හීන හතක් මැද විමනක් සදා ‘අක්කර පහෙන්’ සම්මාන ලැබූ මඩවල එස්. රත්නායක‍‍ | Page 2 | සිළුමිණ

හීන හතක් මැද විමනක් සදා ‘අක්කර පහෙන්’ සම්මාන ලැබූ මඩවල එස්. රත්නායක‍‍

මඩවල එස්. රත්නායකගේ 90 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

මඩවල එස් රත්නායක කියන නම කුඩා කල අප අසා ඇත්තේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ‘ටිකිරි සිනා රැළි’ ළමා වැඩසටහනෙනි. යොවුන් වියේ ඔහු මෙහෙයවූ ‘යෞවන සමාජය’ වැඩසටහනට සහභාගි වීමෙන් අපි බොහෝ දේ උගත්තෙමු. අප ආදරෙන් ‘මඩවල අයියා’ නමින් හැඳින්වූ ඔහු සමීපව ඇසුරු කිරීම නිසා පසුකලෙක -70 දශකයේ දිනක- ‘නවයුගය’ පුවත්පත සඳහා ඔහු හා සංවාදයක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබිණි. ඒ අවස්ථාවේ ඔහු තම උපන්ගම ගැනත් නිර්මාණවලට යොමු වූ සැටි ගැනත් පැවසූයේ මෙසේය:

“මා බොහොම පිටිසර, හත් කෝරළයේ දඹදෙණියට කිට්ටුව ඇති අලව්වේ මඩවල කියන ගමේ උපන්නේ. වැඩිපුර කුඹුරු හේන් වලින් වට වී ඇති වටපිටාවක ජීවත් වූ අපේ වර්ගය ගොවියෝයි. ඔවුන් ජීවත් වුණේ ගොඩ-මඩ ගොවිතැනින්. මගේ නිර්මාණ හැම එකක් පසුපසම හීන් නූලක් සේ දිව යන්නේ මේ ගැමි ජීවන සුවඳයි.

පුංචි කාලේ මම කුඩා දරුවන් සමඟ ගමේ බඩවැටි, වෙල්එළි උඩින් හුම්මුළුව බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ගියා. ඉංග්‍රීසි ඉගෙනීමට කෑගලු විද්‍යාලයටත්, මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයටත් ගියා. මා මුලින්ම ලිව්වේ ප්‍රේම කතාවක්. මා එය නම් කළේ ‘පෙම් අමා’ කියලයි. කෙටිකතාවක් යනු කුමක්ද කියා වත් මා මුලින් දැන හිටියේ නැහැ! දිවයිනේ ප්‍රකට කතාකරුවන්ගේ කෙටිකතා කියවීමෙන් ඔවුන්ගේ කතාබීජවලට සමාන වස්තු ඒ අවට පරිසරයේද ඇති බැව් මට වැටහී ගියා.

මා එවැනි කතා කීපයක් ලියා තැබුවා. 1946 වර්ෂයේ මගේ කෙටිකතාවක් එච්.ඩී. සුගතපාල සංස්කරණය කළ ‘නව මඟ’ සඟරාවක පළ වුණා. මෙයින් ‍පසු කතා ලිවීමේ ධෛර්යය වැඩි වන්න පටන් ගත්තා; පාසල් වැඩ-කටයුතු පවා අතපසු කරගෙන සිංහල කෙටිකතා හා බටහිර සාහිත්‍යයේ කෙටිකතා කියැවීමට පටන් ගත්තා.

1949 ජාතික පුවත්පතක් මඟින් සංවිධානය කරන ලද ජගත් කෙටිකතා තරගයට මාත් ඉදිරිපත් වුණා. අපේ ගමේ බැළගෙඩි කඩා ජීවත් වන්නකුගේ චරිතයක් අලළා ලියවුණ කතාවක් ඒ. අපේ ගමේ පොල් කඩන මිනිහකු හිටියා පීතර කියලා. පීතර වත්ත දිගේ යන කොට ගස් ගඳ දැනෙනවා. හිටපු ගමන් පීතර ගම අත්හැරල ගියා. මේ සියලු දේ ඇසුරෙන් මා ලියූ කෙටිකතාව ‘පීතර මාමා’ කතාවට දෙවැනි තැන ලැබුණා. ඒ ජගත් කෙටිකතා තරගයෙන් මුල් තැන ලැබුණේ ගුණදාස අමරසේකර ගේ ‘සෝමා’ කියන කෙටිකතාවට.”

මඩවල එස් රත්නායක ලියූ මුල්ම කෘතිය වන ඕමාර් ඛයියාම්ගේ සුපතළ ‘රූබය්යාට්’ කාව්‍යයේ සිංහල පරිවර්තනය 1954 වසරේ ගුණසේන සමාගමේ ‘ලිහිණි පොතක්’ ලෙස පළ විය.එපොත පළ වීමේ පසුබිම් කතාවක් තිබේ.

“එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට මා පාසල් යන කාලේ මගේ කෙටිකතා තැපෑලෙන් යැව්වා. ඔහු නිහතමානිව ඒවායේ ගුණ-දොස් ලියා එව්වා. ලියුම් මඟින් මිතුරකුව සිටින මේ තැනැත්තා දැකගැනීමට මා ආශාවෙන් සිටියා. පාසල් යන කාලයේ සිටම මා ගුවන්විදුලි ශිල්පියකු ලෙස වැඩසටහන්වලට සහභාගි වුණා. ගුවන්විදුලි වැඩසටහන් වැඩමුළුවකට මට ආරාධනයක් ලැබුණු දිනයේ සරච්චන්ද්‍ර මහතා එහි කතාවක් කිරීමට පැමිණියා. රැස්වීම අවසන් වුණාට පසු මා එතුමාට කතා කළා.

“ඕමාර් ඛයියාම්ගේ ‘රුබය්යාට්’ කියවලා තියෙනවද?” සරච්චන්ද්‍ර මහතාගේ ගෙදරදී මගෙන් ඇසුවා.

“නැහැ...”

“පරිවර්තනය කරන්න වටින පොතක්. ම‍ඩේ කවිත් ලියන නිසා ඒක පරිවර්තනය කරන්න පුළුවන් වෙයි කියා මට හිතෙනවා. මගෙ ළඟ පොතක් ඇති. ඕන්නම් ඒක දෙන්න පුළුවන්.”

ඒ පොත ලබා ගත් මා ‘රුබයට්’ පරිවර්තනය කරලා සරච්චන්ද්‍ර මහතා ළඟට ගියේ පෙරවදනක් ලියා ගන්න. ඊට කලින් මගේ අ‍ත්පිටපත උඩින්-පල්ලෙන් කිය වූ ඩී.බී. ධනපාල මහතා (ලංකාදීප කර්තෘ) මට කිවේ මෙයට සරච්චන්ද්‍රයන්ට කියා හැඳින්වීමක් ලියාගන්නා ලෙසය.

“මඩේ, මම ලොකු වැඩක හිර වෙලා ඉන්නෙ. මේක මානවසිංහට පෙන්වන්න. එයා මටත් වඩා හොඳ පෙරවදනක් ලියාදේවි,” සරච්චන්ද්‍ර මහතා මට කිව්වා.”

මඩවල මහතා සේවය කළේ ‘ලංකාදීප’ පත්‍රයේය. හෙතෙම එහි ප්‍රවෘත්ති කර්තෘ ටී.බී. පෙරමුණේතිලකට මේ බව කී විට ඔහු පවසා ඇත්තේ ‘සරච්චන්ද්‍ර හා මානවසිංහ වෛරක්කායන්’ බවයි.

එහෙත් මඩවල මේ කිසිවක් නොතකා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් හමු වී සරච්චන්ද්‍රයන් කී කතාව කීවේය.

“මඩවල, බොරු කියන්න එපා!”

“මම මොකටද බොරු කියන්නේ? මානවේට පෙන්නන්නම කියලයි කිව්වේ. ඒ හින්දයි මම ආවේ” මඩවල ස්ථිර ලෙස කීවේය.

මානවසිංහන් සිත සරච්චන්ද්‍රයන් ගැන තිබූ සාහිත්‍ය මත ගැටුම බොහෝ දුරට වෙනස් වූයේ මේ සිද්ධියෙන් පසුය. ‘කාන්තාරය’ මැයෙන් ලියූ ඒ පෙරවදනින් මානවසිංහයන් කියා සිටියේ මඩවල ඛයියාම් කවියා තම රටේ පාඨකයා වෙත ආදරයෙන් කැඳවන බව හා ඔහුට තම පළපුරුදු වත්කමේ ප්‍රමාණයට සලකන බවය. ගැඹුරු හෙළ බසින් හෝ සකුව මුසු වියත් බසින් හෝ මෙයට වෙනස් පිළිවෙළකට මෙය සිය බසට පෙරළිය හැකි වෙතත් එයින් මෙරට සාමාන්‍ය ජනයාට කවර ප්‍රයෝජනයක්දැයි මානවසිංහයෝ ප්‍රශ්න කරති.

මඩවල එස් රත්නායක පාසල් යන කාලයේ විසි-තිස් වතාවක් ‘රොබින්සන් ක්රූසෝ’ කතාව කියවා ඇත. ඇම්.ජේ. පෙරේරා මහතාගේ ඉල්ලීම මත ඔහු මහරගම සමන් ප්‍රකාශකයන්ට එය පරිවර්තනය කොට දෙන ලදුව 1956දී එය පළ කරනු ලැබීය. තමා ලියූ නවකතා ගැන සිහිපත් කරමින් මඩවල වරක් අපට මෙසේ කීවේය:

“මා ලියූ නවකතා අතුරින් මගේ සිත් වැඩි වශයෙන් ඇදී බැඳී ඇත්තේ ‘පානෙන් අඳුරට’ පොතටයි. මේ නවකතාව මා හොඳින් ලිව්වා යන අදහස බලවත් සේ මා සිතට නැගී තිබෙනවා. ගැහැනියකගේ චරිතයකින් කියවෙන මේ නවකතාව ලිවීමට ම‍ගේ මිත්‍රයකුගේ සැබෑ අත්දැකීමක් පදනම් වුණා. ඒත් මා ලියූ නවකතා අතුරින් විචාරක ප්‍රශංසාව හිමි වූයේ ‘සිත නැති බඹලොව’ පොතටයි. එකගෙයි කෑම වැනි චාරිත්‍ර අපේ ගමේ මා කුඩා කාලයේ දකින්නට ලැබුණා. ‘අක්කර පහ’ නවකතාවට ඇතුළත් වු‍ණේ ගමේ සිට නගරයේ බෝඩිම් පාසලකට යන සේනගේ චරිතයයි. එය මගේ අත්දැකීමක්. මේ අත්දැකීම් හා ගමේ සම්බන්ධයත් මා ඒ අයුරින්ම විකාශනය කළා. කුමාරි අක්කාගේ චරිතය ගොඩනැඟුවේ මගේම අක්කාගේ චරිතය ඇසුරෙන්. නවකතාවේ එන ආකාරයට සේන කොලනියට ගිය පුවත ඇරෙන්න සෙසු සියලු සිද්ධි මට පෞද්ගලික අත්දැකීම්. සඳවතීගේ චරිතයේ නමේ ඇති සුන්දරත්වය මිස එවැනි නමක් ඇති චරිතයක් අපේ ගමේ නම් නැහැ.”

මඩවල එස් රත්නායකයන් මේ තොරතුරු මා සමඟ කීවේ 1977 මාර්තු 12 නවයුගය පත්‍රයට එහි පළ වූ ‘නිර්මාණයක පසුබිම’ විශේෂාංගයට එක් වෙමිනි.

1950 වසරේ ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයට රත්නායකයන් බැ‍ඳෙන විට එහි කර්තෘව සිටියේ පියසේන නිශ්ශංක මහතා බවත්, ජීබී සේනානායක, සයිරස් ඩබ්ලිව් සුරේන්ද්‍ර හා ආනන්ද කුමාර තමා සමඟ කර්තෘ මණ්ඩලයේ සිටි බවත් කීවේය.

රත්නායකයන් 1955 ලංකා ගුවන් විදුලියේ නිබන්ධ සම්පාදකයකු ලෙස සිටියදී භාත්ඛණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයේ ඉගැනුම ලබමින් සිටි අමරදේවයන් සිංහල අවුරුදු නිවාඩුවට ලංකාවට පැමිණි වේලේ ගුවන්විදුලියෙන් විශේෂ අවුරුදු ගී වැඩසටහනක් ඔහු වෙත පිරිනැමිණි. නිෂ්පාදකවරයා පී ඩන්ස්ටන් සිල්වාය.

අමරදේවයන් ගුවන්විදුලියට පැමිණි විට ගීත රචනා කරවාගැනීම සඳහා ඩන්ස්ටන්ට මානවසිංහ මතක් විය.

“දැන් මොකද කරන්නේ? මානවසිංහ මහත්තයට කියන්නත් වෙලාවක් නෑ...” ඔහු කීවේය. අමරදේවයන් හා ඩන්ස්ටන් කරන කතා-බහ මඩවල අසා සිටියේය.

“මඩේට බැරිද ගී දෙක-තුනක් ලියා දෙන්ට?’ ඩන්ස්ටන් මඩවලට යෝජනා කළේය.

“හැබෑවට ඔව්! අපට මඩේව එහෙම්පිටින්ම අමතක වුණා නෙ!” අමරදේවද කීවේය.

“මං කවදාවත් ගී ලියල නෑ නෙ...”

“පුරුදු වෙන්ටත් එක්ක ලියමු!” අමරදේව කියයි.

භාරතයේ අග්‍රගණ්‍ය සංගීතවේදියකු වන ඩීවී පලුස්කාර්ගේ ‘තුමක චලිත රාමචන්ද්‍ර’ නමැති භජන් ගීය අනුව මඩවල ගීතයක් ලියූවේය. ‘බවුජි බවුරා’ චිත්‍රපටයට ගැයූ ගීතයක් නිසා, පලුස්කාර්ගේ නම මෙරට සුළු පිරිසක් අතර ප්‍රචලිතව තිබුණද, ඒ සංගීතඥයාගේ විශාරදත්වය පිළිබඳ දැන සිටියේ අල්ප පිරිසකි. භාරතයේදී පලුස්කාර්ගේ ගී අසා ඒවා කෙරේ අමරදේව වශී වී සිටියේය.

‘තුම් මත ජාවො මුරාරි’, ‘පයෝජිමන රංරම රතන දන පායෝ’ යන ගී දෙක අනුව සිංහල ගී සකස් කොට ගායනා කිරීම නිසා පලුස්කාර්ගේ හින්දි භජන් ගී සොයා යෑමට තමා පෙලඹුණු බව මඩවල කියා ඇත.

 

‘නවක චලිත සීත සුළඟ

දේ රස මා පිනවා

මිහිරි ගීත අතිඋදාර

ලබන මෙ නව වසරේ

නවක...

සිහළ උලෙළ මීරි කරති

මේ ගී මා ගයනා ...’

 

අමරදේව ගායනා කළේද ඒ හින්දි ගීතයේ සියලු අංග ඇතිව බව කියා ඇත්තේ මඩවල ඒ යුගයේ එවැනි ගායන ශෛලීන් පොදු ජනතාවට සමීප වෙමින් තිබූ බවය. මඩවල රචනා කළ ගී අතර අමරදේවයන් ගැයූ මේ ගීතය තුළ සරල බව, සංකීර්ණ බව හා ශබ්ද මාධුුර්යයද මනාව සංකලනය වී ඇති බව විචාරකයන්ගේ මතයයි:

 

‘නිල් මහනෙල් මල් පිපුණා

නෙත් සැදුණා ඒ අනුගාමි

නළල ඇගේ අඩ සඳ වාගේ

මිහිරි නොවෙද හදවත කාගේ ...’

 

මඩවල එස් රත්නායකයන් පවසා ඇත්තේ, මෙරට සංගීතඥයන් වර්ග කිරීමට පැමිණි රතන්ජන්කර් පඬිතුමා කළ ප්‍රකාශයක් නිසා අපේ සංගීතඥයන් කිහිප දෙනකු අපේ ජන ගී දෙස විචාරවත්ව බැලූ බවය. රතන්ජන්කර් එදා කළේ වන්නම්, අෂ්ටක, සිව්පද, ස්තෝත්‍ර, පිරිත් යන මේවා අප රටේ නියම දේශීය සංගීතය බවයි. මඩවල ඒ ගැන වැඩිදුරටත් ‍මෙසේ අදහස් දක්වා තිබිණි:

මඩවල රචනා කළ මේ ගීතයේ තනුව හා ගායනය අමරදේවගෙනි. මඩවලගේ ගේය පද රචනා වැඩිපුරම ගැයූවේද ඔහුය.

 

‘රන්වන් කරල් සැලෙයි සන්සුන්කමින් බරව

සිල් ගත් සිතින් යුතු වූ කත සේ ...’

 

“අපේ ජන ගී නියම ලක්ෂණ අනුව ගායනා කරවීමෙන්, ජාතික සංගීතයක ළදරු අවස්ථාවක් වත් දැකගත හැකි වූයේය යන බලාපොරොත්තුවෙන් 1955දී ඩබ්ලිව් ඇ‍ෆ් විමලසිරි සංගීතඥයාගේ සහාය ඇතිව ‘ජන ගායනා’ නමින් වැඩසටහන් දෙකක් ගුවන්විදුලියෙන් මම ඉදිරිපත් කළෙමි. එයට චෝදනා ලැබුණු පසු මම එය නවතා ලීමි. උත්තර භාරතීය සංගීතය මැනවින් හැදෑරූ අමරදේව මහතා දිවයිනට පැමිණි පසු, කලින් අතහැර දැමූ ‘ජන ගායනා’ වැඩසටහන ඒ මහතාගේ සහාය ඇතිව මම නැවත ඇරඹුවෙමි.” අමරදේව - මඩවල සුසංයෝගයෙන් ඉන්පසු ගීත කිහිපයක් බිහි විය.

 

‘මින් දද හීසර වැදී සැලෙන හද ...’

‘බඹරෙකු ආවයි නිරිත දිගේයා ...’

‘කැලේ ගහක මල් පිපිලා සුවඳ හමනවා ...’

 

මඩවල එස්. රත්නායක චිත්‍රපට ගීත රචනයට පිවිසෙන්නේ 1964 වසරේ ‘ගැටවරයෝ’ චිත්‍රපටයෙනි.

එවසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම ගීත රචකයාට හිමි සම්මානය හිමි වන්නේ ඔහුට ය. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා අමරදේවයෝය. සම්මාන දිනූ ගීතයයි මේ.

‘හීන හතක් මැද විමනක් සැදුණයි

සීත සඳුන් සුව ඒ තුළ පිරුණයි ...’

මේ ගීතය ගැටවරයෝ චිත්‍රපටයේ දෙතැනෙක ගැයේ. ලතා වල්පොල වරෙකද අමරදේවයෝ තවත් තැනකද එය ගායනය කරති.

‘ගැටවරයෝ’ චිත්‍රපටයේ අමරදේවයන් ගයන තේමා ගීතයද මඩවලගේ පබැඳුමකි.

‘ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ඔරුවක ගොඩ වී මා එනවා ...’

මඩවල රචනා කළ චිත්‍රපට ගීත අතර ඊළගට අපට හමු වන්නේ ‘පටාචාරා’ චිත්‍රපටයට අමරදේවයන් ගැයූ ‘තණ්හා ආශා ඔලගු කරේ ලා ...’ හා නන්දා මාලිනී ගැයූ ‘බාලොලි ලොලි ලොලි ලොලී බාලොලි ලොලියේ ...’ ගීත ද්වයයි.

මඩවල රත්නායක ලියූ නවකතා අතර අක්කර පහ, සිත නැති බඹ ලොව, පානෙන් අඳුරට, කන්ද කපා හඳ පායා, අම්බලම් පාළුවෝ, අලුත ගෙනා මනමාලි, දවස් මෙසේ ගෙවී ගියා, නිල් මල් විල, අක්කයි මායි ද; කෙටිකතා සංග්‍රහ අතර බුදු හිනාව, නොමළ මල්, වැහි වලාකුළු, තවලම්කාරයෝ, පහන නිමුවා කටින් පිඹලා, මල් කඩුපුල්, උපන් දා සිට කරපු පව්, සුවඳ පිරුණු අනාගතයක්, කුඩප්පා ද; පරිවර්තන අතර රොබින්සන් කරූසෝ, රුබයට් ද; ගීත සංග්‍රහ අතර ‘ගීත ප්‍රබන්ධ’, ‘ටිකිරි ලියා’ ද; ගීත සාහිත්‍ය විචාර අතර ‘ගී සින්දු සාහිත්‍යය’ ද කාව්‍ය සංග්‍රහ අතර ‘මාර යුද්ධය’ ද වෙයි.

මීට වසර අනූවකට පෙර උපත ලැබූ මඩවල සිරිසේන රත්නායක 1997 ජනවාරි 07 වැනිදා අභාවප්‍රාප්ත විය. ප්‍රවීණ ලේඛකයකු, කවියකු, ගීත රචකයකු, පරිවර්තකයකු, මාධ්‍යවේදියකු, ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකයකු වූ ඔහු 1964දී විවාහ වූයේ ලංකා විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිනියක වූ සෝමලතා රත්නායක සමඟය. ඇය හැටේ දශකයේ ලියූ ‘බෞද්ධ ශිෂ්ටාචාරය’ කෘතිය මහරගම සමන් ප්‍රකාශකයන් විසින් නිකුත් කෙරිණි.

රත්නායක යුවළට පුත්තු තිදෙනෙකි. වැඩිමහල් පුත් තුෂාර රත්නායක භාරතයේ භාත්ඛණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයෙන් ශිල්ප ඥානය ලත් දක්ෂ වයලීන වාදකයකු වූ අතර, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වයලීන වාදනය පිළිබඳ කථිකාචාර්යවරයෙකි. දෙවැනි පුත් සුලෝචන පශු වෛද්‍යවරයෙකි. තෙවැනි පු‍ත් පූර්ණක රත්නායක අමෙරිකාවේ වෙසෙයි.

 

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

Comments