ශ්‍රී ලංකාවේ හෙළ බොදු සංස්කෘතියේ හදවත වූ අනුරාධපුරය, පොලොන්නරුව සහ මහනුවර ඇතුළත් සංස්කෘතික ත්‍රිකෝණය පුනර්ජීවනය කළ විශ්වකීර්තිධර මහා ප්‍රාඥයා ආචාර්ය රෝලන්ඩ් සිල්වා 2020 ජනවාරි 01 දින අභාවප්‍රාප්ත විය. මේ ලිපිය එ් නිමිත්තෙනි.
ශ්‍රී ලංකාවේ පෞරාණික ස්මාරක ක්ෂේත්‍ර ජගත් උරුම ලෙස ප්‍රකාශ වීම සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහනේ මැදිහත්වීම උරුම සංරක්ෂණය සම්බන්ධයෙන් මෑතකාලීන ඉතිහාසය තුළ වැදගත්ම සංසිද්ධීන් ලෙස පිළිගැනේ. එසේ නොවන්නට ශ්‍රී ලංකාවේ අනුරාධපුරය පූජනීය නගරය, පොලොන්නරුව පැරැණි නගරය සහ මහනුවර පූජනීය නගරය ආදී දැවැන්ත ක්ෂේත්‍ර සහ ස්මාරක සංරක්ෂණයට සහ සංවර්ධනයට හැකියාවක් නොලැබෙනු ඇත. එසේ ම නෛතික, ප්‍රතිපත්තිමය හා ආයතනමය යන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ ගෞරවය හිමි වන්නේ ආචාර්ය රෝලන්ඩ් සිල්වාට ය. එදා මෙදා තුර උරුම සංරක්ෂණ ක්ෂේත්‍රයේ බිහි වූ දැවැන්තයා මෙන් ම දුර දක්නා නුවණක් සහිත පුරෝගාමියා ආචාර්ය රෝලන්ඩ් සිල්වා ය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණය සංකල්පය සහ සන්දර්භය
සංවර්ධනය වෙමින් පවතින රටවල සංස්කෘතික උරුම ආරක්ෂා කිරීම උදෙසා යුනෙස්කෝ (UNESCO) සංවිධානය මඟින් ආරම්භ කරන ලද පෘථූල වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ පෞරාණික ස්මාරක ක්ෂේත්‍ර ආරක්ෂා කිරීම, ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීම හා කළමනාකරණය වෙනුවෙන් සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය පිහිටුවන ලද අතර ඒ සඳහා මුදල් ප්‍රතිපාදන සැපයෙන්නේ සංස්කෘතික ස්මාරක සංවර්ධනය ද, ප්‍රතිසංස්කරණය කිරීමද ආරක්ෂා කිරීමද මෙරට සහ විදේශයන්හි ආගමික සහ සංස්කෘතික කටයුතු සංවර්ධනය කිරීමද සඳහා 1980 අංක 57 දරන පාර්ලිමේන්තු පනත මඟින් සම්මත වූ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟිනි.
ඓතිහාසික කාල අවකාශ සන්දර්භය සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජධානි පැවති නාගරික මධ්‍යස්ථාන තුනක් සම්බන්ධ කරමින් සීමා පිහිටුවා ඇති සංස්කෘතික ත්‍රිකෝණයේ කෝණ තුනට උතුරින් අනුරාධපුරය පූජනීය නගරය ද, නැගෙනහිරින් පොළොන්නරුව පැරැණි නගරය ද, දකුණින් මහනුවර පූජනීය නගරයද ඇතුළත් වෙයි. උක්ත කෝණ තුනට අයත් ක්ෂේත්‍ර තුනට අමතරව සීගිරිය පැරැණි නගරයක්, දඹුල්ල ලෙන් විහාරයත් ත්‍රිකෝණ සංකල්පයට ඇතුළත් වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත සංස්කෘතික ජගත් උරුම හයෙන් පහක් ම ස්ථානගත වන්නේ උක්ත ත්‍රිකෝණ සංස්කෘතික කලාපය තුළය.
වසර දෙදහස් තුන්සීයකට වඩා ලිඛිත ඉතිහාසයක් සහිත දිවයිනේ උරුම සංකේතවත් කරන ස්පර්ශනීය සහ අස්පර්ශනීය සාධක ව්‍යාප්තව ඇත්තේ මේ ත්‍රිකෝණය මඟින් සලකුණු කරන විශාල භෞමික ක්ෂේත්‍රය තුළ ය.
සංස්කෘතික ත්‍රිකෝණ සංකල්පය කාලීන වශයෙන් ජගත් තලයේ හා ජාතික තලයේ සාර්ථක නිර්මාණාත්මක පෘථුල ප්‍රවේශයකි. එසේම උපායමාර්ගිකව ප්‍රවේශයක් ද වේ. එයට එක් හේතුවක් නම් මීට ඉහතදී අරඹන ලද සෑම යුනෙස්කෝ ව්‍යාපෘතියක් ම එක් නිර්මාණයක් නැතිනම් එක් භූමි භාගයක් සම්බන්ධයෙන් පමණක් ක්‍රියාවේ යොදවනු ලැබීමය.
ක්ෂේත්‍ර තෝරාගැනීමේ ක්‍රියාවලිය සහ ඒ සියල්ල කාල අවකාශීය සන්දර්භය තුළ ත්‍රිකෝණ සංකල්පගත කිරීම හරහා සංචාරකයාගේ මානසික සිතියමට (mental Map) ඇතුළු කිරීමට කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ වැදගත්ම ඓතිහාසික නගර කීපයක් ‘සංචාරකකරණයට’ (Touristification) ලක් කිරීමට ගත් තීරණාත්මක ප්‍රථම පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය.
එසේ වුවද ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණ සංකල්පය ක්ෂේත්‍ර කීපයක් සම්බන්ධ පළාත් දෙකක විසුරුණු විශාල ප්‍රදේශයකි. ඒ නිසා මෙම ත්‍රිකෝණ සංකල්පය යුනෙස්කෝවේ විෂය පථය පුළුල් කිරීමට ද මග පෑදූ ක්‍රියාදාමයක් වෙයි. සංකල්පයේ උපායමාර්ගික බව සහ අපූර්ව නිර්මාණාත්මක බව නිසා ශ්‍රී ලංකාවට ජගත් උරුම කිහිපයක් ප්‍රකාශයට පත්කර ගැනීමට හැකි විය.
අනුරාධපුර, පොලොන්නරුව, සීගිරිය, දඹුල්ල සහ මහනුවර යන සෑම ක්ෂේත්‍රයක් ම අන්තර්ජාතික වශයෙන් අද්විතීය අගයක් දරන්නා වූ ස්ථානයන් වන බැවින් ඒ අතරින් කිසිවක් ප්‍රතික්ෂේප කිරීමට යුනෙස්කෝ ජගත් උරුම කමිටුවට නොහැකි වූයේ ත්‍රිකෝණය සංකල්පගත කර තිබූ ක්‍රමවේදය නිසා ය. සංස්කෘතික ත්‍රිකෝණයේ ප්‍රභවය කාලීන වශයෙන් සිදුවන්නේ ජගත් තලයේ මෙන්ම දේශීය තලයේ සංස්කෘතික උරුමය සම්බන්ධ ප්‍රවණතා පසුබිම් කරගෙන ය. ජගත් තලයේ ප්‍රවණතා සැලකිල්ලට ගැනීමේ දී විශේෂයෙන්;
• දෙවන ලෝක යුද්ධයෙන් පසුව සංස්කෘතික උරුම විනාශයේ අත්දැකීම්වලින් ජගත් පරිමාණයෙන් උරුමය ආරක්ෂා කරනු වස් නෛතික ප්‍රතිපාදන, සම්මුති හා ආයතනමය ප්‍රවේශයන් ශක්තිමත් වීම සහ අන්තර්ජාතික වෘත්තීමය සබඳතා පුළුල් වීම.
• 1960, 70 දශක තුළ විවිධ සංවර්ධනාත්මක ප්‍රවණතා සංස්කෘතික උත්සව සහ ඒ ඒ රටවල පිහිටි සංස්කෘතික උරුම සමස්ත මානව ප්‍රජාවගේම උරුමයන් සේ සලකා ආරක්ෂා කිරීමට පෙලඹීමේ ගෝලීයකරණ ක්‍රියාදාමය නව මුහුණුවරක අභියෝග එල්ල කරන්නට වූ අතර ඉන් සංස්කෘතික උරුම සම්පත් ගලවා ගැනීම සහ කළමනාකරණය උදෙසා සංස්කෘතික සම්පත් බේරාගැනීමේ පුරාවිද්‍යාව (Salvage Archaeology) සංස්කෘතික සම්පත් කළමනාකරණය (Cultural Resource Management) ආදී ශික්ෂණයන්ගේ ප්‍රභවය සිදුවීම.
• පසුගිය දශක කීපය තුළ සංස්කෘතික සංචාරක ව්‍යාපාරයේ ඇතිවූ විශේෂ ලක්ෂණ ලෙස විදේශ විනිමය ඉපයීමේ මෙන්ම උරුම සංරක්ෂණයට මුදල් ඉපයීමේ (Conservation Financing) මාර්ගයක් ලෙස හඳුනාගැනීම සහ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය හා බැඳුණු උරුමය ගෝලීයකරණය වීමේ ක්‍රියාදාමය මෙන්ම සංචාරක ව්‍යාපාරය හරහා ක්‍රියාත්මක වූ නව යටත් විජිතවාදී (Neo Colonialism) සහ නව අධිරාජ්‍යවාදී (New Imperialism) ප්‍රවණතා පෙන්වා දිය හැකිය.
ජගත් ප්‍රජාවගෙන් සමන්විත වූ අන්තර්ජාතික සංවිධානයක් වන යුනෙස්කෝ (UNESCO) සංවිධානය ජගත් උරුම ආරක්ෂා කිරීමේ ප්‍රවේගය ලබා ගත්තේ ඊජිප්තුවේ අබු සිම්බල් (Abusimbol) දේවස්ථානය මුහුණදුන් ඉරණමෙන් ගලවා ගැනීමට මැදිහත් වීමත් සමඟය. මෙම ප්‍රයත්නය හරහා එම සංවිධානය ලොවට පසක් කළ යථාර්ථයක් නම් ජාත්‍යන්තර ප්‍රජාවට ලොව කවර ප්‍රදේශයක වුව උරුමයන් ආරක්ෂා කිරීමට සහයෝගීතාවෙන් මැදිහත්විය හැකි බවත් ඒ හරහා නූතන අවශ්‍යතා ඉටුකරගත හැකි බවත්ය. මේ සඳහාමූලික නෛතික ප්‍රවේශය 1972 ජගත් උරුම ප්‍රඥප්තියෙන් සකසා ගන්නා ලදී. උක්ත නෛතික පසුබිම මත යුනෙස්කෝවට අනුබද්ධ ස්මාරක සහ ක්ෂේත්‍ර පිළිබඳ අන්තර්ජාතික කෞතුකාගාර කවුන්සිලය වැනි වෘත්තීය ආයතන හරහා ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ජගත් සන්දර්භයේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම සම්බන්ධව සහයෝගීතාවෙන් අන්‍යෝන්‍ය දැනුම් හුවමාරු කර ගනිමින් කටයුතු කරන ලදී.
උක්ත ජාත්‍යන්තර පසුබිම තුළ සංස්කෘතික ත්‍රිකෝණ සංකල්පය යථාර්ථයක් වීමෙහිලා බලපෑ දේශීය සන්දර්භය ද වැදගත් වේ. එහි දී
• පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රබල ප්‍රජා අවශ්‍යතාවක් වීම.
• දේශපාලන යාන්ත්‍රණය
• රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරීත්වය
• විශේෂඥ වෘත්තිකයන්ගේ මැදිහත්වීම සහ කැපවීම ආදී දේශීය බලවේග එක් අරමුණක් තුළ ක්‍රියාත්මක වීම සංස්කෘතික ත්‍රිකෝණයේ ප්‍රභවයට ආශිර්වාදයක් විය.
සංස්කෘතික ත්‍රිකෝණය හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආකෘතියේ ප්‍රභවය හා එහි ගාමක බලවේග සංස්කෘතික ත්‍රිකෝණ සංකල්පය ජාත්‍යන්තර සහ දේශීය සංවර්ධන වැඩසටහනක් ලෙස උපත ලබන්නේ තත්කාලීනව ගන්නා ලද දේශපාලනමය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හරහාය.
සංස්කෘතික උරුමය සඳහා ශ්‍රී ලාංකේය ආකල්පයන් ඓතිහාසිකව ඉතා සමීපව රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ අවියෝජනීය ලෙස බද්ධ වී පැවති බව විවිධ සමාජ, ආර්ථික සංවර්ධනාත්මක අවධි තුළින් පිළිබිඹු වේ. 1960 දශකයේ අග භාගය වන විට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ගන්නා ලද ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සලකා බැලීමේදී ශ්‍රී ලාංකේය ආර්ථිකයේ සුවිශේෂ අංගයක් ලෙස සංස්කෘතික උරුමය හඳුනාගෙන ඇත.
1966 දක්වා ශ්‍රී ලංකාවේ විධිමත් සැලසුම්ගත සංචාරක ව්‍යාපාරයක් නොවූ අතර 1966 අංක 10 දරන පාර්ලිමේන්තු පනත සහ 1966 අංක 14 දරන හෝටල් සංස්ථා පනත මඟින් නෛතික සහ ආයතනමය මැදිහත්වීම සඳහා අවශ්‍ය මූලික පදනම සකස් විය. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක මණඩය (Ceylon Tourist Board) (CTB) 1966 ප්‍රතිපත්ති සම්පාදක ආයතනයක් ලෙස ස්ථාපිත විය. 1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනත බලත ප්‍රකාරව සංචාරක අමාත්‍යාංශයේ අධීක්ෂණය තුළ උක්ත ආයතන ද්වය ක්‍රියාත්මක විය.
උක්ත පසුබිම තුළ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ව්‍යවස්ථාපති නෛතික බලතල සහිත ආයතනයක් ලෙස මුල්‍යමය ස්වාධිපත්‍යයක් සහිතව දීප ව්‍යාප්තව තීරණ ගනිමින් ක්‍රියාත්මක ආයතනයක් පමණක් නොව ජාත්‍යන්තර සංචාරක සංවිධානයේ (WTO) ශ්‍රී ලාංකේය නියෝජනය බවටද පත්විය. 1967 දී ශ්‍රී ලංකාවේ සංචාරක වර්ෂය ආරම්භ කරන ලදී.
මේ වකවානුව තුළ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සියේ (United States Agency for international Development) (USAID) ආධාර සහිතව දස අවුරුදු සංචාරක සංවර්ධන සැලැස්මක් සඳහා පදනම සකස් කළ අතර උක්ත සැලැස්මට අනුව 1967 - 1976 කාල පරාසය තුළ වාර්ෂිකව 32% ක වර්ධන වේගයක් අපේක්ෂා කළ අතර, සංඛ්‍යාත්මකව 1967 දී 24,000ක් වූ විදේශීය සංචාරක පැමිණීම 1976 වන විට 307,000 දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කළේය.
උපරිම වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක විභවතාව ග්‍රහණය කරමින් ආර්ථික සංවර්ධනය, ප්‍රාදේශීය ප්‍රජා සංවර්ධනය, එමෙන්ම සංස්කෘතික සහ ඓතිහාසික අගයන් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණු සහිතව තිරසාර සංවර්ධන දෘෂ්ටිකෝණයකින් දියත් කළ උක්ත සැලැස්ම (Harris, Kerr, Foster and Company 1967: 1) මඟින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයන් වන ස්වාභාවික, සෞන්දර්යාත්මක සහ පුරාවිද්‍යාත්මක සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සුවිශේෂ අවශ්‍යතාවක් ලෙස සලකා ඇත. ඒ සැලැස්ම තුළ සංවර්ධනය සහ සංරක්ෂණය අරමුණු කොට සම්පත් ආකර්ෂණය පදනම් කරගනිමින් ශ්‍රීලංකාව, කොළඹ, දක්ෂිණ වෙරළබඩ, නැගෙනහිර වෙරළබඩ පැරැණි නගර සහ කඳුකර ප්‍රදේශ යනුවෙන් සංචාරක කලාප පහකට බෙදා ඇත.
උක්ත සැලසුම් ප්‍රකාරව පැරැණි නගර කලාපය තුළ ස්මාරක සහ ක්ෂේත්‍ර සංරක්ෂණය කර සංචාරකයන් සඳහා ඉදිරිපත් කිරීමේ අරමුණින් සංස්කෘතික ත්‍රිකෝණය ඇරඹිණ. සංස්කෘතික ත්‍රිකෝණයේ ප්‍රභවය දක්වා වූ දශකයකට අධික කාලයක් තුළ වූ ක්‍රියාවලිය තුළ දේශපාලනමය වෘත්තීමය සහ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම්ද වැදගත් වේ.
සංස්කෘතික ත්‍රිකෝණයේ ප්‍රභවය
1969 වසරේ ආසියානු පුරාවිද්‍යාව පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුව කොළඹදී පැවති අතර එහිදී ආචාර්ය රෝලන්ඩ් සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ පෞරාණික අනුරාධපුර නගරයේ බිම් සැලැස්ම පිළිබඳ යෝජනාවලියක් ඉදිරිපත් වූ අතර එහිදී මතු වූ අදහසක් නම් මෙබඳු ව්‍යාපෘතියක් සුදුසු සැලසුම්කරණ වැඩසටහනක් සමඟ ඉදිරිපත් කළහොත් යුනෙස්කෝ ආධාර පහසුවෙන් ලබාගත හැකිය යන්නය.
ඒ අනුව ආචාර්ය රෝලන්ඩ් සිල්වාගේ ප්‍රධානත්වයෙන් ක්ෂේත්‍රයේ පළපුරුදු වෘත්තිකයන් පිරිසක් විසින් එවකට පුරාවිද්‍යා කොමසාරිස් ආර්.එච්. ද සිල්වා සහ අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ සභාපති කේ. ඩී.එම්. සී. බණ්ඩාර මහතුන්ගේ ඉල්ලීම මත 1969 වසරේ අදාළ වාර්තාව සැකසීම ඇරඹිණ.
මින් පැහැදිලි වන්නේ ත්‍රිකෝණයේ ප්‍රභවයට දශකයකට අධික කාලයකට පෙරදී යුනෙස්කෝ සංවිධානයේ මැදිහත්වීමෙන් සිදු කළ හැකි දැවැන්ත උරුම සංරක්ෂණ වැඩසටහනක් සඳහා පවතින විභවතාව පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කර ඇති බවකි. මේ වන විට ජගත් උරුම ප්‍රඥප්තියවත් එළි දැක නොතිබුණි.
ඉහත සඳහන් කළ වාර්තාව ඉතා කෙටි කලක් තුළ සකසා ඉදිරිපත් කළ පසු එවකට අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු විෂයභාර අමාත්‍ය අයි. එම්.ආර්. ඒ. ඊරියගොල්ල විසින් යුනෙස්කෝ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස රිටිගල පුරාවිද්‍යා ක්ෂේත්‍රය යොදාගැනීමේ හැකියාව සොයාබැලීම සඳහා කමිටුවක් පත් කළ අතර එහි සභාපති ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රෝලන්ඩ් සිල්වා කටයුතු කළේය. උක්ත කමිටුව මඟින් ‘ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය’ මැයෙන් කැබිනට් පත්‍රිකාවක් පිළියෙළ කළ අතර අදාළ ක්ෂේත්‍ර ලෙස අනුරාධපුරය, රිටිගල, පොළොන්නරුව හා සීගිරිය ඇතුළත් කරන ලදී. කෙසේ හෝ මෙම කැබිනට් පත්‍රිකාව එවකට ඉදිරිපත් නොවූයෙන් නැවත සංශෝධන සහිතව ඉදිරිපත් වන්නේ 1975 දීය.
මේ වන විට රෝලන්ඩ් සිල්වා ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ ගාමක බලවේගයක් ලෙස ක්‍රියාත්මක වෙමින් සිටියේය. එතුමා ඒ වන විට අන්තර්ජාතිකව ද ක්ෂේත්‍රයේ පිළිගත් වෘත්තිකයෙක් ලෙස යුනෙස්කෝ සංවිධානය සමඟ කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් පදනම් කරගනිමින් සංස්කෘතික ත්‍රිකෝණය පිළිබඳ කැබිනට් පත්‍රිකාව සකස් කළේය. කෙසේ වෙතත් 1977 වන තුරුත් යෝජනාවලිය ඉදිරිපත් නොවුණි.
සංස්කෘතික ත්‍රිකෝණයේ ප්‍රභවය සම්බන්ධයෙන් 1978 වැදගත් වර්ෂයක් වූයේ වසරේ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන සමුළුවක් කොළඹ දී පැවැත්වීම සහ එයට සහභාගී වූ යුනෙස්කෝ අධ්‍යක්ෂක ජනරාල් සමඟ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිෙය් සුවිශේෂත්වය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට හැකිවීම නිසාය.
එහි ප්‍රතිඵළයක් ලෙස ඒ වන විට කැබිනට් මණ්ඩලය ද අනුමැතිය ලබා නොතිබූ සංස්කෘතික ත්‍රිකෝණය පිළිබඳ යෝජනාව 1978 වසරේම යුනෙස්කෝ 8 වන සැසිවාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට රෝලන්ඩ් සිල්වා සහ ආනන්ද ගුරුගේ ගේ කැපවීමෙන් හැකි විය. කෙසේ වෙතත් නැවත ආචාර්ය රෝලන්ඩ් සිල්වා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැහැදිලි කර දීමෙන් පසු යුනෙස්කෝ සංවිධානයේ 20 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට කටයුතු යෙදිණ.
ඒ අනුව යුනෙස්කෝ සංවිධානයේ ඡන්දය විමසන අවස්ථාවේ ඡායාරූප සහිතව ඉතා විශිෂ්ට අන්දමේ ඉදිරිපත් කිරීමක් සිදු වූ හෙයින් කිසිවකුත් ඊට විරුද්ධ නොවූයෙන් අනුමත විය.
1979 වසරේ මාර්තු මස යුනෙස්කෝ සංස්කෘතික උරුමයන් පිළිබඳ අධ්‍යක්ෂ එස්.ජේ.ස්ටල්ස් (S.J.stulz) වැඩසටහන් සම්පාදනයට ශ්‍රී ලංකාවට පැමිණි අතර එම වසරේ ම අගෝස්තු මස ප්‍රචාරක වැඩසටහනක් උදෙසා විධායක මණ්ඩලයේ අනුමැතිය ලදින් වාර්තාමය වැඩසටහනක් හරහා සාමාජික රටවලින් සංස්කෘතික ත්‍රිකෝණයට සහයෝගය ලබා ගැනීමට කටයුතු කෙරිණ.
1980 වසරේ ජනවාරි 01 දා යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් ප්‍රචාරකවැඩසටහන් ඇරඹීම අනුරාධපුරයේදී ද, ඉන් අනතුරුව අගෝස්තු මස මහනුවරදී ද සිදුවිය. සමස්ත ක්ෂේත්‍ර නැරඹීම පිණිස විදේශීය සංචාරකයන් සඳහා ඩොලර් 10ක ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දීම 1979 මාර්තු මස සිදුවිය.
සංස්කෘතික ත්‍රිකෝණය ව්‍යාපෘති වැඩසටහන කාර්යක්ෂමව ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කළමනාකරණ ව්‍යුහය 1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත (Central Cultural Fund Act No 57 of 1980) හරහා ස්ථාපිත කරන ලදී. එසේම පුරාවිද්‍යා කොමසාරිස්, අග්‍රාමාත්‍ය ලේකම්, සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් ආදී ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් පාලක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් විය.
පුරාවිද්‍යා කටයුතුවල දැවැන්ත වර්ධනයක්
ඉතා ශක්තිමත් නෛතික හා ආයතනමය ව්‍යුහයක් ස්ථාපිත කිරීම මඟින් පැහැදිලි වන්නේ එවකට රජය මේ සඳහා ලබා දී තිබූ ප්‍රමුඛතාව සහ වැදගත්කමයි. මෙම ශක්තිමත් පදනම ආයතනයේ තිරසාර පැවැත්මට ප්‍රබල හේතුවක් විය. මධ්‍යම සංස්කෘතික අරමුදල ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත වීම හරහා එතෙක් පුරා ක්ෂේත්‍ර සංරක්ෂණය සහ නඩත්තුව සඳහා රජයේ වැය බරට සහනයක් විය.
සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියට සංචාරක ප්‍රවේශ පත්‍ර අලෙවියෙන්, විදේශාධාර හා දානපතීන් හරහා ලැබෙන අරමුදල් රාජ්‍ය බද්දෙන් නිදහස් කෙරිණ. සංස්කෘතික ත්‍රිකෝණයේ ගවේෂණ, කැණීම්, සංරක්ෂණ, නඩත්තු ආදී සියලු පුරාවිද්‍යා කටයුතු මුදලින් ආවරණය විය.
රාජ්‍ය වැය බරට සහනයක් උදා කරමින් සංස්කෘතික උරුමයේ සුරක්ෂිතතාවත්, සංචාරක ව්‍යාපාරය හරහා ආර්ථික සංවර්ධනයටත් දායක වූ සංස්කෘතික ත්‍රිකෝණ සංකල්පය හා මධ්‍යම සංස්කෘතික අරමුදල කාලීනව ජගත් ප්‍රජාවට කදිම ආදර්ශවත් ආකෘතිමය ප්‍රවේශයකි.
මේ හරහා එතෙක් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීමාසහිත ප්‍රතිපාදන යටතේ සිදු වූ පුරාවිද්‍යා කටයුතුවල දැවැන්ත වර්ධනයක් කරා ගමන් කිරීමට හැකි විය. වර්ධනය මඟින් ආයතනිකමය, භෞතිකමය, තාක්ෂණික හා වෘත්තිමය ආදී සියලු ක්ෂේත්‍රවල වර්ධනයක් සඳහා පදනමක් සලසන ලදී. ව්‍යාපෘතියේ ආයතනමය සංයුතියද ඉතා පුළුල් වූවකි. මෙබඳු ආයතන සංයුතියක් ශ්‍රී ලංකාවේ උරුම සංරක්ෂණයට ප්‍රවිෂ්ට වන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවටය.