මෙරට සාහිත්‍ය ලෝකයේ දැවැන්තයන් පිළිබඳ අමල් යශෝමන් ජයසිංහ සිළුමිණ පුවත්පතේ ‘පුන්කලස’ ශාස්ත්‍රීය අතිරේකයේ ‘පහන් කණුව’ විශේෂාංග ලිපි පෙළ, ‘සාහිත්‍ය බැබළවූ ගත්කරුවෝ හා කලාකරුවෝ’ 1 හා 2 නමින් ප්‍රකාශයට පත්ව ඇත. මේ ඒ පිළිබඳව ඔහු සමඟ කළ කතාබහකි.
මෙම කෘතියේ අන්තර්ගතව ඇති සිළුමිණ පුවත්පතේ පළ වූ ලිපි පෙළ ලියන්න ඔබට පසුබිම සැලසුණේ කොහොමද?
මා ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් සිටි අවදියේදී එවකට සිළුමිණ කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතා මට කතා කර “ අමල් අපි සිළුමිණ පුන්කලස අතිරේකයේ ‘පහන් කණුව’ විශේෂාංගයට ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතවල ජීව දත්ත ඇතුළත් ලිපි පෙළක් පළ කරනවා. ඔයාටත් ඒක අධ්‍යයනය කරලා, ඊට උචිත විදියට සාරවත් ලිපි පෙළක් ලියන්න පුළුවන්” කිව්වා. එහෙම තමයි මෙහි පසුබිම සැකසුණේ. එතෙක් ඒ ලිපි රචනා වෙලා තිබුණේ පුස්තකාලයේ තිබුණු පුවත්පත් හා පොත්පත් ආශ්‍රය කරගෙනයි. ඒත්,මා ඊට වෙනස් මඟක් තෝර ගත්තා. මා සාහිත්‍යලෝකයේ මේ දැවැන්තයන් ජීවත් වුණු පරිසරයට ගියා. පවුලේ උදවිය ඥාතීන් හා ඔවුන් ඇසුරු කළ උදවිය හමු වී මේ ලිපි පෙළ සකස් කළා. ඒ විදියට 2014 - 2016 දෙවර්ෂය දක්වා පුන්කලස අතිරේකයේ පළ වු ලිපි පෙළ අධ්‍යාපන ග්‍රන්ථයක් විධිහට ප්‍රකාශයට පත් කළා. මා එසේ කළේ මෙය මතු පරම්පරාවට වගේම, මේ අය පිළිබඳ ව උනන්දුවක් දක්වන අයට හා නොදන්න අයට ඔවුන් ගැන දැනගත හැකි මූලාශ්‍රයක් වන නිසයි.
නමුත් ඔබට මෙම චරිත පිළිබඳ ලියන විට ඔවුන් ගේ සමාජ දේශපාලන භාවිතය හා ඊට සම්බන්ධ සමාජ පසු බිම මඟ හැරී තිබෙනවා.
ඔව්, මං ඒක ඉතාම නිහතමානීව පිළිගන්නවා. මං හිතුවේ එවැනි දේ පිළිබඳ ව අවධානය යොමු කළොත් මේ ලිපිපෙළ මේ විදියට පළ වෙන එකක් නැහැ කියලයි.
ඔබ එහෙම හිතුවේ ඇයි? ඔබට කාගෙන් හරි බලපෑමක් තිබුණද?
අපොයි නැහැ. මා එහෙම කළේ ස්වයං වාරණයක් පනවා ගනිමින්. මං බය වුණා දේශපාලන අදහස් මෙයට ඇතුළත් කළොත් ඒක ප්‍රශ්නයක් වේවි කියලා.
එහෙම නම් ඔබ මෙහිදී විශේෂ අවධානයක් යොමු කළේ කවර කරණු පිළිබඳවද?
වර්තමානය වනවිට මේ රටේ ජීවත් වුණු වැදගත් චරිත පිළිබඳ අවධානය නැති වී ගොස් තිබෙනවා. ඔවුන් අතීතයටම එකතු වෙලා, එවුන් පිළිබඳ තොරතුරු කාලයේ වැලි තලාවෙන් වැසී යමින් තිබෙනවා. නමුත් නූතන පරම්පරාවටත්, මතු පරම්පරාවටත්, වැඩිහිටි, බාල, මහලු මේ ඕනෑම අයකුට ඒ චරිතවලින් උකහා ගත හැකි දේ බොහෝමයි. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය දැනුම ලබාදීමේ අරමුණින් තමයි මා මේ කෘතිය රචනා කළේ. ඒ වගේම මේ චරිත තව තවත් ජීවමාන කළ යුතුයි කියන ආදරණීය හැඟීමකුත් මගේ හිතේ තිබුණා.
මේ ලිපි පෙළෙහි අන්තර්ගතය සැකසීමේ දී ඔබේ අරමුණ වුණේ කුමක්ද?
විශේෂයෙන් මා මෙහිදී සලකා බැලුවේ රට, දැය, සමය වෙනුවෙන් උපරිමයෙන් සේවයක් කළේ කවුද කියන එක විතරයි. ඒ වගේම කිසියම් කුතුහලයකින් යුතුව රසවිඳිය හැකි චරිත තියෙනවාද? මේ ලිපි පෙළ එම ඒකාකාරී අන්දමින් ගලා යෑම මඟහරවන්න ඒ චරිතවල ශෘංගාරයක් තියෙනවා නම් එයත් මා මීට ඇතුළත් කළා. ඔවුන්ගේ සුවිශේෂ ක්‍රියා, හැකියා තියෙනව නම් ඒවත් මා මීට ඇතුළත් කළා. මං හිතන්නේ ඒ සියල්ලක් ම මේ ලිපි පෙළ සාර්ථක වෙන්න හේතු වුණා. මේ ග්‍රන්ථ පෙළ ඉදිරියටත් කරගෙන යන්න මා තුළ අදහසක් තිබෙනවා. එහිදී මා ඔබ කලින් මතු කළ කාරණා පිළිබඳවත් අවධානය යොමු කරන්න උත්සාහ ගන්නවා.