ප්‍රවීණ කිවියර බුද්ධදාස ගලප්පත්ති යනු දශක පහක කාලයක් තිස්සේ කවිය ස්වකීය මාධ්‍ය කර ගනිමින් කලාවේ නිමග්න වී සිටින සක්‍රිය නිර්මාණවේදියෙකි. සක්‍රිය යන්නෙන් අදහස් කෙරෙන්නේ හුදෙක් කවි රචනා කිරීම ම නො ව බොහෝ විට භෞතික වශයෙන් විවිධ කටයුතුවල නිරත වෙමින්, කලා ලෝකයේ සැරි සැරීම ය. ඔහු ගේ සමකාලීන මිතුරු සමාජයට වඩා කලාවෙහි සක්‍රිය ව නිරත වීම, බුද්ධදාස ගලප්පත්ති කවියා ගේ ව්‍යවහාරික ජීවිත ලක්ෂණයකි.
‘පසළොස් පැය’ ඔහු ගේ දසවැනි කාව්‍ය ග්‍රන්ථයයි. කාව්‍ය ග්‍රන්ථ 10ක් පළ කිරීම සඳහා ගත කර තිබෙන කාලය වසර 50කි. එය සුළුපටු කාලයක් නො වේ. එය කෙනෙකු ගේ සමස්ත ජීවිත කාලය තරම් දිගු ය. ඒ අනුව වසර 50ක කාලයක් තිස්සේ රචනා කරන ලද කවි නිර්මාණවල විපරිණාමය වටහා ගැනීම අද දවසේ තරුණ කවි පරපුරට ඉතා අගනා අභ්‍යාසයක් විය හැකි ය.
‘පසළොස් පැය’ කාව්‍ය සංග්‍රහයට කාව්‍ය රචනා 40ක් අන්තර්ගත ය. ඒවා සමකාලීන සමාජ යථාර්ථය ප්‍රතිනිර්මාණය කෙරෙමින් රචිත ය. බුද්ධදාස ගලප්පත්ති ගේ කාව්‍ය භාෂාව සරල ය. සුගම ය. භාෂාව කෙරෙහි ඔහු දක්වන සැලකිල්ලෙන් හැඟී යන්නේ, එය අනවශ්‍ය ආකාරයට දුෂ්කර බන්ධන කෙරෙන ආකෘතියකින් යුක්ත නො වන බව ය. භාෂාව හුදෙක් කවියේ මාධ්‍යයක් ලෙස භාවිත කරනු විනා, එය පණ්ඩිතමානී ස්වභාවයකින් යොදා නො ගැනීමට කවිය නිතර උත්සාහ ගෙන තිබේ. අනෙක් අතට එය සංකීර්ණ නැත. ස්වභාවෝක්තියෙන් ම කවියෙහි අලංකාරය ගොඩනඟන බුද්ධදාස ගලප්පත්ති නිතර වෙහෙසෙන්නේ, රසිකයා තුළ අර්ථෝද්දීපනයෙන් චමත්කාරයක් ඇති කිරීමට ය. දකින දෙයෙහි නො දකින මානය භාෂාත්මක ව ඉස්මතු කර ගනිමින්, කවිය නිම කිරීම ඔහු ගේ කාව්‍යාත්මක උපක්‍රමයයි. මේ පිළිබඳ ව පසු සටහන් තබන මහාචාර්ය රෝහිනී පරණවිතාන මහැදුරුතුමිය මෙසේ පවසන්නී ය.
‘ගලප්පත්ති කවියා තමා ගේ අවධානයට ලක් වූ සුලබ සමාජ සංසිද්ධීන් හමුවේ දුලබ තිගැස්මක් ද සහිත සියුම් ආස්වාදයක් විඳගැනීමට සහෘදයාට අවස්ථාවක් ලබාදෙන අතර, මෙහිදී කවියා ගේ නිර්මාණ කෞශල්‍යය, සතතාභ්‍යාසය හා ලෝකාන්වේෂණයේ තීව්‍ර බුද්ධිය එම නිර්මාණාඛ්‍යාන වික්‍රමයේ ජයශ්‍රීයට ප්‍රබල ශක්තියක් සපයා ඇත.’
මහාචාර්ය පරණවිතාන මහත්මිය ගේ උක්ත අදහස වඩාලාත් තහවුරු කෙරෙන කවි වශයෙන් ටැංකියේ මාළුවාට කූඩුවේ ගිරවා මෙසේ කියයි, මුචලින්ද අසයි, කෙටි පණිවුඩ නොවේ, ඈ කුණ්ඩලකේෂී නො වූවා ය, පටාචාර ගේ පැමිණිල්ල වැනි නිර්මාණ නිදර්ශනය කළ හැකි ය.
මේ එවැනි එක් කාව්‍යාර්ධයකි.
‘සයවන සතියෙහි
අනෝරා වැසි මැද
මේඝ ගර්ජනා හඬමැද
සත්වරක් වෙළා උණුසුම් කොට
විසල් නා ගොබයෙන්
සිරසට සිරුරට
වැසි බිඳකින් හෝ ආන්තරාවක්
නො වන සේ රැකගත්
නාරජිඳු වෙමි මම
බෝ සමිඳුට විහාරයට
ගැයෙන ගාථා
ඇසෙයි බුදුමැදුරට
මා නමින්
එක ම එක ගාථාවක් හෝ
නො ගැයෙන්න
කාරණා කිම
බුදුහිමියෙනි’ ...!
කවියා ඉස්මතු කර දක්වන මේ අදහස ඇතැම්විට කිසිවෙකුට මෙතෙක් කලක් නො සිතුණු ආකාරයේ සිතුවිල්ලක් විය හැකි ය. හයිකු කවියක අන්තර්ගත නිසළ විලක රැලි නැංවෙන ආකාරයේ කාව්‍යාත්මක වස්තු විෂයක් මෙවැනි කවියකින් ඉස්මතු වනු පෙනේ.
අනිමිසලෝචනය පිළිබඳ සාම්ප්‍රදායික ඇදහීමට ප්‍රතිපක්ෂ ව මෙලෙස දැක්වෙන අදහසකින් රසිකයා ගේ ප්‍රඥාව අවදි කළ හැකි ය. බෝ ගසට දක්වන සැලකිල්ල, අප විසින් මුචලින්ද නා පෙනයට නො දැක්වෙන්නේ ඇයි? යනු විසින් ඇසිය හැකි දාර්ශනික ප්‍රශ්නය එක්වර නැගෙන්නේ මෙතෙක් කලක් අප තුළ වූ අන්ධභක්තිය කෙරෙහි ආලෝක දහරක් එල්ල කරමිනි.
මෙවැනි කවිවලින් රසිකයා ජීවන සමෘද්ධභාවයක් අත්කර ගන්නේ ය. ඒ අනුව ඔහු අවට සමාජ පරිසරය දෙස විමර්ශනාවලෝකනයෙන් බලන්නට ද පුරුදු පුහුණු වෙයි. නූතන කවියා ගේ එක් ප්‍රධාන මෙහෙවරක් විය යුතු වන්නේ මෙයයි. කවියා, රසිකයා ගේ සිත තුළ චමත්කාරයක් ඇති කළ යුතු ය. එමෙන් ම ප්‍රඥාවේ එළි දැල්විය යුතු ය.
බුද්ධදාස ගලප්පත්ති කවියා ගේ ඇතැම් කවියක් ආඛ්‍යාන කාව්‍ය ආකෘතියෙන් සමන්විත ය. තවත් කවියක ක්ෂුද්‍ර කාව්‍ය ලක්ෂණ දැකිය හැකි ය. විශේෂ ලක්ෂණයක් වශයෙන් ස්වකීය ස්වාධීන කෘතිවලදී ඔහු එළිවැට සහිත සිව්පද ආකෘතිය සපුරා බැහැර කර තිබේ. එවැනි උපුටා දැක්වීම් කිහිපයක් පළ කරනු ලැබ තිබුණ ද, නව නිර්මාණ වශයෙන් සිව්පද ආකෘතියට ඔහු ගේ නැඹුරුතාවක් නො පෙනේ. ඒ අනුව පැහැදිලි වන්නේ බුද්ධදාස ගලප්පත්ති නමැති කවියා ගේ ජීවන විලාසිතාව ම ඔහු ගේ කාව්‍ය කෘතියේ හැඩරුවට බලපා තිබෙන බවකි.
අප සැම දන්නා පරිදි බුද්ධදාස ගලප්පත්ති යනු නිදහස්කාමියෙකි. නිදහසේ ජීවිතය ගෙවන සරල පුද්ගල චර්යාවක් ඇත්තෙකි. ඒ සමඟ සමාජ දේශපාලනික අවකාශයේ පවතින ඇතැම් දේ පිළිබඳ ව විමර්ශනය කරමින් ඒවා සංවාදයට ලක් කිරීමට උත්සාහ දරන්නෙකි.
‘පාළොස් පැය’ කෘතියෙන් නිදර්ශනය වන්නේ ද කවියා ගේ ජීවන පැවැත්මෙන් ම උත්පාද වූ කවි සමුච්චයකි. ඒවා සරල බස් වහරකින් රචිත ය. දුරවබෝධ වන තරමට ගැඹුරු ද නැත. අල්පාලංකාර ය.
කර්තෘ - බුද්ධදාස ගලප්පත්ති