විශිෂ්ට කලා කෘතියක් යනු ඒ යුගය පිළිබඳ භෞතික, සමාජ ආර්ථික මෙන්ම මානව සබඳතා හා සංස්කෘතික වටිනාකම් පිළිබඳ සියුම් සංවේදී ප්‍රකාශනයක් බව ජගත් සම්මානිත කලා විචාරක මහාචාර්ය රේමන්ඩ් විලියම්ස් ප්‍රකාශ කරයි. එම ගම්භීර නිර්වචනය අපට සිහිපත් වූයේ සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සුමිත්‍ර සුසංයෝගයෙන් නිමවූ විචිත්‍ර සිනමා කෘතියක් වූ ‘ද නිව්ස් පේපර්’ නරඹා තරංගනී සිනමා හලෙන් පිටවූ මොහොතේදී ය. සැබැවින් ම කලාව හා සංස්කෘතික ප්‍රකාශනයේ අති ප්‍රබල පිළිබිඹුවක් වන චිත්‍රපටය අනෙක් කලා මාධ්‍ය වන සාහිත්‍ය, නාට්‍ය, රූපවාහිනීය, සංගීතය හා චිත්‍රයට වඩා ඉදිරියෙන් සිටියි. සිනමාකරුවා ඇස, කන හා මනස දැඩිව ග්‍රහණය කරගනිමින් ජීවිතය හා මනුෂ්‍යත්වය පිළිබඳ ආශ්චර්යවත් අනාවරණයක් සිදු කරන්නෙකි. සම්මත දෘෂ්ටිවාද, සමාජ සාරධර්ම, සත්‍යය හා යුක්තිය පිළිබඳ ඔහුගේ කියැවීම් කෙතරම් අර්ථවත්දැයි ලෝක සිනමාව අපට තහවුරු කර දී තිබේ. සිනමාකරුවා හුදු කතන්දරකරුවකුට වඩා වෙනත් දාර්ශනික ගවේෂකයෙක් වැන්න.
සරත් - කුමාර සුමිතුරෝ ‘ද නිව්ස්පේපර්’ චිත්‍රපටය අප අබියසට රැගෙන එන්නේ ඒ සිනමා භාවිතය පිළිබඳ සහජ කුසලතාවලින් සපිරි විස්මිත විලාසයකින් ය. නොගැඹුරු ජනප්‍රිය විනෝදාස්වාද මාර්ගයක් බවට ලඝු කරගත් සිනමාකරුවන් පසුපසට ඇද දමා සිනමාවේ ප්‍රබල හා සංකීර්ණ සංකේතමය භාවිතය මේ සිනමාකරුවෝ නිරවුල්ව හඳුනාගෙන සිටිති. ලෝක ප්‍රකට ජපන් ජාතික සිනමාකරුවකු වන යසුජිරෝ ඔසු සිය නිර්මාණවලින් වැඩිපුරම අවධානය යොමු කර ඇත්තේ කුටුම්බය හෙවත් පවුල වෙතය. පවුල් හා සමාජයත් එහි පීඩනය විසින් අසරණ වන පුද්ගල සබඳතාවන් දෙසත් ඔසු අපට පෙන්වා දෙයි.
සරත් - කුමාර සුමිත්‍ර සමාගමේ සිනමාත්මක එළඹුම ඒ කුටුම්බය හෙවත් පවුල කේන්ද්‍ර කර ගත්තකි. ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලනය උඩුයටිකුරු කළ කොටි ත්‍රස්තවාදයේ විවිධ ග්‍රහණයන් ගමට මෙන්ම නගරයට ද පොදු විය. මේ චිත්‍රපටයේ තේමාව වන්නේ ද එබඳු කොටි ත්‍රස්තවාදය විසින් අසරණ ගැමි පවුලක් මතට හෙළන ලද විපතක් පිළිබඳ ශෝකාන්තයකි. චිත්‍රපටයේ කතා නායකයන් පොලොන්නරුවට අයත් ගල්ලෑල්ල නමැති කුඩා ගමක අගහිඟකම්වලින් පිරුණු පැලක ජීවිත ගෙවන අහිංසකයෝ ය. කොටි ත්‍රස්තවාදය මේ රටේ පාලන තන්ත්‍රයට පමණක් නොව ජනමාධ්‍යවලට ද දැඩිව බලපෑම් කළ අත්දැකීමක් විය.
කොළඹ කේන්ද්‍රීය මාධ්‍ය සංස්කෘතියේ නිර්දය විලාසය පමණක් නොව ඒ මාධ්‍ය හිමිකාරිත්වය දෙස උත්ප්‍රාසයෙන් බලන මේ අභිනව චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙදෙනා විසින් අනාවරණය කරනු ලබන්නේ කෙබඳු සමාජ දේශපාලනයක්ද? විචිත්‍ර සළුපිළිවලින් දවටන ලද ඒ මාධ්‍ය සංස්කෘතියේ ගර්හිත, අවලකුණු චිත්‍රපටයේ මැනවින් අනාවරණය කර තිබේ. සත්‍යය හා යුක්තිය අඳුරෙහි තබන මාධ්‍ය සමාජයක අනතුරද චිත්‍රපටයෙන් හෙළි කෙරේ. අනන්ත පීඩා හිරිහැර ඉවසාගෙන යුක්තිය උදෙසා ඉදිරියටම යන නූගත් ගැමියන් දෙදෙනා දෙස සානුකම්පිතව බලන තරුණ මාධ්‍යවේදිනියක් ද සිටින්නී ය. ඇය මේ මිතුරන්ට විවිධ උපකාර කරන්නේ ඒ නිසාම සිය රැකියාව ද අනතුරකට වැටෙන බව දැන දැනමය. අයුක්තිය නොයිවසන තාරුණ්‍යයක අභිමානය අපි ඇය වෙතින් දකිමු. එහෙත් හෘදය සාක්ෂියක් නොමැති සමාජයක යුක්තිය ඉටුවීම යනු අතිශය විරල අත්දැකීමකි. පුවත්පත් කාර්යාලයට යන මිතුරන් දෙදෙනාට මුහුණපෑමට සිදුවන අමිහිරි අත්දැකීම් අප ජීවත්වන මේ යුගයේ යථාර්ථය විනා අන් දෙයක් නොවේ. එහෙත් ඒ මාධ්‍ය බලකොටුව බාහිරව බිඳදැමිය නොහැකි දෙයකි. ගම හා විදග්ධ යැයි පිළිගත් සම්මුතීන් අතර පරතරය ද ඉතා විශාලය. ගුණාට කෙරෙන දෝෂාරෝපණය නොඉවසන ඔහුගේ මිතුරු ලුයියා පුවත්පත් කාර්යාලය තුළ හැසිරෙන ආකාරය ඉතා ස්වභාවිකය. ලුයියා පහර දෙන්නේ පන්ති සමාජය නමැති මතුමහලේ සිටින මාධ්‍ය අධිපතිත්වයට ය. ඒ පුවතට මාධ්‍ය මගින් දෙන අර්ථකථනය කෙතරම් සදොස් ද? එය මේ මුග්ධ සමාජ යථාර්ථය පිළිබඳ උත්ප්‍රාසනීය අනාවරණයකි. ලුයියා අත්අඩංගුවට ගෙන වැලිකඩ හිරගෙදරට රැගෙන යයි. මේ හිරගෙය කෙබඳු බිහිසුණු අඳුරක් ද? එහි සිටින සමාජ විරෝධී අපරාධකරුවන්ට හා පාතාලයන්ට මැදිවන ලුයියාගේ අහිංසක විලාසය ද අපට දැකගත හැකිය. නීතිය හා දඬුවම සඳහා ස්ථාපිත කර තිබෙන ආයතනවල සැබෑ චිත්‍රය එය නම් අපට කීමට සිදුවන්නේ ද ‘කුමට එරට අධිකරණය හා විනිසුරන්’ යන්නම නොවේද?
ද නිව්ස් පේපර් චිත්‍රපටය දෙස මතුපිටින් බලා එය ඈත දිළිඳු ගමක පවුලක ඉරණම පිළිබඳ ශෝකීය නාටකයකැයි කෙනෙක් කීමට බැරි නැත. එහෙත් එය ඊට වඩා බෙහෙවින් වෙනස් සමාජ සංස්කෘතික කියැවීමක් බව නිසැකය. මේ චිත්‍රපටය සමග සෘජු සමානත්වයක් හෝ ගැලපීමක් නොමැති වුවද මේ සමාජ විශ්ලේෂණයත් කථන ක්‍රමය අනුව නිර්මාණය වූ බටහිර චිත්‍රපටයක් මගේ මනසට නැගෙයි. ඒ ජගත් සම්මානනීය සිනමාකරුවකු වූ ඩේවිඩ් ලින්ච්ගේ ‘බ්ලූ වෙල්වට්’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය සරල, නොගැඹුරු කථාවක් සේ සමහර විචාරකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දකි. එහෙත් පසුකාලීනව එම චිත්‍රපටය අගය කළ විචාරකයන් විසින් පවසන ලද්දේ එය පශ්චාත් නව්‍යවාදී ලක්ෂණවලින් යුතු සිනමා කෘතියක් බවය. මෙම චිත්‍රපටයේ කථානායකයා සරසවි සිසුවෙකි. අනපේක්ෂිත හා අහඹු සිදුවීම්වලට මුහුණපෑමට මෙම තරුණ සිසුවාට සිදුවෙයි. කිසියම් උද්‍යානයක විවේකීව සිටින මොහොතක තම නෙත ගැටෙන කිසිවකුගේ කනක කෑල්ලක් පිළිබඳ සත්‍යය සොයා ගැනීමට ඔහු පෙලඹෙයි. ඔහුගේ ගවේෂණ චාරිකාව සමාජයේ විවිධ බිහිසුණු පුද්ගලයන්, ආයතන මෙන්ම අබිරහස් ස්ථාන ඔස්සේ දිවයන්නකි. පාතාලය, වෙසඟනන්, අපරාධකරුවන් ආදීහුද ඔහුට හමුවෙති. දුෂ්කර හා බිහිසුණු ගමන නිමවා ඔහු ආපසු තම නිවසට යයි. ඒ සංචාරය ඔස්සේ ප්‍රේක්ෂකයාද ඔහු සමග විවිධ අත්දැකීම්වලට මුහුණ දෙයි. ත්‍රාසය, භීතිය ඒ මුළු ගමන සමග බද්ධ වී පවතී.
ද නිව්ස් පේපර් චිත්‍රපටය ද ගම හා ඊට නුදුරින් තිබෙන තවත් සමාජයක හා පුද්ගල ක්‍රියාදාමයන් පිළිබඳ විවිධ අනාවරණයන් සිදු කරමින් ප්‍රේක්ෂකයාට හෘදය සංවාදයක යෙදීමට අවකාශ ලබාදෙයි. මේ ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරුන්ගේ සිනමා වියමන අති ප්‍රබල ය. සමාජ දේශපාලන කඩතුරාවෙන් වසන ලද පුද්ගල සබඳතා මෙන්ම අනතුරක ගිලී තිබෙන සත්‍යය හා යුක්තිය පිළිබඳ ප්‍රබල හැඟවීම් ද මේ චිත්‍රපටයේ දැක ගත හැකිය. සිව්වන ආණ්ඩුව ලෙසින් හැඳින්වෙන මාධ්‍යවල ඇතුළත අඳුර මෙන්ම ඒවායේ අධිපතිවාදී ක්‍රියාකාරකම් ද චිත්‍රපටය නිර්දය ලෙස අපට පෙන්වා දෙයි. අප ජීවත්වන සමාජයේ අඳුර, ගූඪත්වය මෙන්ම, පුද්ගල සබඳතාවන්හි සැබෑ රූපය ද චිත්‍රපටයෙන් අපට දැකගත හැකිය. භාවතිශය හා නොගැඹුරු අවස්ථා වෙනුවට මනුෂ්‍යත්වය හා බැඳුණු සාරධර්ම පිළිබඳ සංකේතාත්මක හැඟවීම් ද චිත්‍රපටයේ එයි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සුරැකීම, යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම ආදී යහපත් සංකල්ප හා ඒ වෙනුවෙන් පෙනී සිටින වචීපරම සංවිධානවල ස්වරූපය කෙතරම් ව්‍යාජදැයි චිත්‍රපටය අපට පෙන්වා දෙයි. පාරිභෝගික සංස්කෘතිය නමැති විස ගල්වන ලද මේ සමාජ දේශපාලනය කෙතරම් පරිහානියට පත්ව තිබේද යන්න මේ සිනමාකරුවෝ සියුම් ව හා ප්‍රබල ව ප්‍රශ්න කරති.
ඈත පිටිසර කුඩා ගමක ජීවත්වන පවුලක මානව හිමිකම් අහිමිවීම අප කම්පා කරවන ප්‍රබල සිද්ධියක් ලෙස මෙම චිත්‍රපටයේ දක්වා තිබේ. ගම්වල පීඩනයට පාත්‍ර වන එසේම කටුසර බෝගයකින් ජීවිත ගැටගසා ගන්නා අයගේ කතාන්තරයක් අප දකින්නේ හාන්සි පුටුවේ විවේකීව කියවීමට ලැබෙන සරල පුවතක් ලෙස ය. එහෙත් මේ අභිමානවත් මවට හා පුංචි පවුලට සිදු වූ අවමානය සුළු සිදුවීමක් නොවන බව අපට දැනෙයි. අම්මාට වුවමනා පුතුට එල්ල වූ කොටි හංවඩුව බොරුවක් බව ගමටත්, තමන්ට සරදම් කළ අයටත් ඔප්පු කිරීම ය. හැම මිනිසකුට ම ගෞරවනීය මරණයක් මෙන්ම අභිමානවත් පිළිගැනීමක් ද අවශ්‍යය. මේ අරගලයට තම පුතුන් මැදිහත් කරවන අම්මා අපට කියන්නේ ද හැම මිනිසකු ම සමාන හිමිකම් සහිත අය බව නොවේද? අනෙක් සියලු දෙනාට මෙන්ම තමන්ට ද අභිමානයෙන් හිස කෙළින් තබාගෙන ජීවත් වීමේ අයිතියක් තිබෙන බවය. මේ විප්ලවීය අධ්‍යක්ෂවරු දෙදෙනා මේ අශ්ලීල සමාජයේ මුග්ධත්වය අපට පෙන්වා දෙති. රැය පහන් කිරීමට අවසරයක් ඉල්ලා එන පන්සල් බණ මඩුව පවා මේ දුප්පත් මිතුරන්ට තහනම් වෙයි. තිබහට වතුර බිඳක් ඉල්ලා ගිය ලුයියාට ඒ සඳහා මුදලක් ගෙවීමට සිදුවීම ඔහුට ගැටලුවකි. කොළඹ නිදහස් චතුරශ්‍රයේ අපතේ යන ජලය හා වතුර මල්වලින් නිදහසේ පැන් සනහන ලුයියාගේ රූපරාමුව උත්ප්‍රාසය දනවන්නකි. ලුයියා හා ගුණා මේ විචිත්‍ර ලෙස සිතුවම් කළ සමාජයට අයත් නැති එහෙත් අභීත හා සටන්කාමී බලවේගයක් ලෙස අපට හැඟේ. ඒ බලය මතු අනාගතයේ මෙරටේ තාරුණ්‍යය සමග මුසුවන්නක් බව සංකේතවත් කරන්නී පුවත්පත් කලාවේදිනියගේ අභීත භූමිකාව යැයි මම සිතමි.
මේ චිත්‍රපටයේ සමුදයාර්ථයට අපූර්ව ජීවයක් ලබාදෙන තේමා ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නගේ දුලබ ප්‍රතිභාවේ මියුරු ඵලයකි. රූපරචනය, අවස්ථා නිර්මාණය කූටප්‍රාප්තියට නංවන තේමා ගීතය චිත්‍රපටයට ලබාදෙන ප්‍රබල හා ගාම්භීරත්වය අගය කළ යුතුය. මේ බලන්න මේ වදන්වල ව්‍යඤජන ශක්තිය කෙබඳුද කියා.
දොළේ දියත් නැති විය නුඹ නාවන්ට
තනේ කිරිත් හිඟ විය තොල් පොඟවන්ට
කටුසර බෝග තිබුණේ බඩ පුරවන්ට
සමාවෙයන් පුතුනේ නුඹ වැදුවාට
මේ තමයි අදත් අපේ ඈත ගම්වල ජීවිතය. කොළඹ සුරපුරයේ නවීන රිය පහසුකම් විඳිමින් ඉගිලී යන අප නොදකින දුක්බර ගම් කොතරම්ද? ඒ ගම්වලට දියුණුවේ හිරුඑළිය කවදා වැටෙනු ඇද්ද? විශාරද නන්දා මාලිනීගේ ස්වරයට සංගීතය මුසු කළ ගයාත්‍රි කේමදාස මෙම චිත්‍රපටයට මොනතරම් සවියක් බලයක් ලබාදී තිබේදැයි මටනම් සිතාගත නොහැකිය. සිංහල ගම්වල එදා ඇසුණු වෙස්සන්තර ගීත ගායනයේ සෝකී ස්වරය මේ ගීතය තුළ නිනාද වේ.
ගුණා හා ලුයියා සිය අරමුණු ක්ෂාත් ක්ෂාත් කරගන්නා නමුදු ගුණාද මේ විසම සමාජ අනතුරේම ගොදුරක් බවට පත්වෙයි. ගමට යන ලුයියාට පැලේ සිටි අම්මා ද දැක ගැනීමට වරම් නැත. ඔහු අම්මා මිහිදන් කළ ස්ථානයට ගොස් තමන් විසින් දුකසේ ලබාගන්නා ලද විජයග්‍රහණයේ සංකේතය බඳු පුවත්පත් පිටුව ඒ වළ මත කුසුමක් සේ තබයි. සුළඟ ඒ උපහාර කුසුම ද ගසාගෙන යයි. ජීවිත පූජාවෙන්, අප්‍රමාණ කැපවීමෙන් ලබාගත් යුක්තිය, නිර්දෝෂිභාවය පිළිබඳ සතුට බෙදාගන්නට කිසිවෙක් මිහිමත නොවෙති. ලුයියා සොහොන් බිමේ හුෙදකලාව සිටියි.
ද නිව්ස් පේපර් චිත්‍රපටය ප්‍රබල හා උසස් චිත්‍රපටයක් බවට පත් කිරීම සඳහා මෙම අභිනව අධ්‍යක්ෂවරුන් දෙදෙනාට තාක්ෂණ හා ශිල්පීය අංශවලින් ලද අනුබලය හා අනුග්‍රහය ද ප්‍රශස්ත මට්ටමක පවතී. ඒ පිළිබඳ වෙනම විශ්ලේෂණයක් කළ යුතු වුවද මෙහිලා එයට අවකාශ මඳ ය. සමස්ත චිත්‍රපටයේ රංග කාර්යයේ බර හා වගකීම දරමින්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට තරම් ශක්තියක් හා සියුම් ප්‍රතිභාවක් ද මේ මිතුරන් දෙදෙනා සතු වූ බව නිසැකය. වේදිකාව, රූපවාහිනිය හා සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයම හොඳින් දන්නා ඔවුන්ට රංගනය අමුතු අභියෝගයක් නොවීය. එසේ වුවද මෙම චරිත දෙක සතු ආවේණික ගති ලක්ෂණ හා හැඩතල සියුම්ව වටහා නොගත්තේ නම් චිත්‍රපටයේ රංග සාර්ථකත්වය දුහුල් වන්නට ද ඉඩ තිබුණි. ගුණා හා ලුයියා මධ්‍යම පාන්තික දෘෂ්ටි කෝණයෙන් බලන කෙනෙක් නූගත් ගැමියන් ලෙස දැකිය හැකිය. එහෙත් මේ අවියත් මිතුරන්ට ඉහළ සමාජය සමග ගැටෙමින් තම අරමුණු දිනාගැනීමේ ශක්තියක් තිබෙන බව චිත්‍රපටයෙන් ඉතා ප්‍රබලව ධ්වනිත කර තිබේ.
අපට හුරු පුරුදු බොරු සාටෝපවත් ජීවිතවලට වඩා බෙහෙවින් වෙනස් වටිනාකම් පද්ධතියක් තවමත් ගැමි සමාජය තුළ සුරැකී තිබේ. ව්‍යාජ හා වංචනික ජීවිත ගත කරන මධ්‍යම පාන්තික සමාජය තුළ ඇතැයි අපේක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදය, මානවහිතවාදය, සාරධර්ම හා චර්යා පිළිබඳ දැඩි කලකිරීමක් හා පිළිකුළක් ජනනය කරවීම චිත්‍රපටයේ යටින් ගලා යන වෙනම ධාරාවකැයි මට සිතේ. මේ සංස්ථාපිත සමාජයේ මෙන්ම එමඟින් නඩත්තු කෙරෙන ජනමාධ්‍ය මනුෂ්‍ය ජීවිතවලට දක්වන අඩු සැලකිල්ල කෙළවර වන්නේ ඔවුන්ගේ ජීවිතද අහිමි කරවමින්ය. පුද්ගල ජීවිතය සුපුෂ්පිත කරන සමාජයක් අවශ්‍ය වේ යන ප්‍රඥා ලෝකය චිත්‍රපටය නිමවන විට ප්‍රේක්ෂක මනස තුළ නැගෙයි. කුමාර හා සරත් තමන් සතු රංග ප්‍රතිභාවේ හැම බිඳුවක්ම ඒ කාර්යය සාධනය සඳහා උපයෝගී කර ගතිති. සමස්ත චිත්‍රපටය පුරාම ඒ රංග පෞරුෂයේ සුමට බව ලාලිත්‍යය අපට දැකගත හැකිය. අම්මා ලෙස රඟන නෙතලි මෙන්ම මාධ්‍යවේදිනියක ලෙස හමුවන මාෂි චිත්‍රපටය වෙනුවෙන් ලබාදෙන රංග විචිත්‍රත්වයද අගය කළ යුතුය.
මේ රචනය අවසන් කළ යුත්තේ යහපත් කලාකෘතියක් ප්‍රතිනිර්මාණය කිරීමේ බරපැනට කිසිදු පැකිලීමකින් තොරව උරදුන් සහෘදය අර්ථපතිත්වයටද ප්‍රසංසාවක් එකතු කරමින් ය. ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්. ඩී. ප්‍රේමසිරි, රවීන්ද්‍ර ගුරුගේ යන තිදෙනාම නිර්මාණාත්මක සිනමාව උදෙසා අනලස්ව දිරි දෙන සෞන්දර්යකාමීහු ය. සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර ශ්‍රී ලාංකික සිනමාවේ අනාගතය වෙනුවෙන් අප තුළ නැවුම් ප්‍රාර්ථනා දල්වති.