‘සාහිත්‍ය දින­යක්’ යෝජනා කළ දින­මිණේ හිටපු කර්තෘ පෙර­මුණේ තිලක | සිළුමිණ

‘සාහිත්‍ය දින­යක්’ යෝජනා කළ දින­මිණේ හිටපු කර්තෘ පෙර­මුණේ තිලක

ගම්පොල බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ගුරුවරයකු ලෙස සේවය කළ වයස අවුරුදු 25ක් පමණ වූ තරුණයෙක් පුවත්පත් කලාවට පෙම් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගුරු වැටුපෙන් ලැබුණු සොච්චම් මුදලින් අඩක් වැය කොට “රුවන” නමින් සඟරාවක් 1949 වසරේ ප්‍රකාශයට පත් කළේය. මේ සඟරාව මඟින් කෙටිකතා, නවකතා, නොපළ ජන කතා, කවි, ශාස්ත්‍රීය නිබන්ධන මෙන් ම නව පබඳු තරග, පතළ පබඳු තරග, ප්‍රහේලිකා තරග ඇති කරමින් මුදලින් තෑගි දුන්නේ ය.

ප්‍රකාශකයා ගම්පොල ටී. බී. පෙරමුණේ තිලක ය. එහෙත් ඔහු තම “රුවන” සඟරාවේ සංස්කාරක පදවිය පිරිනැමුවේ ගම්පොල බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ප්‍රධානාචාර්ය, ලේඛක ඒ.ඒ. ආරියවංශ නම් තරුණයාට ය. එසේ වූයේ පෙරමුණේ තිලක එවකට “ලංකාදීප” පත්‍රයේ ගම්පොල වාර්තාකරු වීම නිසා ය. ඒ නිසා ඔහු නිල නොලත් කතුවරයාව සිට තමා පත්‍ර ලෝකයේ දැන සිටි ලේඛයන්ගේ ලිපි, කෙටිකතා “රුවන” ට එක් කර ගත්තේ ය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ඩී.එෆ්. කාරියකරවන, මඩවල එස්. රත්නායක, නිමල් හොරණ, පිළිකුත්තුවේ කමලා, ඩී.ටී. මල්ලව, අසෝක පීරිස්, ගම්පොල පී.බී. ඉලංගසිංහ නොතාරිස් රාලහාමි, ප්‍රේමතිලක මාපිටිගම ඒ අතර ප්‍රධාන ය. පෙරමුණේ තිලක විසින් ලියන ලද “ලොවුතුරු පෙම” කෙටිකතාවක් ද “පුවත්පත් කලාව” යන ලිපිය ද මුල් කලාපවලට ලියා තිබුණි. මේ ඔහු විසින් ලියූ “තීරණය” නම් කෙටි සංකල්පනාව ය. “රුවන” දෙවෙනි (1949) කලඹෙනි.

බිංදු වල්ලි තෙල් ඉහුණු තරුණියක්, රූමතියක්, වට පිල කුප්පායමේ තබා මුළු කදුරුගෙඩියා ගමේවත්, දන්නා පෙදෙසකවත් නැත.

“හන්දුරුවනේ, මේ නැට්ටුක්කාරිට මොකුත් ලැබෙන්න අවසර යි.”

කියමින් කදුරු ගෙඩියා ගමේ ගෙයක් නෑර ඇවිද දෙල්වල කුඹුර් පටු නියර මැදින් ඕ දිනෙක එන්නට වූවා ය. කදුරුගෙඩියා ගම කොතරම් පරසිද්ද වුවද ගමට එන්නට ඇති ඉතා කෙටි පාර මේ නියර ය.

හදිසි කටයුත්තක් සඳහා ගමනක් ගොස් ආපසු එන, කදුරු ගෙඩියාවේ රාලහාමි මේ නියර දිගේ එනු දැක, බිංදු වල්ලි බියෙන් සැලෙන්නට වූවා ය. දෙපස ලියදු වපුරා ඇති හෙයින් මඩ බැහීමට ද නොහැකිය. එබැවින් ඕ හෙමින් හෙමින් ඉදිරියට ආවාය. පුපුරණ මුහුණක් මවා ගත් රාලහාමි ද ඉදිරියට ආවේය. දෙදෙනා මාරුවන විට බිංදුවල්ලිගේ තෙල් ඉහිරෙන රන් පැහැ සිරුර රාලහාමිගේ ඇ‍ඟේ හැපුණේ ය. ජීවිතයේ කවදාවත් නොවින්ද මිහිරි පහසකින් ඔහුගේ මුළු ශරීරය කිළි පොලා ගියේය. එහෙත් හත් මුතු පරම්පරාවකට තම වංසය කිළුටු වූ බව සැලකූ හෙතෙම, බිංදුවල්ලිට නොකියන දේ කියා බැන්නේ ය; ගිගිරුවේ ය; පිප්පුවේ ය. කඳුරුගෙඩියාවේ පස් පාගන්නට තහනම් කළේ ය.

මේ මහ වෙල් යායේ මැද මේ අවස්ථාවේ මෙතැනට රැස්වන්නට අනෙකෙක් නැත. වෙලේ සිටි සියලු කකුකුට්ටෝ එතැනට රැස් වූහ. මේ පුදුම සිද්ධිය බලා ඔවුන් එක් ව ‘කතිකා කළහ’. ගමේ රාලහාමි ඔවුන් සමඟ ද කෝප වුවහොත්, නරි නයිදේලාට ආචාර සමාචාර පවත්වන්නට තබා, වෙලේ වසන්නට වත් නො හැකි වන බව සිතා, එදා සිට මින් පෙර ගමන් කළ පරිදි ඉදිරියට නොව හරහට ගමන් කරන්නට තීරණය ගත්හ.

“පෙරමුණේ තිලක” යනු “පත්තර ලෝකයේ පෙරමුණේ සිටි පෙරමුණේ” බව කෘතහස්ත පත්‍ර කලාවේදි ගුණදාස ලියනගේ හැඳින්වීය. පෙරමුණේ තිලක කවියෙකි. පුවත්පත් ප්‍රවෘත්ති කර්තෘවරයකු ලෙස පත්‍ර ලෝකයේ පෙරළියක් කළ ඔහු “දිනමිණ” හා “ලංකාදීප” පුවත්පත් දෙකේ ම ප්‍රධාන කර්තෘ විය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ උඳුගොඩ කනන්ගමුවේ 1923 ජනවාරි 10 වෙනිදා උපන් කරුණාතිලක ඉදියන්සේලාගේ ටිකිරි බණ්ඩා පෙරමුණේ තිලක ගුරුවෘත්තියේ සිටියදීම ගම්පොල ලංකාදීප වාර්තාකරු ද විය. පාඨකයාගේ කුහුල දනවන ලෙස ප්‍රවෘත්ති හඳුනාගෙන වාර්තා ඉදිරිපත් කිරීම, නිවැරැදිව ඇත්ත අනාවරණය කිරීම ආදියෙහි ඔහුගේ තිබූ ප්‍රතිභාව දැන ගත්තේ ප්‍රධාන කර්තෘ ඩී.බී. ධනපාල මහතා හඳුනා ගත්තේ ය. කොළඹ ගෙන්වා ගත් පෙරමුණේ තිලක “ලංකාදීප”යේ මාණ්ඩලික වාර්තාකරු, ප්‍රධාන වාර්තාකරු, ප්‍රවෘත්ති කර්තෘ වූ පසු කලෙක මහානාම දිසානායකගෙන් පසු ලංකාදීප ප්‍රධාන කර්තෘවරයා ද විය.

එකල “ලංකාදීප” පත්‍රය බැබළවූ රත්න දේශප්‍රිය සේනානායක ප්‍රින්ස් ගුණසේකර, ධර්මපාල වෙත්තසිංහ, කේ.එම්. සිරිසේන, මහානාම දිසානායක, ශ්‍රි චන්ද්‍රරත්න මානවසිංහ, ධර්මසිරි ජයකොඩි, ධර්ම ශ්‍රී කුරුප්පු, ඩී.එච්. අබේසිංහ, පියල් වික්‍රමසිංහ, දීගොඩ පියදාස, විමල් වීරසිංහ, ධර්මසිරි ගමගේ, ඩී.වී. සෙනෙවිරත්න, ගුණදාස ලිය‍නගේ, ආර්. පල්ලෙවෙල, කරුණාසේන ජයලත්, වී.ඩී. ද ලැනරෝල්, මඩවල එස්. රත්නායක, සිරිපාල තිලකසේන, සමන් තිලකසිරි යන පත්‍ර ලෝකයේ දැවැන්තයන් අතරට මුසු වූ පෙරමුණෙ තිලක ඉතාමත් ප්‍රබල දේශපාලන වාර්තාකරු ලෙස මුදුනේ සිටි බව පත්‍රකලාවේදි ආරියවංශ පතිරාජ පවසා ඇත. ඔහු මෙසේ ද කියා තිබුණි.

“1956යේ ජනතා ‍ජයග්‍රහණ උදෙසා අත දුන් මාධ්‍යවේදීන් අතර පෙරමුණේ සිටි පෙරමුණේ දිවංගත බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ කුළුපග මිතුරකු ලෙස ඔහු නිතිපතා හමු වූ අතළොස්සගෙන් කෙනෙකු විය. 1956 මැතිවරණයේ රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ “මාර පරාජය” යන හඬින් යුතු වූ පෝස්ටරය නිර්මණය කිරීමේදී අසහාය කලාශූරි ජී.ඇස්. ප්‍රනාන්දු සිරිමතාණන් ඒ සඳහා පොලඹවා ගත් කිහිප දෙනාගෙන් පෙරමුණේ තිලක ද එක් අයෙක්.”

පෙරමුණේ තිලක නම් සෞන්දර්යවාදියා ස්වභාව ධර්මයට ඇලුම් කළ බවත් ගෙදර තිබූ කුරුලු කූඩුව දිහා බලාගෙන භාවනාවෙන් යුතු සිටි බව ඔහුගේ එකම පුතු දේශමානි පෙරමුණේ තිලක අපට කීවේය. වරක් සිය පියා කුරුල්ලන් ගැන ලියූ කවිය පුතා මතක් කළේය.

“අපේ පැලේ කුරුළු කූඩුවේ

දිවා පුරා ගීත නාද වේ

කුරුලු ගීත ඇසෙන්නේ

මල්වර කාලේ

නිරන්තරේ වෙඩි හඬ අස්සේ

වනාන්තරේ දිවි බැරි රිස්සේ

ඉතින් මොකද කරන්නේ

පැලට වරෙල්ලා

කුරුල්ලනේ වරෙල්ලා

කිරිල්ලනේ වරෙල්ලා

අපේ පැලේ කූඩු තනා ගන්න වරෙල්ලා

මේ කවිපෙළ පෙරමුණේ තිලක මහතා ලියා ඇත්තේ “ඉරිදා ලංකාදීප” පත්‍රයට ය. 71 කැරැල්ලට අනුබල දෙන කවියක් බව සතුරන්ගේ පැමිණිල්ලකට ඔහු රහස් පොලීසියේ හතරවැනි තට්ටුවට ද යාමට සිදු වූ බව දේශමානි පුතා අපට කීය.

ටී.බී. පෙරමුණේ තිලක පුවත්පතකට ලියූ “මැණිකේ” නම් කවි පන්තිය ජනප්‍රිය ගීතයක් වී ඇත. ඒ මේ ගීතයයි.

“හිරු පායනවා

හිරු පායනවා - මල් පිබිදෙනවා

කුරුලු රෑන් එනවා

මැණිකේ හිනැහෙනවා

මල් බර උයනේ මී අඹ සෙවණේ

ගී හඬ පැතිරෙනවා

මල්බර උයනේ මී අඹ සෙවණේ

ගී හඬ පැතිරෙනවා

සිරි පොද වැස්සේ

මිදුලට බැස්සේ

හණිකට ගෙට එනවා

මැණිකේ හිනැහෙනවා

සුරත් තාලෙට බත් ටික දෙන විට

බඩගිනි නැති වෙනවා

නිතඹ නැටෙන විට

දෙනෙත පියෙන විට

මිහිරෙන් මත් වෙනවා

මැණිකේ හිනැහෙනවා

ජීවන ගමනේ මිහිරක් මැවුණේ

මැණිකේ නිදියනවා

නින්දෙන් හිනැහෙනවා

මැණිකේ හිනැහෙනවා

විජේරත්න වරකාගොඩ තම ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට ගැයීමට ගීත රචනයක් සොයන විට සංගීත අධ්‍යක්ෂ ෂෙල්ටන් ප්‍රේමරත්න යෝජනා කර ඇත්තේ පෙරමුණෙ තිලකගේ මේ කවි පන්තිය ගීතයකට සුදුසු බව ය. පෙරමුණේගෙන් අවසර ලබා ගත් ෂෙල්ටන් අපූරු තනුවක් මැවූ අතර වරකාගොඩ ගැයූ මේ ගීතය අතිශයින් ජනප්‍රිය වී ඇත.

1959 දී අගමැති බණ්ඩාරනායක මහතාගේ ඝාතනය කරනු ලැබූ අවස්ථාවේ සෝමාරාමගේ පෞද්ගලික පලිගැනීමක් හැටියට වාර්තාගත වීමෙන් වළකා එහි පිටුපස තිබූ කුමන්ත්‍රණය හෙළි කිරීමට මුල් වීම පෙරමුණේගේ පත්‍ර කලා ජීවිතයේ විශේෂ අවස්ථාවක් හැටියට පත්‍ර ලෝකයේ සඳහන්ව ඇත.

මුල්වරට සාහිත්‍ය දිනයක් පැවැත්වීමට යෝජනා කර ඇත්තේ පෙරමුණේ තිලක මහතා ය. ඒ 1957 වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සංස්කෘතික කටයුතු ඇමති ජයවීර කුරුප්පු මහතාගේ කාලයේ දී ය. මුල්ම සාහිත්‍ය උපදේශක මණ්ඩලයට ඇතුළත් වූ සාමාජිකයන් වූයේ අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධත්ත, පණ්ඩිත කෝදාගොඩ ඤාණාලෝක, වැලිවිටියේ සෝරත, කොටහේනේ පඤඤාකිත්ති, බඹරැන්දේ සිරි සීවලී, කහඳාමෝදර පියරත්න යන මහා පඬි සඟරුවන් ද, මුදලිඳු ඊ.ඒ. අබේසේකර, ඩබ්ල්යු. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, සාගර පලන්සූරිය, අමරදාස වීරසිංහ, ඇන්.කියු. ඩයස්, පෙරමුණේ තිලක, එම්.ඊ. ඩයස් යන මහත්වරු ද ඇතුළු වූහ.

සාහිත්‍ය දිනයක් පැවැත්විය යුතු යැයි සාහිත්‍ය උපදේශක සභාවට යෝජනා කර ඇත්තේ එහි සාමාජික පුවත්පත් කලාවේදි පෙරමුණේ තිලක මහතා ය. ඒ මහතා සිංහල සාහිත්‍ය දිනයක් පැවැත්විය යුතුය යන යෝජනාව කළේ 1958 ජනවාරි 16 වෙනිදා ය. මේ පිළිබඳව පෙරමුණේ තිලක මහතා 1985 ‘කල්පනා’ (සැප්තැම්බර් කලාපය) සඟරාවේ රොහාන් පියදාස සමඟ කළ සාකච්ඡාවේ මෙසේ සටහන්ව ඇත.

“සෑම වසරකම ජුනි මාසේ 1 වෙනදා රට පුරා සිංහල සාහිත්‍ය දිනය පැවැත්විය යුතුය කියල ඒ සභාව මගේ යෝජනාවට අනුව තීරණයකට ආවා. පසුව ඒ දිනය සැප්තැම්බර් 1 වෙනිදාට නියම වුණා. එසේ වීමට කිසි විශේෂ හේතුවක් නැහැ. ඇත්ත වශයෙන් ම සභාවට පුවත්පත් කලාවේදීන් පත් කිරීමට මට වඩා සුදුසු අය හිටියා. ඒත් ජයවීර කුරුප්පුයි මමයි බොහොම ළඟින් ඇසුරු කරපු අය. එසේ ළඟින් ඇසුරු කරමින් සාහිත්‍ය ගැන අදහස් හුවමාරු කරපු අය.”

මුල්ම සිංහල සාහිත්‍ය දිනය පවත්වන ලද 1958 ජුනි 01 දා ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දීය ලේඛක මුල්ක් රාජ් ආනන්ද් ගෙන්වා ගැනීමට පියවර ගනු ලැබුවේ ද පෙරමුණේ තිලක මහතාගේ යෝජනාවක් අනුවය.

‘කල්පනා’ සඟරාවට (1985) අදහස් දක්වමින් පෙරමුණේ තිලක මහතා පවසා ඇත්තේ මුල්ම සාහිත්‍ය දින උත්සව වලට මහජනයා විශාල වශයෙන් සහභාගි වූ බවත්, ඒ නිසා සාහිත්‍යයේ පිබිදීමක් තිබුණ බව ය.

“ඒ කාලේ සිංහල සාහිත්‍යයේ පිබිදීමක් තිබුණා. ඒ කාලෙ පුවත්පත් වුණත් සාහිත්‍යය ගැන, ලේඛකයන් ගැන වැඩිපුර ලිව්වා. ඒත් රටේ තිබුණෙ පොත් කොල්ලයක්. පොත් වැඩි වුණාට ප්‍රකාශකයෝ ලේඛකයන් ගසා කෑවා. මේ තත්ත්වය නැති කිරීම සඳහාත් සාහිත්‍ය උපදේශක සභාව යෝජනා ගෙනාවා. ඒත් ක්‍රියාත්මක වුණේ නැහැ.

ඒ කාලෙ හැම රජයේ දෙපාර්තමේන්තුවකම සාහිත්‍ය සංගමයක් තිබුණා. හැම මාසයකම වරක් දෙපාර්තමේන්තුවල සාහිත්‍ය රැස්වීම් තිබුණා. විශ්වවිද්‍යාලවල පවා අදට වැඩිය සාහිත්‍යය කෙරෙහි උනන්දුවක් තිබුණා. ඒ උනන්දුවේ ප්‍රතිඵලයක් වශයෙනුයි පේරාදෙණි ගුරුකුලය වගේ ඒවා බිහි වුණේ. හෙළ හවුල පවා අදට වඩා හුඟක් දියුණුයි. මේ උනන්දුව 1956 ට පෙර සිට ම ඇතිවේගන ආවා. සාහිත්‍යයේ නව සංවාද ඇති වුණා. ලේඛකයෝ ලේඛකයෝ අතර සංවාද ඇති වුණා. හොඳ කියා ගත්තා. නරක කියා ගත්තා. මේ සියල්ලෙහි පොදු ප්‍රතිඵලය වුණේ සාහිත්‍යය දියුණු වීම.

නමුත් අද (1985හේ) ඒ එකක්වත් නැහැ. ප්‍රධාන වශයෙන් පැරණි සිංහල පත පොත පාඨශාලාවලින් ක්‍රමයෙන් ඈත් වෙලා. ගුරුවරුනුත්, ළමයිනුත් එ් ග්‍රන්ථවල කොටස් වශයෙන් පරිශීලනය කරන්න ගත්තා.”

පෙරම‍ුණේ තිලක මහතා 1969 “හඳට ගිය පැංචා” නම් ළමා පොත පළ කළේය. චීන බසට පරිවර්තනය කළ ඒ පොතට හැඳින්වීමක් ලියන ඔහු මෙසේ ලියා තිබුණි.

“ගෙදර මිදුලේ සිට හඳපානේ අහස දෙස බල බලා “අම්බිලි මාමේ, අම්බිලි මාමේ” කිය කියා පුංචි කාලේ කෑ ගැසූ හැටි හිත හිතා මිහිරි නින්දකට ගොස් හිමිදිරි උදේ කුරුලු ගී හඬින් අවදි වූ විට ඇති වූ පුංචි සිතිවිල්ලක් ගැන උපන් හපන්කම් ඇති ලේඛකයකු හා පත්‍රකලාවේදියක් වූ අපේ ධර්මසිරි ගමගේට කීවෙමි. ඔහුගේ දිරි ගැන්වීම හා උපදෙස් අනුව මේ පුංචි කතාව පුංචි අය උදෙසා ලීවෙමි. කිංස්ලි ධර්මතිලක අපූරුවට චිත්‍ර ඇඳ දුන්නේය.

“හඳට ගිය පැංචා” ළමා පොත් වසර 50කට ‍පමණ පසු සිබිල් වෙත්තසිංහ නම් අපේ අග්‍රගණ්‍ය ළමා චිත්‍ර ශිල්පිනියගේ චිත්‍ර සමඟ සුමිත ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත්ව ඇත. මේ පොත මෙසේ පිළිගන්වා ඇත.

“ටී.බී. පෙරමුණේ තිලක මහතාණන් විසින් රචිත මේ ග්‍රන්ථය එතුමාණනගේ එකම පුත්‍රයා වන දේශමානී චන්ද්‍රකීර්ති පෙරමුණේ තිලක විසින් එතුමාණන්ගේ මුනුපුරන් තිදෙනා වන සෙත්, රාහුල් හා සචින් වෙත සාදරයෙන් පිදෙන වගයි.”

1957 මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා රුසියාවේ ලංකා තානාපති හැටියට ක්‍රෙම්ලීනයේ දී අක්ත පත්‍ර බාර දුන් අවස්ථාවට ලංකාවෙන් සහභාගි වූ එකම මාධ්‍යවේදියා ලෙස පෙරමුණේ තිලක මහතා සිංහල භාෂාවෙන් කතා කළ එකම සිංහලයා වීමේ ගෞරවය ලබා ගෙන ඇත. ප්‍රවෘත්ති කර්තෘට රහස් පරීක්ෂකයකුට බඳු උපාය ඥානයක් තිබිය යුතු බවත්, කිසියම් සුළු තොරතුරක් ලැබුණත් එය ප්‍රමාණවත් හොඳ කතාවක් බවට පත් කර ගැනීමේ ශක්තියක් තිබිය යුතුවාක් මෙන්ම රටේ සිදුවන හැම වැදගත් දෙයක් ගැනම ඔහු දැනුමක් ඇති පුද්ගලයකු විය යුතු යයි සමන් තිලකසිරි ලියූ “පුවත්පත් කලාව” කෘතියේ සඳහන් කර ඇත්තේ ප්‍රවෘත්ති කර්තෘ පෙරම‍ුණේ තිලකයන් එල්ලකර ගෙනය. ගුණදාස ලියනගේ විසින් ලියා ඇති පරිදි දේශපාලන ලෝකයේ පතාක යෝධයන්ව සිටි සේනානායකලා, බණ්ඩාරනායකලා, ඔලිවර්ලා පමණක් නොව පිලිප්, ඇන්.ඇම්, වික්‍රමසිංහ, විවියන් වැනි අය ටැලිෆෝන් කර “කොහොමද පෙරමුණේ” කියා අසන තත්ත්වයට පෙරමුණේ පත්වී සිටි බවයි.

‍රාජගිරියේ හේවාවිතාරණ විදුහලේ ගුරුවරයකු වූ මහගම සේකරට චිත්‍ර ශිල්පියකු මෙන් ම කවියකු ලෙස පුවත්පතකින් රටට හඳුන්වා දී උදව් කළ පෙරමුණේතිලක කලක් “රසවාහිනි” සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලෙස ද ලංකාදීප පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා ලෙස (1971) ද “දිනමිණ” පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා (1973-1977) ලෙස ද කටයුතු කළේය.

පෙරමුණේ තිලක මහතා විවාහ වූයේ කොළඹ ආයුර්වේද මහ රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරිනිය ලෙස සේවය කළ හේමා පනාගොඩ මෙණෙවිය සමඟ ය. ඇය දැනට ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් නීති විශාරදයකු මෙන්ම විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු මෛත්‍රී පනාගොඩගේ ප්‍රිය සහෝදරියකි.

පෙරමුණේ තිලක දිනපතාම වාගේ සන්ධ්‍යා භාගයේ හමුවන සහෘදයන් කිහිපදෙනා අතර දයානන්ද කුමාරදාස, බොරලැස්ගමුවේ විමලවීර පෙරේරා, පියරත්න හේරත්, මලල්ගොඩ බන්ධුතිලක යන මිය ගිය පුවත්පත්කලාවේදීන් ද දැනට කැනඩාවේ සිටින රත්නපාල විතාන ද වූහ. මලල්ගොඩ බන්ධුතිලක වරක් ලියා තිබූ සටහනක මෙසේ සඳහන් විය.

“කනත්ත ඉදිරිපස නිවසක පදිංචිව සිටි පෙරමුණේ තම රථය ගරාජයට දමා සිසිල් සුළං පහසක් විඳින්නට මහපාරට පැමිණෙයි. සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසී සිටි මේ උත්තුංග දේහධාරි මේ පුරුෂයා මහ මාවත මැද ඉන්ද්‍රඛීලයක් සේ සිටී. පවනට බඳු වේගයෙන් පැමිණෙන කුලී රථය රියැදුරෝ මේ රුව දැකිත්ම මහ හඬ නගා තිරිංගය තද කොට ආපසු හරවා එබඳුම වේගයකින් කනත්ත ඉදිරිපට මහ මඟ අවතාර නැති බව තත් වූ පරිද්දෙන් දන්න අපි මහ හඬින් සිනාසෙමු.”

පෙරමුණේ තිලකයන්ගේ එකම පුතු දේශමානි එංගලන්තයේ බර්මිංහැම් විශ්විද්‍යාලයේ උපාධිධරයෙකි. ඔහු දැන් ඕස්ට්‍රේලියාවේ තිබෙන හොංකොං සමාගමක උසස් තනතුර හොබවයි.

“මගේ තාත්තා පාන්දර අවදි වුණා. කුරුල්ලන්ගේ ගී හඬ අසා භාවනානුයෝගිව සිටිනවා. ඔහු එක්තරා අන්දමක දාර්ශනිකයෙක්. ස්වභාදහමට, ජලයට ආදරය කළා. තාත්තා සල්ලි හම්බ කළේ නෑ. අතේ රුපියල් පණහක් තියා ගෙන අනිත් සල්ලි නැති බැරි අයට දුන්නා. මා කුඩා කාලේ තාත්තා ළඟින්ම ඇසුරු කළේ රත්න දේශප්‍රිය සේනානායක, කේ.එම්. සිරිසේන, ධර්මසිරි ජයකොඩි, කරුණාසේන ජයලත් යන මාමලා. කො‍හොමත් තාත්තා නිශ්ශබ්ද චරිතයක්.”

පෙරමුණේ තිලක මහතා ජීවිතයේ අන්තිම කාලයේ ලන්ඩන් හි “මිරර්” හා “ලොයිඩ් ස්ලයිට්” පත්‍රවල කොළඹ වාර්තාකරු ලෙස කටයුතු කළේය. ඔහු ලියූ පොත් කිහිපය අතරින් දෙකක් චීන භාෂාවට පරිවර්තනය වී ඇත.

පෙරමුණෙ තිලක ජීවිතයේ අන්තිම මොහොත තෙක් ම තරුණයකු මෙන් ක්‍රියාශීලීව ගත කොට සිය 71 වැනි ජන්ම දිනය දා පාන්දර එනම් 1993 ජනවාරි 10 වෙනිදා නුගේගොඩ නාලන්දාරාමයට ගොස් හීල් දානය විහාරාධිපති කීනියාවල පාලිත හිමියන් ප්‍රමුඛ සංඝරත්නයට පිළිගන්වා බණ අසා සිටීදී රෝගාතුර වී ඇත. රෝහලට යන අතර තමා විසින් ම පිරිත් සඣයනා කරමින් සිටි දි අවසන් හුස්ම හෙළා ඇත. උපන් දිනයේ දී අවසන් ගමන් ගිය මේ මහා පත්‍රකලාවේදියා, කවියා, පරිසර හිතකාමියා කිසිවෙකුට අති හිත දුන්නා විනා තුන් හිතකින්වත් සතුරුකම් නොකළ උතුම් මානව හිතවාදි මිනිසෙකි.

Comments