ගේය පද රචකයෝ - 1 | සිළුමිණ

ගේය පද රචකයෝ - 1

පෙරදිග ශාස්ත්‍රීය ග්‍රන්ථවල වුව දැක්වෙන පරිදි ප්‍රේමය විෂයයෙහි සම්භෝගයට හෝ විසම්භෝගයට ලිංග භේදයක් නැත. ප්‍රේමය පිළිබඳ සිතුවිලි පරම්පරාව කලින් කලට, විවිධත්වයකින් යුක්ත ව, එක ම ආකාරයකින් නිරූපණය වනු පෙනේ. ප්‍රේමය පිළිබඳ සිත සුන්දර ය. මියුරු ය. අලංකාර ය. එසේ ද වුවත් වියෝගය පිළිබඳ සිත අසුන්දර ය. අඳුරු ය. වෙහෙසකාරී ය. ලෝකයේ එදා මෙදාතුර කාලයේ නිර්මාණ බිහිවීමට තුඩු දී තිබෙන්නේ ද ප්‍රේමයයි. ප්‍රේමය අර්ථ ගැන්වීම දුෂ්කර ය. අනිර්වචනීය ය.

එසේ වුවත් බණ්ඩාර කේ. විජේතුංග යනු පුරුෂ ප්‍රේමයේ වියෝගාවේග කදිමට ප්‍රකට කළ සාහිත්‍යවේදියෙකි.

ඔහු ගේ ගුඪ ප්‍රේම චෛතසිකය විසින් අවුළුවන ලද විවිධ ප්‍රේමාන්විත සිතුවිලි සිංහල ගීතයේ එක් පැතිකඩක් බඳු ය.

රචනා කර ඇති ගීතාවලිය අල්ප වුව, ඔහු විසින් පළ කර තිබෙන ප්‍රේම චින්තාවලිය අසාමාන්‍ය ය. ස්වකීය ජීවිත අත්දැකීමක් යථා ස්වභාවයෙන් ම පුනරුච්චාරණය කරමින්, ඒ මත ම ගැටෙමින්, ඒ තුළ ම ජීවිතය දියකර හරිමින්, බණ්ඩාර කේ. විජේතුංග විසින් රචනා කරන ලද ගීතාවලිය මෙරට රසිකයන් ගේ සදාතනික මතක සටහන් වේ.

ඔහු ගේ ජීවන පුරාවෘත්තයට අදාළ ව විවිධ කතා තිබේ. ඒ තුළ තිබෙන්නේ නිහඬ ප්‍රේමාතුරයකු ගේ ළසෝ ගින්නකි. ස්ත්‍රිය, ස්ත්‍රිය ගේ ප්‍රේමය, පුරුෂයෙකු ගෙන් ඇසින් දැකිය හැකි යථාවාදී ප්‍රවේශයක් බණ්ඩාර කේ. විජේතුංග ගේ ගීතවලින් උත්පාද කරගත හැකි ය.

ඔහු ගේ ප්‍රේම වියෝග ගී අතර නොමැකෙන නිර්මාණයක් බඳු මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණන් විසින් ගායනා කෙරුණු ‘දිනෙන් දින ඔබ මා වෙතින්’ ගීතය සදානුස්මරණීය ගී පදවැලකි. ගීතයට සපයා තිබෙන තනුව සහ සංගීතය විසින් ශෝකීය භාවයක් ශ්‍රාවකයා ගේ මනස තුළ ජනිත කරනු ලබයි.

දිනෙන් දින ඔබ මා වෙතින්

දුරස් වන විට මගේ මනැසට

තවත් ළංවනු පමණකි ය ඔබ

රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ

බිහිරි වී ඇත මගේ දෙසවන

රැයෙහි තරුමල් කිනිති නො පෙනේ

අන්ධ වී ඇත මගේ දෙනයන

මළානික හද විලේ ඉවුරේ

ඔබේ පියවර ලකුණු අහුරකි

මිලින කුසුමෙක කඳුළු මල් පිනි

ඔබෙන් නො හැළෙන කඳුළු බිඳු වැනි

ඔබේ හසරැල් සිහින අතරේ

යළිත් මා මන පුබුදුවන්නට

සතුටු සයුරෙන් නැඟෙන සිරිකත

විලස මා වෙත නැවත එනු මැන

භාෂාවෙහි රමණීයත්වය පිළිබඳ ව බණ්ඩාර කේ. විජේතුංගට තිබී ඇති අවබෝධය විශිෂ්ට ය. භාෂා පරිසරයට සීහෙන වාග් පටුත්වයක් ඔහුට තිබේ. එය දෙවැනි අන්තරා කොටසේ පහත සඳහන් යෙදුමෙන් නිදර්ශිත ය.

‘මළානික හද විලේ ඉවුරේ

ඔබේ පියවර ලකුණු අහුරකි’

පියවර අහුරක් යන්න අසාමාන්‍ය යෙදුමකි. එහෙත් විල් ඉවුර හා සසඳන කල්හි පියවර අහුර යන්නෙහි ඖචිත්‍යපූර්වක ගුණය වඩාත් පැහැදිලි වන්නේ ය. විලකින් මල් අහුරක් නෙළාගත හැකි ය. ඒ නයින් බලන කල ‘පියවර අහුර’ යනුවෙන් පද සංඝටනය කිරීම, කවියේ අර්ථෝද්දීපනය උදෙසා බලපාන තාර්කික භාෂා ප්‍රයෝගයකි. රචකයා ගේ පරිණතභාවය එබඳු ය.

බණ්ඩාර කේ. විජේතුංග ගේ ගීතාවලියේ සෙසු මිණිකැට බඳු රචනා අතර ඔබේම ඉන්දූ, මිහිසළු සලුතිර, මගේ සෙනෙහෙස, කවදා කොතැනක දෝ, සඟවා ගනු මැන, මහද පෙම්විලේ, කිසිවක් නො කියන වැනි ග පද රචනා මෙරට ගීත රසිකයන් අතර තවමත් ජනප්‍රිය ය.

ඔහු ගේ ගී පද රචනාවලට පාදක වී තිබෙන අත්දැකීම් පුද්ගලානුබද්ධ ය. එහෙත් එකී සියලු ගීත පොදු අත්දැකීම් ලෙස සමාජගත කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ මූලික වශයෙන් රචකයා විසින් නිර්මාණය කරනු ලැබ තිබෙන වාග් පරිසරය නිසා ය.

බණ්ඩාර කේ. විජේතුංග ගේ ගීතාත්මක භාෂාව අපූර්ව ය. එය ඔහුට ම අනන්‍ය ය. සාහිත්‍යවේදියෙකු සතු ප්‍රබලතාව වන්නේ භාෂා ස්වාමිත්වය ය. ඒ අනුව බලන කල ඔහු ගේ භාෂා භාවිතය අර්ථපූර්ණ ය. තනුව විෂයෙහි බලපවත්නා තාලරූප සහ රිද්ම අභ්‍යන්තරික ව උත්පාද වී තිබේ.

බණ්ඩාර කේ. විජේතුංග ස්වකීය දක්ෂතා විවිධ ක්ෂේත්‍ර අරභයා පළ කර තිබේ. විශේෂයෙන් කවියෙකු, නිවේදකයෙකු, ගී පද රචකයෙකු, වෙළෙඳ දැන්වීම් පිටපත් රචකයෙකු වශයෙන් ඔහු විසින් ප්‍රකට කරනු ලැබ තිබෙන නිසර්ග කුසලතාවෙන් ඒ ඒ ක්ෂේත්‍රවලට ලැබී තිබෙන ආලෝකය අති මහත් ය. වෘත්තීය පුහුණුවට වඩා ස්වභාවික දක්ෂතාව ඔස්සේ ඔහු සිය නිර්මාණ දිවිය පවත්වා ගෙන ගොස් තිබෙනු දැකිය හැකි ය. සිනමා කෘති ප්‍රචාරයෙහි ලා බණ්ඩාර කේ. විජේතුංග දැක් වූ දායකත්වයත්, ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ ‘ස’ ප්‍රසංගයේ කථනයෙන් ඔහු ප්‍රදර්ශනය කළ පරිණතභාවයත් එකිනෙකට අසමසම ය.

ඔහු ගේ අකල් වියෝව විසින් සිංහල ගීත සාහිත්‍යයෙහිලා ඇති කරන ලද්දේ කිසි ලෙසකින්වත් පිරවිය නො හැකි හිඩැසකි.

 

Comments