පැතිරෙමින් පැවතියද සිඩ්නි නුවර වාසීහු සාමාන්‍ය ජන ජීවිතය ගෙවමින් සිටිති. ඔවුන්ට බාධා ගෙන දෙන එකම දෙය වන්නේ දුමයි. දුම මහත් හිරිහැරයක් බව කොකාවල මහතාගේ අදහසයි. ඒ හැර මේ වන විට සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ නැග ඇති උෂ්ණත්වයද පීඩාවක් නොවන බව ඔහු පවසයි. එහෙත් පසුගිය 31 වැනිදා සිඩ්නි නුවර වාසීහු පරිසරයේ අදහාගත නොහැකි ක්ෂණික වෙනස්වීම්වලට මුහුණ දුන් බව පවසන ඔහු එම අත්දැකීම යළිත් ජනවාරි 4වැනිදා අත්දැකීමට වේ දැයි ජනතාව බියෙන් පසුවන බවද පවසයි.
සිඩ්නි නගරයේ ගින්නට ආසන්නයේ පවතින ජනාවාසවල ජනතාව ගින්නෙන් තම දේපළ බේරා ගැනීමට වෙර දරමින් සිටිති. ඔවුහු තම භූමිය ජලයෙන් තෙමමින් සිටින්නේ ගින්න තෙත් භූමිය මග හැර යනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. මෙහිදී ඇතැම් පුද්ගලයන්ගේ වෑයම සාර්ථක වී ඇති අතර අසාර්ථක වූවෝ වහා තම වාහනවල නැගී පළා යෑමේ සූදානමින් පසුවෙති. කොකාවල මහතා පවසන්නේ මේ මිනිසුන්ට පළා යෑම සඳහා අවහිර නොවන මාර්ග පවතින නමුත් ගින්නේ වේගය පැයට කිලෝමීටර් සියය ආසන්නයේ පවතින බවයි. එවැනි උත්සාහයන් දැරූ 17 දෙනෙකු තවමත් අතුරුදන් වූවන් ලෙස සලකන බවද කොකාවල මහතා සඳහන් කරයි. මේ පළාගියවුන්ගේ මෝටර් රථ හමුවුවද ඔවුන්ගේ සිරුරු හඳුනාගත නොහැකි වී තිබේ. මේ හැර අට දෙනෙක් මේ වන විට මියගොස් ඇති බව වාර්තා වී ඇත.
කොකාවල මහතා පවසන පරිදි මේ වන විට සිඩ්නි නගරයේ අවට ප්‍රදේශවල වාසී ජනතාව දහස් ගණනින් සිඩ්නි කරා පැමිණෙමින් සිටිති. ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ ජීවිත බේරා ගැනීමය. මේ අතර පසුගිය දෙසැම්බර් 31වැනිදා උදෑසන 9.30ට පමණ එක්වරම මුළු නගරයම මධ්‍යම රාත්‍රිය මෙන් අන්ධකාර වෙී තිබේ. මේ අන්ධකාර වීම දැක්වෙන වීඩියෝපට අන්තර්ජාලයේ දක්නට ඇති අතර ජනතාව සිදුවන්නේ කුමක්දැයි සිතාගැනීමට නොහැකිව භීතියට පත්ව තිබේ. දැනට විශ්වාස කරන්නේ ගිනි ජාලාවලින් නැගෙන දුම ඉහළ අහසේ වළාකුළුවලටද ඉහළින් පවතිමින් ඉරු ආවරණය කිරීම මෙසේ වීමට හේතුව බවයි. එමෙන්ම යළිත් ප්‍රබල ගිනි ජාලා නගරය ආසන්නයට පැමිණීමේ සහ මෙලෙස ආලෝකය අහිමි වීමේ යම් ඉඩක් ජනවාරි 4වැනි දින යළිත් සිදු වේ යැයි යන බිය සිඩ්නි නරග වාසීන් තුළ ඇතිවී තිබේ.
නගරය මේ දක්වා ආරක්ෂිත වුවද නගරය අභ්‍යන්තරයේ ඇති අක්කර කිහිපයක් විශාල වනාන්තරවල ගිනි ඇතිවීමේ යම් තර්ජනයක්ද තිබේ. පසුගියදා එවැනි ගින්නක් ඇති වූ අතර එය පැය කිහිපයක් තුළ මැඩලීමට ගිනි නිවීමේ කණ්ඩායම්වලට හැකිවී තිබේ. සුජීව කොකාවල මහතා පවසන්නේ තවත් මෙවැනි ගිනි නගරය අභ්‍යන්තරයේ ඇතිවන්නේ නම් එය නගරවාසීන්ගේ ජීවිතවලට තර්ජනයක් වනු ඇති බවයි. ඒ හැර වනාන්තරය මෙන් නිවාස ගිනි ගැනීමේ, දැවීමේ ඉඩප්‍රස්ථා අඩු බැවින් ගින්න නගරය මායිමේදී අවසන් වනු ඇතැයි නගරවාසීහු අපේක්ෂා කරති.
මේ මහා ගිනි ජලා නිවා දැමීමට කිසිඳු ඉඩකඩක් නොවූවද ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවේයැයි පවසමින් ජනතාව අගමැතිවරයා දෝෂ දර්ශනයට ලක්ව තිබේ. එමෙන්ම පසුගිය 31වැනිදා රාත්‍රියේ ගින්නට මැදිවූ පිරිසක් මරබියේ පසුවන විට අගමැතිවරයා නව වසර පිළිගැනීමේ සාදයකට සහභාගී වෙමින් ප්‍රීති වූයේයැැයිද විවේචන එල්ල වෙමින් තිබේ.
ඕස්ට්‍රේලියාවේ පිහිටීම හේතුවෙන් ලැබෙන අවම වර්ෂාපතනය සහ එම භූමියේ පැළවන ශාක හේතුවෙන් මෙවැනි ලැව්ගිනි වාර්ෂිකව ඇතිවේ. මේ ලැව්ගිනි ඕස්ට්‍රේලියාවට අමුතු දෙයක් නොවූවද මෙවර එහි අතිවිශාල වර්ධනයක් සිදුවී තිබේ. මේ ගින්න සම්බන්ධව වාර්තාවක් ගෙන එමින් එරට රූපවාහිනී නාලිකාවක නිවේදිකාවක් පවසා සිටියේ සොබාදහම ‘පන්චිං බෑගයකට‘ සමාන කළ හැකි බවත් මෙතෙක් කල් මිනිසුන් එයට පහර දුන් බවත් මෙවර එය පෙරළා මිනිසුන් වෙත පැමිණෙමින් පවතින බවත්ය.