අද විචාර ලියැවෙන්නෙ ‘සම්මාන’ ලබන පොත්වලට පමණයි | සිළුමිණ

අද විචාර ලියැවෙන්නෙ ‘සම්මාන’ ලබන පොත්වලට පමණයි

යොවුන් ආදරයේ සුන්දරත්වය ආදරය, විරහව මේ සෑම සිදුවීමක් ම ඇය අපට තිළිණ කරන්නේ නවකතාවකිනි. ඇය ලියන බොහෝ නවකතාවල කාන්තාවට ඇති අභියෝග හා දරාගැනීමේ ශක්තිය උකහා දක්වයි. විශේෂයෙන් ඇයගේ නවකතා වැඩිපුරම කියවන්නෙත් කාන්තාවන් වීම විශේෂයකි. නව ආරක කතාවක් සැම විටක ම පාඨකයන්ට තිළිණ කරන්නට වෙර දරන ඇය තරංගා දිසානායකයි.

 

ඔබ නිර්මාණකරණයට පිවිසෙන්නේ කෙලෙසද?

පාසල් කාලයේ තමයි සෙල්ලමට වගේ මගේ පන්හිෙඳන් නවකතාවක් ලියැවෙන්නෙ. මේ කතාව අතින් අත යනවා. අපේ පාසලේ සහ කුරුණෑගල විවිධ පාසල්වල ළමුන් අතරේ අතින් අත ගිය මේ නවකතාව මගේ අතට ලැඛෙන අවස්ථාවන්හිදී පාඨක අදහස්වලින් අන්තිම පිටු පිරිලා. ආදරය තේමා කරගෙන කුලුඳුලෙ ලියැවුණ ඒ නවකතාව පසුකාලීනව පාඨක අදහස් හා යෝජනා අඳුනාගෙන නැවත ලියැවෙනවා. ඒ නවකතාව තමයි මගේ මුද්‍රිත ප්‍රථම නවකතාව 'සත්‍යා' ලෙසින් පාඨක දෝතට පිදෙන්නෙ.

ඒ කාලෙ අද වගේ ස්මාට් දුරකථන නැති යුගයක ඇතිවන ආදර කතා හරිම සංවේදීයි. සුන්දරයි. යොවුන් පත්තර කලාව ඒ දිනවල ජනප්‍රියයි. පාසල් ජීවිතයට සමු දී උසස් අධ්‍යාපනය හා රැකියාවක් සඳහා කොළඹට එන මම මේ යොවුන් පත්තරවලට යොමු වෙනවා. මගේ මුල්ම පත්තර නවකතාව' ඇතුගල තවමත් නිහඬයි' උපාලි බණ්ඩාර වීරසේකරයන් සංස්කරණය කළ 'සබඳ' යොවුන් පුවත්පතේ පළ වෙනවා. යොවුන් පුවත්පත් හරහාත්, මුද්‍රිත ග්‍රන්ථ හරහාත් ඇවිද ආ මාවත දෙස ආපසු හැරී බැලූවහොත් පොත් 83ක් විතර එළිදක්වා තියෙනවා. ඒ සියල්ල අතරින් මට විශේෂ ජයග්‍රහණයක් අත්පත් කර දෙන්නේ 'දේවස්මිකා' නවකතාව. එය 2004 වයඹ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ මුද්‍රිත ග්‍රන්ථ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනාගන්නවා. ඒ වගේම බොහෝ වාර ගණනාවක් මුද්‍රණය කළ අදටත් වෙළඳපොලේ ඉල්ලූම පවතින පොතක්.

 

ඔබ පාඨකයන් අතර ප්‍රසිද්ධ ආදර කතා ලියන්න. එහෙත් ඔබේ, මහාමේරු, ඇසල මද්දහන, ඇයද පටාචාරාවකි, සුභාශිංෂන, සත් මහ සයුර වැනි නවකතා වෙනත් ආරක කතා.

මගේ මුල්ම අවධිය, ඒ කියන්නේ මගේ පටන් ගැන්ම තුළ තිබුණ ශක්තිය තමයි ආදර කතා විදිහට මතුවෙන්නේ. ආදරය, ප්‍රේමය වැනි දෙයට අදටත් අපට නිර්වචනයක් දෙන්න බැහැ. නමුත් ජීවිතය ටිකෙන් ටික කාලයත් සමඟ විවිධ විදිහේ අත්දැකීම් ලබමින් ඉදිරියට ගමන් කරද්දි අපේ මනසේත් විවිධ විපර්යාස සිද්ධ වෙනවා. අත්දැකීම් වර්ග කරන්න බැහැ. විවිධ විදිහේ අත්දැකීම් බහුලයි. බොහෝ විට මේ අත්දැකීම් කියන්නේ අපට සිද්ධවෙන වැරදීම්. පෞද්ගලිකව මට විතරක් නෙමේ. සමාජයේ බොහෝ කෙනෙකුට සිදුවෙන අත්දැකීම් මගේ මනඃකල්පිතයකුත් මුහුවෙලා නවකතාවක් විදිහට ගොඩනැ‍ෙඟෙනවා. සත්‍ය අපි දන්නා විදියට නීරසයි, කටුකයි. ඒ කටුක ඇත්ත තුළ මං බොළඳ සංවේදී පරම පිවිතුරු ආදරයක් ගොඩ නඟන්න බැහැ. එහෙම ආදරය කතා සමාජයේ දකින්නත් නැහැ. මහ පොළොවේ පය ගසා ජීවත්වෙන ඒ ජීවිතවල ඛේදවාචකය, යථාර්ථය පෙන්වා දෙමින් ගොඩනඟනවිට ආදර කතාවලින් ඔබ්බට ගිය වෙනස් ආරක නවකතාවක් ගොඩනැගෙනවා.

 

යොවුන් ආදරය පිළිබඳව ලියවුණ කතා 'මල්කතා' යැයි ඇතැමුන් බැහැර කරනවා. මෙය ඔබ දකින්නේ....

තමා තුළ ඇති උගත්කම, සමාජ තත්ත්වය හෝ පෞරුෂය විදහා දක්වන්න කෙනෙක් 'මල්කතා' කියමින් මේ යොවුන් ආදර කතා බැහැර කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් වයසින් පරිණත වී අත්දැකීම්වලින් වියපත් වෙද්දී මේ ආදරය විහිලූවක් ලෙස පෙනෙන්න පුළුවන්. මට නම් හිතෙන්නේ තමාත් ජීවිතයේ යම් අවදියක මේ ආදරය විඳි බව ඔවුන්ට මතක් කරගනන් පුළුවන් නම් ඒ අවධියේ ඒ සොඳුරු ආස්වාදයට, සංවේදී නිමේෂයන්ට හිමින් ගමන් කරන්න දොරටු විවර කර දෙන හොඳ මාර්ගයක් තමයි මේ යොවුන් ප්‍රේමකතා.

 

ඔබේ කෘති ගැන විචර ලියැවෙනවට කැමතිද?

ඔව්. විචාරයක් ම නොවුණත් පොතක් පිටවුණ හැටියේ ඒ පොත ගැන පාඨක අදහස් එනතුරු බලගෙන ඉන්නෙ හරිම නොඉවසිල්ලෙන්. නමුත් අද විචාර බහුතරයක් ලියැවෙන්නෙ 'සම්මාන'ලබන පොත්වලට පමණයි. මා ගරුකරනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා මහතාට එතුමා මගේ පළමු පොත 'සත්‍යා'මිලට ගෙන කියවා ඒ වෙනුවෙන් වචාරයක් ලියා එවනවා. නමුත් මට එයට පුවත්පතක ඉඩ ලැඛෙන්නේ නැහැ. මහාචාර්ය චන්දිම විජයබණ්ඩාරත් මගේ 'ඇයද පටාචාරාවකි' නවකතාව අගය කරමින් විචාරයක් ලියා දී තිඛෙනවා. අපට ඉදිරියට යන්න මාර්ගයක් විවෘත කර දීමක් තමයි මේ විචාර කියන්නෙ. නවකතා ලෝකයට පිවිසෙන අංකුරයන් ගැන කවුද විචාරයක් ලියන්නෙ; කවුද ඔවුන්ව අගය කරන්නෙ. ඔවුන්ගෙම ශක්තියෙන් දවසක මහා වනස්පතියක් වුණොත් මිස මා නම් කියන්නේ විචාරයක් නොවුණත් ඔවුන්ව අගය කරන්න කියලා. ඒ අගය ඔවුනට ලෝකයක් තනා දේවී.

මගේ 'සත්‍යා' නවකතාව දොර වඩින මොහොතේ සභාව අමතමින් ප්‍රවීණ ලේඛක කුමාර කරුණාරත්නයන් කීව වචන තුනක් මගේ මතකයේ තියෙනවා. 'තරංගාට අනාගතයක් තියෙනවා'. ඒ වචන තුන ඊයම් බරු වගේ මගේ හදවතේ තැන්පත් වුණා. දුකකට තියෙන්නේ මගේ ගමන් මඟ දැකලා සතුටුවෙන්න එතුමා අද ජීවතුන් අතර නැතිකමයි.

 

ඔබ ලේඛනයේ නිරත වීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

ලේඛිකාවක වශයෙන් නම් මගේ බලාපොරොත්තුව පාඨකයාගේ මනස සුවපත් කිරීම සඳහා ඉඩ ඇති හැම විටෙකම ග්‍රන්ථකරණයේ යෙදීම. ඉස්සරට වඩා දැන් බොහෝ ලේඛකයන් බිහි වී ඉන්නවා. නමුත් බුද්ධිමත් පාඨක ජනතාව අප සමඟම රැඳෙන හේතුව වශයෙන් මා දකින්නේ ඔවුනගේ මනස සුවපත් කරන සතුට ලබාදෙන වින්දනය ලබා දෙන හරවත් වූ යථාර්ථවාදී කියවීමක් ඔවුනට ලබාදී මයි.

ඉදිරියේදී මා අතින් 'නරියාකන්ද බංගලාව', 'ගිගුම්'හා 'පාදපරිචාරිකා' කියන නවකතා ලියැවේවි. මේ සියල්ලම එළිදකිනුයේ'තාරා ප්‍රකාශන'වශයෙනුයි. මේ වසරේත් තවත් අංකුර නවකතාකරුවන් කිහිපදෙනෙකු පාඨකයාට හඳුන්වාදීම මගේ තවත් බලාපොරොත්තුවක්. මාත් බිංදුවෙන් පටන් ගත්ත අංකුරයක්. එහෙත් අද වන විට විශාල පොත් ගණනක් ප්‍රකාශයට පත්කරමින් ක්ෂේත්‍රයේ රැඳී ඉන්න මට වාසනාව ලැබී ඇත්තේ පාඨකයා මා වෙත තැබූ විශ්වාසය නිසයි.

හැම නවකතාවකින්ම මා උත්සාහ කළේ කාට හෝ ශක්තියක් ධෛර්්‍යයක් වෙන්නයි. කාන්තාව සහජයෙන් දරාගැනීමේ ශක්තිය උරුමකරගෙනයි උත්පත්තිය ලබන්නේ. ඇය හදවතින් බොහෝම සංවේදියි. ජීවිතයේ ඇයට එල්ලවන තඩන පීඩන, අභියේග මෙපමණයි කියන්න බෑ. බොහෝ කාන්තාවන් විවාහ ජීවිතය තුළ හෙම්බත් වෙලා ඉන්නවා. නමුත්.. ඒ සියල්ල අබිබවා යන ශක්තිය මගේ පොත්වල අඩංගු වෙලා තියෙනවා කියලා හිතෙනවා.

 

Comments