
ගූගල් සර්ච් යනු මේ වන විට සමස්ත ලෝක ජනගහනයෙන් වැඩි පිරිසකට නැතිවම බැරි භාවිතයකි. ලෝකයේ අන්තර්ජාලය භාවිත කරන සියලු දෙනා එක්වරක් හෝ ගූගල් සර්ච් වෙතින් යමක් සොයා ඇතිවාට සැක නැත.
ගූගල් සර්ච් යොදා ගනිමින් වැඩිවශයෙන්ම සොයන ලද තොරතුරු සම්බන්ධව සෑම වසරකම සම්පිණ්ඩනයක් එම ආයතනය විසින් ඉදිරිපත් කරන අතර ඒ සම්පිණ්ඩනය කෙරෙහි ලෝක වාසීන්ගේ විශේෂ අවධානයක්ද හිමි වේ.
ඒ අනුව 2019 වසරේදී ජනතාව ගූගල් සර්ච් යොදගනිමින් වැඩි වශයෙන්ම සොයා බැලූ තොරතුරු සම්බන්ධව සම්පිණ්ඩනයක් ගූගල් ආයතනය විසින් නිකුත් කර තිබේ. මෙහිදී ඔවුන් සැලකිල්ලට ලක් කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාව විසින් ගූගල් සර්ච් භාවිත කර ඇති ආකාරයයි.
ජනතාව ගූගල් සර්ච් භාවිත කර ඇති ආකාරය ඔවුන් විසින් වර්ගීකරණයන් අටක් යටතේ දක්වා තිබේ. එනම් වැඩි වශයෙන්ම සොයා බැලීමට ලක් කර ඇති වචනය, වැඩිම අවධානයක් යොමු වූ පුවත, ‘කුමක්ද‘ යන වචනය යොදමින් වැඩියෙන්ම සොයා බැලිමට ලක් කර ඇති දෙය, ‘කොහේද‘ යන වචනය යොදමින් වැඩියෙන්ම සොයා බැලිමට ලක් කර ඇති දෙය? වැඩිම සොයා බැලීමට ලක් වූ පුද්ගලයන්, වැඩිම සොයා බැලීමට ලක් වූ අවමංගල්‍යය, වැඩිම සොයා බැලීමට ලක් වූ සිනමාපටය, වැඩිම සොයා බැලීමට ලක් වූ රූපවාහිනී කතාමාලාව යනාදී වශයෙනි.
මේ වර්ගීකරණයන්ට අදාළව වැඩිම සෙවීමට ලක් ව ඇත්තේ මොනවාද යන්න ගූගල් ආයතනය විසින් සෑම වසරකම තොරතුරු ඉදිරිපත් කළද මෙවර ඒ සම්බන්ධව ශ්‍රී ලාංකිකයන්ගේ වැඩි අවධානය යොමුව තිබේ. එයට හේතුව ‘කොහේද‘ යන වචනය යොදමින් අමෙරිකානුවන් මෙවර වැඩියෙන්ම සොයා ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වීමයි. ‘ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ කොහේද?‘ යනුවෙන් ඔවුන් එය ගූගල් සර්ච්හි සෙවීමට ලක් කර තිබේ. ගූගල් ආයතනය විසින් ඒ සම්බන්ධයෙන් දක්වා ඇති ලැයිස්තුව මෙසේය.
1. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ කොහේද?
2.මේ වසරේ සුපර් බෝල් පවත්වන්නේ කොහේද?
3.ඒරියා 51 පිහිටා ඇත්තේ කොහේද?
4.31 සැවේජ් (ගීත ඇල්බමයකි) පැමිණියේ කොහෙන්ද?
5. සුළිසුළඟ දැන් පිහිටා ඇත්තේ කොහේද?
6. xur ( යම් යම් දේ අලෙවි කරන ප්‍රබන්ධිත චරිතයකි) අද සිටින්නේ කොහේද?
7.clemson පාපන්දු කණ්ඩායම දැන් සිටින්නේ කොහේද?
8.ගොන්සාගා විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ කොහේද?
9.ස්ට්‍රෙන්ජ් තිංග්ස් සිනමාපටය රූ ගත කර ඇත්තේ කොහේද?
10. පෙබල් බිච් ගොල්ෆ් ක්‍රීඩාංගනය පිහිටා ඇත්තේ කොහේද?
මේ ලැයිස්තුව අනුව අමෙරිකානුවන් වැඩියෙන්ම සොයා බැලීමට කැමැත්තක් දක්වන්නේ තම රට ඇතුළත සිදුවන සිදුවීම් සම්බන්ධව බව පැහැදිලිව පෙනේ. එහෙත් මේ වසරේදී ඔවුන් වැඩියෙන්ම කොහේද යන වචනය යොදමින් වැඩියෙන්ම සෙවීමට ලක් කර ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙනි. වෙබ් අඩවි කිහිපයක්ම පෙන්වා දෙන අන්දමට එසේ වීමට ප්‍රධාන හේතු දෙකකි.
ඒ අතරින් ප්‍රධාන වන්නේ පසුගිය පාස්කු ඉරිදා දින අප රටේ අති බිහිසුනු ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුවීමය. දෙවැන්න වසර අවසානය වන විට සංචාරකයන් වෙනුවෙන් වන ප්‍රධාන සඟරා කිහිපයකම ශ්‍රී ලංකාව සංචාරයට ලෝකයේ හිතකරම රට ලෙසින් දක්වා තිබීමය.
පාස්කු ප්‍රහාරයත් සමග මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුවුණු අතර ශ්‍රී ලංකාවේ පිහිටීම සම්බන්ධව දැනුවත් බවක් නොමැති වැඩි දෙනා ගූගල් සර්ච් යොදා ගනිමින් වැඩි තොරතුරු දැන ගැනීමට උත්සාහ දැරූහ. එමෙන්ම සංචාරකයන් වෙනුවෙන් වන අති ප්‍රසිද්ධ සඟරාවක් වන ‘ලෝන්ග්ලි ප්ලැනට්‘ (Lonely Planet) ලෝකයේ හොඳම සංචාරක පාරාදීසය ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමද ශ්‍රී ලංකාව ගැන සොයා බැලීමට අමෙරිකානුවන් පෙළඹවීමට සමත් විය. මීට අමතරව Travel, Leisure, Conde Nest Traveller යන සඟරාද ශ්‍රී ලංකාව සම්බන්ධව විශේෂ තොරතුරු ප්‍රකාශ කිරීම සංචාරකයන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු වීමටත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව සම්බන්ධව සොයා බැලීම යොමු කරවීමටත් සමත් විය.
මේ පුවත සඳහන් කරමින් එක් අමෙරිකානු වෙබ් අඩවියක් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව ගැන කිසිවකු නොදන්නා බවයි. එබැවින් වැඩි දෙනාගේ දැන ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ පිහිටීම දැක්වෙන සිතියමක් තමන් පළ කරන බවත් ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේ, දකුණු ආසියාවේ ඉන්දියාවට දකුණින් බවයි.
අමෙරිකානු වැසියන් ඉතා විශාල අවධානයක් යොමු කරන අමෙරිකානු පාපන්දු ලීග කුසලාන තරගාවලිය දෙවැනි තැනට ඇද දැමීමට සමත් වීමෙන් අමෙරිකානුවන් 2019 වසරේදී ශ්‍රී ලංකාව සමබන්ධයෙන් දක්වා ඇති අවධානය පැහැදිලිය. එමෙන්ම එම අවධානය ඔවුන්ගේ සුපිරි වීර චරිත සහ සුළිකුණාටුව සම්බන්ධව පවතින අවධානයද පරදවා තිබේ.
අමෙරිකාවේ අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර හෙවත් සර්ච් එන්ජින් වෙළෙඳ පොළෙන් සියයට අනූවක් ගූගල් සමාගම විසින් ග්‍රහණය කරගෙන සිටින අතර සමස්ත අමෙරිකානු අන්තර්ජාල භාවිත කරන්නන් අතරින් සියයට 87ක් දෙනා ගූගල් සෙවුම් යන්ත්‍ර භාවිත කරති.
ගූගල් සමාගම විසින් ප්‍රකාශ කර ඇති සෙසු තොරතුරු අනුව කුමක්ද? යනුවෙන් යොදා සිදු කර ඇති සෙවුම් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ඒරියා 51 යනු කුමක්ද යන සෙවුමය. එහි සෙසු අංක අටම අමෙරිකාව තුළ ජනප්‍රිය නොයෙක් දේ වන අතර 10වැනි තැනට පත්ව ඇත්තේ බ්‍රෙක්සිට් යනු කුමක්ද යන සෙවුමය.
2019 වසර තුළ අමෙරිකානුවන් වැඩිවශයෙන්ම සොයා ඇති පුද්ගලයන් අතර මුලටම සිටින්නේ ඇන්ටෝනියෝ බ්‍රවුන් ය. අමෙරිකානුවන් වැඩියෙන්ම තොරතුරු සොයා ඇති සිනමාපට අතර ශ්‍රී ලාංකිකයන් වුවද තොරතුරු දැනගැනීමට කැමැත්තක් දක්වන සිනමාපට බොහෝය. කැප්ටන් මර්විල්, ජෝකර්, ටෝයි ස්ටෝරි 4, ලයන් කිං සහ ෆ්‍රෝසන් 2 ඒ අතර වේ. එදා මෙදා තුර ලොව පුරා අති විශාල ලෙස ජනාදරයට පත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටීවී කතා මාලාව මේ වසරේත් අමෙරිකානුවන් වැඩි වශයෙන්ම තොරතුරු සෙවූ ටෙලි කතා මාලාව බවට පත් වී තිබේ.