පිළිලය
ගස් අතු පතර පැළයක් ලෙස උපදිනවා
සාරය උරාගෙන ගස තුළ දැඩි වෙනවා
ගස වනසමින් පර ගස පොහොසත් වෙනවා
පිළිලය ලෙසින් ගැමියෝ මෙය හඳුනනවා
පාසල අතැර ගුණමකුකම් පුරුදු වුණා
ගමගොඩ පුරා හොර මැරකම් පතුරවනා
ගස් ගෙඩි කෙසෙල් කැන් ගවයන් වසන් වුණා
මේ වගෙ අයත් ගමටම පිළිලයක් වුණා
මත්කුඩු මත් වතුර රටටම පතුරන්නේ
විෂමාචාර අපයෝජන කරමින්නේ
මුදලට වහල් වී යුතුකම් නැහැ දන්නේ
ඒ වැනි අයයි සමාජ පිළිලය වන්නේ
දහමේ නමින් පටු අදහස් පෙරට ගෙන
මිසදිටු දහම් පද පිරිසට කියා දෙන
පිරිසක් වෙසෙනවලු නඩයක් හදාගෙන
මෙය පිළිලයකි බුදු දහමට නිඟා දෙන
ජනයා මුළාකර සුදුපිරුවට අඳින
මහජන සේවයට කිසි ලෙස නො ගැලපෙන
තම වාසිය බලා නිතරම වැඩ කරන
පිරිසක් වෙසෙයි රටටම පිළිලයක් වුණ
තම ආගමට පමණයි ලොව ඉඩ ඇත්තේ
අන් සැම වැනසුවොත් ස්වර්ගෙට යනු ඇත්තේ
මිසදිටු අදහසින් හිස පුරවා ගත්තේ
අලුතින් හැදෙන පිළිලය හැඳිනිය යුත්තේ
රට ගම වනසමින් නිති අවැඩ ම කරන
ඇසුදුටු දනන් බිය කරවන නම් දරන
යහගුණ දහම ගැන කිසි දින නොම සිතන
අදමිටු දනෝ පිළිලය වෙයි වින කරන
ගහකොළ කපා පරිසරයම වනසන්නේ
වන සිව්පා සතුන් ගිනි බිඳ මස් කන්නේ
පස්පව් කරවමින් මඩි තර කරගන්නේ
පිළිලය ලෙසින් පව්කම් රැස් කර ගන්නේ
ඇඟපත කොතැන හෝ එක් සෛලයක් සැදී
වැඩෙමින් ගත පුරා මුල් අතුපතර බෙදී
ජීවිත ඔරුව සිත් සේ පැද යන්න නොදී
දිවියම බිලි ගනී පිළිලය දුක ම දිදී
සෝමදාස කන්දෙගේ
නුඹේ පෙම
ගනාන්ධකාර
ආකාශයෙහි
සදිසිය
විදුලිය
පසුවය
ආයේ
හෙණහඬ
අජිත් ලියනගේ
අහස වගෙ මගෙ නෙතත්
වහින කලට කඳුළු ගඟක්
පෑවිල්ලට ඉඩෝරයක්
එකලට නැත කඳුළු බිඳක්
නියෙඟෙට ඉරි තැළුණු බිමක්
වගේ නොමැත සොඳුරු හදක්
අහස් වතුර ඉවක් බවක්
නොමැත අවැසි කිසිම විටක්
පායන කල වතුර බිඳක්
දෙතොලය වෙයි පිරිත් පැනක්
වැස්සට පසු හිරු එළියක්
දුරු කරලයි ගං වතුරක්
ඒ වගේද මගේ හිතත්
කියන්න ඉඩ දෙන්න ටිකක්
වැඩි වුණා ම ආදරයත්
අහස වගේ අමුතු තැනක්
ආසිරි විජේසේකර
එබී බලාන කවුළුවෙන්
දුර වැඩියි නොකියන්න...
හැඟුම්බර දෑස් දෙස
බලාගෙන නොම ඉන්න...
ආයෙමත් හමුවන්න
පැතුම් නම් නොතියන්න...
ජීවිතේ දුර ගමන්
ඉතින් තනිවම යන්න...
ඉමක් නම් නොපෙනෙන
නිල් අහස වෙත යන්න
විසල් බව ලෝකයම
කියා ගෙට නොම එන්න
ලෙහා බැඳි ජීවිතය
පියාපත් විහිදන්න
පුතුනි නුඹවත් ඉතිං
ජීවිතය විඳගන්න
අගේෂා සේනානායක
ඔවුහු වෙති නළුවෝ
ගතෙහි දූවිලි මඩත් තැවරිණ
සිතෙහි දිරියත් ශ්‍රමය කැප විණ
නිදි වරා වේදිකා සරසන
නුඹට හිමි නැත වේදිකා රඟදෙන
අගනා සළු පිළියෙන් සැරසුණ
සුවඳ හමනා විලවුන් ද ගැල්වුණ
වේදිකාවේ දිගට හරහට රඟදෙන
සිටිති නළු නිළියන් බොහෝ දෙන
සුපිරි නළු නිළියන් සිටින තැන
පහන දල්වන්න වත් ආරාධනා නොලැබිණ
රඟන හෝරාවේ වේදිකාවට එපා වුණ
නුඹයි නළුවා අගය නැති වුණ
වේදිකාව සකස් කොට දී සොඳින
ඈතින් සිට ඔල්වරසන් දීම පමණක් ම උරුම වුණ
නුඹේ සිත හඬන හැටි එදා මට පෙනිණ
නොහඬන්න නොතැවෙන්න සිත සිතා ඒ ගැන
පියසෝම රුද්‍රිගු
බුද්ධි ගලනය
නැතිබැරිකම් අගහිඟකම්
උදාගිරින් නැඟ එන්නේ
සිතේ පැතුම් හදේ සුසුම්
අවරගිරින් බැස යන්නේ
ළමා වියේ දුටු ලෝකය
අද සිහිනෙන් දිස් වන්නේ
උගතුන්ගෙන් පිරි ලෝකය
අද උකසට ගිලගන්නේ
වදන් පොතේ පිටු අතරින්
කඳුළු කතා බොඳ වෙන්නේ
රුපියල සහ මිහිදන් වී
කළු කාසිය රජ වෙන්නේ
නැතිබැරිකම් අගහිඟකම්
උදාගිරින් නැග එන්නේ
උගතුන්ගෙන් පිරි ලෝකය
පිටරැටියට නතු වෙන්නේ
අශානි භාග්‍යා කරුණානායක
මරණයේ වරණය
ඉස්සරහම කැරම් පෙතකි
දෝරෙ ගලන සිනා වතකි
දාම් අදින තැන පොරයකි
බොරු කරතැයි ඝෝෂාවකි
පිටි පස්සේ බූරු පොළකි
යටි අස්සේ දියර මතකි
වත්ත පුරා බැනර් රැසකි
නිවන් පුරට අරින දොරකි
කෑම කන්න මහ පිරිසකි
බුෆේ පෝලිමේ වලියකි
ගෙදර අයට වැඩ තොගයකි
නොනවත්වා පිළිගැනුමකි
හිසට උඩින් තෙල් පහනකි
සාලය මැද තනි මිනියකි
මිනිය අසල නිදන අයෙකි
නැත සෙලවෙන, හේ බල්ලෙකි
පී.බී. ගුණරත්න
විකිණීම
“මහත්තයා, වාසනාව ගෙනාවා
ගනිමු ටිකට් එකක්...”
පෙට්‍රල් ටැංකියේ පියන වහනකොට
පිටුපසින් ඇසුණුු මිහිරි කටහඬ
දනන් කෝටිපති සිහිනයක තබා
බඩවියත රැකගන්න ළඳක්
දැන් ටිකට් විකුණනවා
ඉස්සර වික්කෙ ඇඟ...
තව කෙනෙක් පියන අරින ගමන් කියයි
රූ සපුව වැහැරුණු
නා දළු මෝරා වැඩුණු
ඉඟසුඟ පුළුල් වී
නිදි කිරන රණ තිසරු
සිටු මැදුරු දොර වැසුණු
අම්බපාලියකි ඈ
ඇතුගල පා මුල මහවීදි
වැව රවුම වටා සක්මන් මළුව
ඇත්කඳ විහාරය - ගලේබණ්ඩාර සංහිඳ
රජපිහිල්ල - ගස්සෙවණ
වරක් දුටු ඇහැක්
යළි හැරී බැලූ දවස
සරාගී වත කමල මුදල් කළ රුසිරු කය
වියපත්ව සොයනවා ජීවිතය
“මහත්තයා ටිකට් එකක් ගන්නවාද?”
වික්‍රමසිංහ අතපත්තු
ඔවා
අනුන් හෙළා නොදකින හදවතක් ඇතී
උනුන් මතේ අවි නඟනා යුගත් නැතී
තමන් පිහිට තමන් මැ වග නිතර සිතී
පිනැත්තන්ට දෙව් බඹුනුත් හිස නමතී
ඇස පුරවා ගනු රිසියෙන් දවස’රින
බස දොඩලු බව මිස කය නොවෙහෙසන
රස මසවුලට ගිජු සිත නොම සංසිඳුන
දොස අවගුණය තිරිසන් ගති සිහි නඟන
සරණ වනු මැනවි සතුනී හැම සතට
කරන සියලු දෙය කළ මැන ලොව සෙතට
උරණ නොවෙන් ගුරු දෙගුරුන්ගේ බසට
මරණය සිනහවෙන් පිළිගත හැක එවිට