මාගලක් වගේ පේන දිගම දිග තාර පාරේ මැද හරියේ තියන එක ම එක කෑමකඩ පේලිය දිහාට - අවන්හල් සංකීර්ණය පැත්තට හැරවෙන කාර්-බාර් පියාඹගෙන එන්නේ හොර අඩි තිය තියා වගේ. බංගලි රෝස පඳුර අස්සේ මං පරාණ බයෙන් තැග් ගැහි-ගැහී ඉන්නේ හොර සෙය්යාවෙන් එන ඒ නවීන වාහනේක රෝදෙකට ඉබිකටුව කොයිවෙලේ චප්පවෙලා යයි ද කියන බයෙන්. දක්ෂිණ අධිවේග මාර්ගය ඉදිවෙන්න කැලෑපා`ඵ කරපු කාලෙ බිත්තරයක් බිඳගෙන ඇවිදිං අහස දැකපු මට, කාලයක් මේ ඉසවුවේ නොමැරී ජීවත්වෙන්න වරම ලබාදුන්නේ දෙවියන් වහන්සේ ද මේ ඉබිකටුව ද එහෙමත් නැත්තං ඒ දෙකම ද කියන එක දන්නෙත් දෙයියොම තමයි.
‘ඉබ්බන්ට, කැස්බෑවන්ට කර්ණපටලයක් තිබුණට මොක ද උන්ට ඇසීම අනුවර්තනය වෙලා තියෙන්නේ උන් ජීවත්වෙන ජලය වගේ මාධ්‍යයක් තුළින් සම්ප්‍රේෂණය වෙන ශබ්ද අඳුරගන්න විතරමයි’ කියල පණ්ඩිත කතාවක් දවසක් කිව්වේ මෙතනට ආව මනුස්සයෙක්. බම්බුව තමයි. එහෙම නං කොහොම ද ඒ කියාපු කතාවත් මට ඇහුණෙ?
එළිමහනේ අටවල තිබුණ මේස පොඞ්ඩක වාඩිවෙලා ගෝලබාලයො දෙතුන් දෙනෙකුත් වටකරං බටයකින් සිසිල් බීමක් උර-උර උන්නු ඒ රැවුල්කාර තලත්තෑනි මනුස්සයා විද්‍යාඥයෙක් ද පර්යේෂකයෙක් ද කියල හරියටම හිතාගන්න අමාරුයි. එයා කිව්වේ ‘ඉබ්බෝ, කැස්බෑවෝ වගේ උරගයෝ අයිතිවෙන්නේ කෙලෝනියා ගෝත්‍රයට’ කියලයි. ඉතිං බලමු, ගෝත්රවාදී මිනිහාම නේ සත්තුන්ගේ ගෝත්‍ර හොයන්නෙත්? හැමදේම වර්ගීකරණය කරන මිනිහා පර්යේෂණ කියල කරන්නෙත් වර්ගීකරණයක්. සතුන්ගෙන් වුණත් වෙනස්කම් දකින්නම නේ දෙවියන් වහන්සේ මිනිහාට ඇස් දෙකක් දීල තියෙන්නේ?
ඔන්න ඉතිං මං හිතන්න ගත්තා. අර පැත්තට හිතුවා. මේ පැත්තට හිතුවා. මිනිස්සු නං හිතං ඉන්නේ ඉබ්බන්ට හිතන්න දන්නේ නෑ කියල. ඒත් ඉබ්බන්ට බැරි කතා කරන්න විතරයි. ඉතිං එහෙම වර්ගීකරණ ගැන හිතාගෙන හිතාගෙන යනකොට තමයි තේරුණෙ දේවල් ගැන වැඩිපුරම කතාකරන්නේ ඒ දේවල් ඇත්තේම නැති උදවිය ද කියලා. සාධාරණේ ගැන, යුක්තිධර්මෙ ගැන, වාර්ගික එකමුතුව ගැන කෙස්පැලෙන තර්ක ඉදිරිපත් කරන මිනිහෙකුගේ හැබෑ නිරුවත මං දැක්කෙ රෑ මැදියමක අධිවේගි මාර්ගෙ අධිවේගෙං ඇවිත් ගලගැහුව වගේ නතර කරපු වාහනයක් ඇතුළෙන් දෝංකාර නංවපු දෙබසකින්.
’මොනව හරි බොනව ද?’
’මට ඕන්නැති බීමක් නෑ’
සද්දන්ත පුරුෂයෙක්, සැමියෙක් අඩියට දෙකට බීම හලකට දුවගෙන ගියේ ‘උඹ ඕන කුදයක් ගහගනිං’ කියන්න වගේ. කාන්තාව, බිරිඳ දුරකතන බට්ටෙක් අතට ගත්තෙත් ඒ යන දිහාට හොර බැල්මක් හෙළාගෙන.
‘මට ඕන නෑ රමේෂ්, මං මාව ගෙදරට ඇරලන්න කියල කිව්වෙ බොරුවට. හොඳේ. මං දැං එන්නේ ඔයාගේ එපාට්මන්ට් එකට... මොනව ද කියන්නෙ? මහ ලොකු උපදේශකයා.
මානව හිමිකම් ඩ්‍රාමා එකේ පුරෝහිත පාට් එකයි රඟපාන්නේ නං සාම කැඳවුම්කරු. හිමිකම් ගැන කතා කරන්නෙ ලෝඞ් වගේ. හැබැයි ගෙදර ගෑනිට එකම අයිතිවාසිකමක් වත් නෑ. කොයි ආණ්ඩුව ආවත්, කවුරු බලයට පත්වුණත් මේගොල්ලම තමයි උපදේශකයෝ. මේක කොමඩියක් ද ට්‍රැජඩියක් ද මන්දා.’
මිනිස්සුන්ගේ වර්ගීකරණයේ හැටියට කියනව නං මං ඇවිල්ල තාරකා ඉබ්බෙක්. මගේ පිටකටුව හැදිල තියෙන්නේ ලීයෙන් කරපු අපූරු කැටයම් වගේ ලස්සන උස වැටිවලින්. ගොඩබිම වාසය කරන අපි සාමාන්‍යයෙන් නං ශාක භක්ෂකයෝ.
ඒ වුණාට පණුවෙක්, ගො`ඵබෙල්ලෙක් දැක්කොත් අහක බලං යන පුරුද්දකුත් නෑ අපට. කරදියේ ඉන්න අපේම ඥාති කැස්බෑවුන්ට නං ඔන්න මාංස භක්ෂකයෝ කියල එක වංගියටම කිව්වහැකි. එහෙම කියන කොට මට මතක් වෙන්නෙම මොරටුවේ මූදුකරේ ඉන්න මස් කැස්බෑවන්ව. ලෝක ප්‍රසිද්ධ කැස්බෑ සුප් මිනිස්සු හැදුවේ උංගේ මස්වලින්ම තමයි.
මිනිහා කියන මේ අරුම පුදුම සතාගේ පර්යේෂණ සූත්තර ගැන මං ආයිමත් හිතන්න වුණා. අවුරුදු දශලක්ෂ ගණනක් ගෙවුණත් විකාශය අතින් ඉබ්බෝ වැඩිපුර වෙනස්වෙලා නැති ලු. ඒක හොඳටම තේරුම් යන්නේ පොසිලවලින් ලු. සත්තු එහෙම දනිපනියේ වෙනස් වෙන්නේ නෑ තමයි. ඉතාම ඉක්මනින් ඇසිල්ලෙන් වෙනස් වෙන්න දන්න එකම සතා මිනිහාමයි. පාට මාරු කිරීමේ තරගයක් තිබුණොත් කටුස්සන්ට වුණත් ලැබෙන්නේ දෙවෙනි තැන.
බුරුල් පස් තිබුණ තැනක වළක් හාරලා අම්මා දාල තිබුණ බිත්තරෙන් එළියට ඔළුව දාල මුලින්ම අහස බලපු වෙලේ අහස් නිලට ගැළපෙන තදනිලට හුරු කොළපාටකින් බැබළි බැබළී උන්න වෘක්ෂරාජයො අද වගේ මට මතකයි.
ඉස්ඉස්සර වෙලාම ලෝකේ දැක්ක ඒ වෙලාවෙදි මූද ගොඩගලනව වගේ මහ හඬක් ඇහෙන්න අරං කන්අගු`ඵ වැටුණ වගේ වුණත් මං ඇස්පියාගත්තේ නෑ. ඇත්තම කියනව නං උපන් ගමන්ම මං අවතීර්ණ වෙලා උන්නෙ සංග්‍රාම භූමියකට. රුක්දෙවියො උන්නෙ දෙපැත්තට වැනි වැනී.
ඒ මහගස් අත්හිස් අහසට ඔසවගෙන උන්නෙ උඩ ඉන්න දෙවියන්ට යාච්ඤා කරනව වගේ. යුද පිටියක වෙඩි පහරකින් පපුව පසාරුවුණ මහසෙන්පතියෝ වගේ තමයි ඒව බිමට කඩා වැටුණෙ. මාත් එක්කම බිත්තර බිඳගෙන ආපු ඉබි පැටවු රොත්තම අභාවප්‍රාප්ත වුණේ කඩාවැටුණ ගස්වල සද්දන්ත කඳන්වලට යටවෙලා. මුළුලෝකෙටම මං විතරයි කියන හැඟීම මගේ ඇස්වලට කඳුළු ගෙනාවේ සහෝදර සහෝදරියන්ගේ අභාවෙ නිසාම නෙවෙයි. ඉත්තෑවො, මීමින්නො වගේම අහසේ පියාඹන මොනර රාජයෝ පවා මළකඳන් බවට පත්වෙලා කුණුලොරිවලට පැටවෙන හැටි දැක්කට පස්සේ තමයි මට එහෙම හිතුණෙ.
මොනව කරන්න ද ඉතිං? ලෝකෙ දියුණු වෙන්න ඕන ලු. දියුණු ලෝකයක් නිර්මාණය කරනවයි කියන එක මිනිස්සුන්ට අයිති වැඩක් ලු. ඒක තියෙන්නේ ඉබ්බන්ගේ ආවරණ කලාපෙන් එහා ලු.
අධිවේග පාරක ඉබ්බෙක් තනිවෙනවයි කියන්නේ මොනවගේ අත්දැකීමක් ද කියන එක හිතාගන්න කිසිකෙනෙකුට බෑ. අවුරුදු හාරසීයක් විතර ජීවිතකාලයක් ගෙවාදාන්න මේ ලෝකෙට උත්පාදනය වුණු ඉබ්බෝ කී දාහක් නං මේ අධිවේගෙට බිලිවෙලා ඇද්ද?
එකපාරටම වැස්සක් පටන් අරං වැස්ස නැවතුණේ මොහොතකින්. එකපාරටම පායන මේ අව්-වැහි විගඩම ගැන හිතාගෙන හිතාගෙන යනකොට එකපාරටම මැද්දට පැන්නෙ කොරෝනාව ගැන මතකයක්. පැලෙන්න තරං හයියෙන් සද්දෙට දාපු රේඩියෝ කතාවකින් තමයි මං ඒ කොරෝනා කතන්දරේ දැනගත්තේ.
දෙයියම්පා මේ ලෝකෙට අහවල් දෙයක් සිද්ධ වුණා ද කියල මං හිතන්න ගත්තේ කොරෝනාවෙන් සොබාදහමට විතැන් වුණ රේඩියෝ කතාකාරයා කිව්ව භය හිතෙන කතාවක් අහල. භෞතික විද්‍යාව විකාර විදිහට විස්තර කරන මේ අරුම පුදුම ලෝකේ, මිනිහා කියන සතාගේ භූමිකාව මොකක් ද කියන එක පැහැදිලි කරන්නයි එයා උත්සාහ කළේ.
ඒ කියපු බරවචන හැම එකක් ම දිරවගන්න නං ඉබ්බෙකුට අමාරුයි. ඒත් ස්වභාව ධර්මයේ සම්මුතිවලින් ගැලවිලා ගිය මොකවත්ම මිනිහගේ ඇතුළෙ නැති විත්තියකුයි එයා කියාගන්න හැදුවෙ. එතකොට මොනව ද ඒ සොබාදහමේ සම්මුති...?
කතාකාරයා දිගින් දිගටම කියා ගෙන ගියේ හිතේ කේන්තියෙන් ද කනගාටුවෙන් ද කියන්නත් අමාරුයි. හෝමෝසේපියන් කියන්නේ කැස්බෑවෙක්ට වගේ දිග කාලයක් පවතින්න පුළුවන් සත්ත්ව විශේෂයකට නෙවෙයි ලු. මිනිස් ගණයට අයිති අනිත් සත්ත්ව කොටස් දැනටමත් වඳවෙලා ගිහින් ලු. මිනිස් ඉතිහාසය ගැන, ශිෂ්ටාචාරය ගැන දැනුවත්ව බලා ඉන්න උසස් මනසක් ඇති මනුසතා විනාශකාරියෙක් වීම ගැන තමයි එයා දිගින් දිගටම කිව්වේ. ලෝකේ වැනසුවේ මිනිහ ලු.
සත්තු හෙම නෙවෙයි ලු. විනාශය ඉල්ලා ගත්තෙත් මිනිහලු. කාලගුණ ව්‍යසන, පාරිසරික උඩු-යටිකුරු වීම් අනාගතයේදී මිනිහාට ආරක්ෂිත ලෝකයක් නිර්මාණය කරල දේවියි කියල හිතන්න අමාරු ලු.
මං කකුල් හතරයි ඔළුවයි කටුව ඇතුළට ඔබාගෙන මවාගන්න උත්සාහ කළේ මං උපදින දවස්වල තිබුණු නිල්පාට ලෝකෙ.
ඊටත් කලින් තියෙන්න ඇතියි කියල හිතෙන ඒත් කවදාවත් දැකල නැති තද නිල්පාට දියරැළි, කෙත්බිම් උපකල්පනය කර කර මං හිටියේ කටුව ඇතුළටම වෙලා. ඔන්න දැන්නං මගේ ඉබිමොළේ ගමනක් යන්නේ අධිවේගෙකිං.
මිනිහා නියමාකාරයෙන් සොබාදහම ජයගන්න හිතුවෙ, ඒකට පිඹුරුපත් සකස් කරන්න වුණේ අවුරුදු දෙසීයකට-දෙසියපනහකට කලින් ඉඳලයි කියන කතන්දරේ පූර්වාපර සන්ධි ගළපගන්නයි මට දැං වුවමනා.
අප්‍රිකාවේ සැවානා තණබිම්වල ඉඳං නූතන තාක්ෂණ ලෝකය දක්වා අවුරුදු ලක්ෂ තුනක් විතර ආපු දීර්ඝ ගමන මිනිහා එන්න ඇත්තේ අධිවේගෙකින් ද? මන්දගාමීව ද? මොන අධිවේගයක් ද? සමහර විට ඒ ඉබිගමනින්ම වෙන්න ඇති. හෙමින් ගමන ඇඟට ගුණ විත්තිය හරියටම තේරුම් අරං ඉන්නේ ඉබ්බෝ.
අවුරුදු ලක්ෂ ගණනක් තිස්සේ මිනිහාට නොනැසී පවතින්න පුළුවන් වුණේ හිමින් ගමන නිසා වෙන්න බැරි ද කියන අලුත් සංකල්පනාව තමයි දැං මගේ හිතේ නලියන්නේ. මිනිහා අද වෙනකොට විනාශය නැත්තං ස්වයං ඝාතනය ඉල්ලගෙන තියෙන්නේ අධිවේගී ධාවන පථයක තරගකාරයෙක් වුණ නිසා ද? මේ ධාවන පථයේ දිනුම්කණුවක් තියෙනව ද?
‘අධිවේගය මරු කැඳවයි’ කියල කිව්වට, ලිව්වට අධිවේග පාරකදි කිසිකෙනෙකුට හැරෙන්න වත් නවතින්න වත් බෑ. ප්‍රශ්නේ ඕකයි. රොකට්වලින් ඉහළට යන්න මිසක් පොළොව දිහා බලන්න, පොළොවේ පයගහල ජීවත්වෙන්න දැනං උන්න සතෙකුට යැයි ‘මිනිහා’ කියන්නේ.
මං අධිවේග පාර දිහාට හිමින්-හිමින් ගාටන්න වුණේ ඉබේට මතු වුණ පුංචි හිනාවකුත් එක්ක. දෙවියන් වහන්සේ ඉබ්බට දිග ආයු කාලයක් ප්රදානය කළේ මේ ඉබිගමන නිසාම වෙන්නැති කියන එකයි මගේ අවසාන නිගමනය වුණේ.