සුදුසු නිර්මාණ කෘතියක් නැතිව ‍හැට වසරකට පෙර ඇරැඹි පළමු සාහිත්‍ය සම්මාන උලෙළ | Page 2 | සිළුමිණ

සුදුසු නිර්මාණ කෘතියක් නැතිව ‍හැට වසරකට පෙර ඇරැඹි පළමු සාහිත්‍ය සම්මාන උලෙළ

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රධානය ආරම්භ වන්නේ 1959 වසරේ සිට ය. එබැවින් සාහිත්‍ය සම්මාන ප්‍රදානයට 60 වසරක් පිරී ඇත. 1959 සැප්තැම්බර් 10 වැනි බ්‍රහස්පතින්දා ජාතික පුවත්පත්වල මුල් පිටුවෙන් මුල් වරට මෙය නිවේදනය වී ඇත.

“සාහිත්‍ය දිනයේදී, 1958 ලියූ හොඳම පොත් 4ට තෑගි. නිර්මාණ ග්‍රන්ථ ගිය වසරේ නෑ.”

එම ප්‍රවෘත්තියේ මෙසේ ද සඳහන් වී තිබුණි.

“1958 වසරේ දී ලියැවුණු උසස් ම සාහිත්‍ය කෘති වශයෙන් රුපියල් පන්දහසක සම්මාන තෑගි පිරිනැමීම සඳහා තෝරා ගනු ලැබූ සාහිත්‍ය ග්‍රන්ථ හතරක් සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් නම් කොට තිබේ. මේ සම්මාන තෑගි ඒ ග්‍රන්ථ කර්තෘන් වෙත (1959) සැප්තැම්බර් 14 වැනි දාට නියමිත ශ්‍රී ලංකා සාහිත්‍ය දින මහ රැස්වීමේදී පිරිනමනු ලැබේ. නවකතා හා කෙටිකතා, කාව්‍ය විචාර, සංස්කරණ අංශ හතරකට රුපියල් දස දහසක තෑගි පිරිනැමීමට කලින් තීරණය කර තිබුණු නමුත් නවකතා හා කෙටිකතා සහ නාට්‍ය අංශ අතරින් සුදුසු නිර්මාණයක් නොතිබීමමත් රුපියල් පන්දාහක තෑගි පමණක් සංස්කරණ හා විචාර අංශවලට වෙන් වේ.”

“ලංකාදීප” පත්‍රය එදා වාර්තා කර තිබූ අයුරුයි.

(1959) දෙන්න සුදුසු නිර්මාණාත්මක පොතක් නොමැතිව පැවැත් වූ ප්‍රථම සහ එකම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ලෙස මෙය ඉතිහාස ගත වන්නේය.

එදා සාහිත්‍ය සම්මාන දිනූ කෘති හා ලේඛකයන් හතර මෙසේය.

විචාරක අංශයේ (1වැනි ත්‍යාගය - රු. 1500)

වෛදික සාහිත්‍යය (ආචාර්ය ජයදේව තිලකසිරි)

විචාරක අංශයේ (2 වැනි ත්‍යාගය - රු. 1000)

ගුත්තිල විචාරය (යක්කඩුවේ ප්‍රඥාරාම හිමි)

සංස්කරණ අංශයේ (1වැනි ත්‍යාගය - රු. 1500)

පත්තිනි දෙවියෝ - හිස්සැල්ලේ ධම්මරතන හිමි

සංස්කරණ අංශයේ (2 වැනි ත්‍යාගය - රු. 1000)

අජාත ශත්‍ර - අශෝක කරුණාරත්න

සාහිත්‍ය උපදේශක සභාව පත් කළ විශේෂ කාරක සභාවක් 1958 වර්ෂයේ ග්‍රන්ථ 150 ක් පමණ පරීක්ෂා කොට ඒකමතිකව ඉහත කී කෘති සම්මාන ලැබීමට සුදුසු යයි තීරණය කර ඇත.

1958 ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළ වී ඇති ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත පොත් නාමාවලියේ පහත දැක්වෙන කෘති ලියාපදිංචි කොට තිබුණි. ඒවා අතර නවකතා, කෙටිකතා කාව්‍යය හා විවිධ විෂයයන් ගැන ලියැවුණු සුදුසු කෘතීන් නොමැති ද? යන ප්‍රශ්නය අනිවාර්යෙන් පැන නඟී. ඒ කෘති මෙසේය.

ගීත ගෝවින්දය - ( මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා) සාහිත්‍ය සේසත්- (ජී.බී. සේනානායක); දේව හස්තය - (කේ.බී. සුගතදාස); කුම්මාන් හී මිනීකන කොටියා - (ලක්ෂ්මන් දේවසේන); රෂෝමොන්-(බෙනඩික්ට් දොඩම්පෙගම හා රෙජී රණසිංහ) මකර රජුගේ දුව ( ගුණදාස ලියනගේ); හිමාලය මැදින් (ඩේවිඩ් කරුණාරත්න); හේමපාල මුනිදාස චරිතය- කේ.බී. සුගදාස); දැනුම හා දැකුම - (මාර්ටින් වික්‍රමසිංහ); කල්පනා ලෝකය (එදිරිවීර සරච්චන්ද්‍ර); කථා සරිත් සාගරය -(ඩේවිඩ් කරුණාරත්න); විහාර නීති විත්ති - (ප්‍රින්ස් ගුණසේකර); අබිනික්මන- (සිරි ගුණසිංහ) වයලා -(හේමපාල මුනිදාස); මනමේ නාටකය (එදිරිවීර සරච්චන්ද්‍ර); තිලක - (ටී.බී. ඉලංගරත්න) ධවනතා - කේ. ඩී. පී. වික්‍රමසිංහ); නාටක අට - (ටී.බී. ඉලංගරත්න)

1959 සාහිත්‍ය සම්මාන ලැබූ හතර දෙනාගෙන් අද ජීවතුන් අතර සිටින්නේ දෙදෙනෙකි. යක්කඩුවේ ප්‍රඥරාම හිමි හා හිස්සැල්ලේ ධම්මරතන හිමි අපවත් වූහ. 1927 උපන් ආශෝක කරුණාරත්න මහතා මිනුවන්ගොඩ දැවමොට්ටාවේ සැදෑ සමය ගත කරයි. 1921 උපන් මහාචාර්ය ජයදේව තිලකසිරි පාණදුරේ ගොරක ‍පොළ කුරුප්පු මාවතේ ගිලානෝපස්ථානයක නේවාසිකව සිටින බව පුවත්පතක සඳහන් වී තිබුණි.

සාහිත්‍ය දිනය නිමිත්තෙන් ලාබෙට පොත් විකිණීම එනම් පොත් ප්‍රකාශයන් පොත් මිල දී ගන්නා පාඨකයන්ට වට්ටමක් දීමේ සම්ප්‍රදාය ඇති වි දැන් වසර හැටක් පමණ ගතව ඇත.

මේ පිළිබඳ මුලින් ම උනන්දුවක් ඇති කළේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු‍වය. 1960 “සාහිත්‍ය දිනය” නිමිත්තෙන් ලේඛකයන්ට අත හිත දීමටත්, පාඨකයන්ගේ කියවීමේ රුචිය ඇති කිරීමටත්, සිංහල පොත පත බහුල කරවීමත් අරභයා අලුත් වැඩ පිළිවෙළක් ඇති කිරීමට එකල සංස්කෘතික සහකාර අධ්‍යක්ෂකව සිටි කීර්තිමත් සිවිල් නිලධාරියකු වූ වින්සන්ට් පණ්ඩිත මහතා ගත් උත්සාහය මුල්ම ප්‍රතිචාර ලැබී ඇත්තේ කොළඹ ඇම්. ඩී. ගුණසේන සහ සමාගමෙනි.

ඇම්. ඩී. ගුණසේන සහ සමාගමේ ගාල්ලේ ශාඛාවේ කළමනාකාරු ලෙස කටයුතු කළ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා 1960 සැප්තැම්බර් 11 වැනිදා ගාල්ලේ නගර සභාවේ දකුණු පළාත් පාඨශාලාන්තර සාහිත්‍ය තරගයක් ද, ගුණසේන “ලිහිණි පොත්” ප්‍රදර්ශනයක් ද, කලා සංදර්ශනයක් ද සංවිධානය කර ඇති බව එකල පුවත්පත්වල වාර්තා වී තිබුණි.

මේ ප්‍රදර්ශනය විවෘත කර ඇත්තේ එවකට ගාල්ලේ මහ දිසාපති සී. ජේ. සේරසිංහ මහතා විසිනි. එහිදී කතාවක් කළ මහා දිසාපතිවරයා, කියා සිටියේ සිය වියදමින් වැඩක් කිරීම ඉහළ බවත් ගුණසේන සමාගම සාහිත්‍යයේ දියුණුවට කළ සේවය අගය කළ යුතු බවය.

විශාල සාහිත්‍යකාමීන් පිරිසක් හා පාසල් සිසු සිසුවියන්, ගුරුවරුන් සහභාගී වූ මේ උත්සවයේ දී මුල් වරට පොත් ප්‍රකාශක සමාගමකින් පොත් අඩු මිලට අලෙවි කිරීමක් සිදු කළ බව දිසාපතිවරයා වැඩි දුරටත් කියා ඇත.

මේ මහා සාහිත්‍ය උත්සවයේ සියලු කටයතු සංවිධානය කළේ ගුණසේන සමාගමේ ගාලු ශාඛාවේ කළමනාකරු ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා ය. ප්‍රවීණ ලේඛකයකු වූ ඒ මහතා පසු කලෙක ගුණසේන සහ සමාගමේ අධ්‍යක්ෂවරයකුව සිටියදී සාහිත්‍ය මාසයට තම ප්‍රකාශනයට පත් කළ පොත් සඳහා පාඨකයන්ට 33 1/3 ක වට්ටම (1960 දී ඇරඹු) දීම විධිමත් කළේය.

පාසල් සිසුන් වූ අපට ඒ වට්ටම මහ මෙරක් විය. අධ්‍යක්ෂවරයකු වූද සාහිත්‍ය මාසයේ මේ පුංචි මිනිසා පොත් මිලදී ගන්නා දහස් ගණනක් මැද කාර්යක්ෂම හා නිහතමානිව පොත් බෑග්වලට අසුරා දී. අයකැමියන්ට සහාය වූ අයුරු අපේ මතකයේ තිබේ.

පසු කලෙක ඔහු මට ගුණසේන පොත්වල කවර ඇඳීමට අවස්ථාව ලබා දුන් බව ද කෘතවේදීව මතක් කරමි. ආදරයෙන් අප අමතන “ලාල් මහත්තයා” ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ‘සිළුමිණ’ පුවත්පතේ හිටපු කර්තෘ සුන්දර නිහතමානි ද මැල් හා මා සමඟ ආනන්දයේ අකුරු කී සතිස් ද මැල්ගේ පියාය.

සාහිත්‍ය දිනය නිමිත්තෙන් ලාබෙට පොත් දීමේ සම්ප්‍රදාය මහරගම සමන් මුද්‍රණාල‍ය ද පෙරමුණේ සිටියේය. සාහිත්‍ය දිනය විශේෂ සාහිත්‍ය සංග්‍රහයක් ලෙස සමන් ප්‍රකාශන අධිකාරි නිශ්ශංක ජයවර්ධන සංස්කරණය කළ “සාහිත්‍ය චින්තා” 1960 සැප්තැම්බර් සඟරාවට (මිල රුපියලයි) ලිපියක් ලියූ එස්. ජී. සමරසිංහ මෙසේ සඳහන් කර තිබුණි.

“සාහිත්‍ය දිනය වෙනුවෙන් සිංහල සාහිත්‍ය පොත් අඩු මිලකට පාඨකයින් අතට පත් කිරීමේ වැඩ පිළිවෙළක් යෙදීම ගැන අපි කවුරුත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට කෘතඥවිය යුතුයි. මෙසේ විශාල පොත්පත් පිළිබඳව උනන්දුවක් දක්වන මේ කාලයේ පොත් ප්‍රකාශය සඳහා සමන් මුද්‍රණාලය අලුත් පියවරක් ගත් බව දන්වන්නේ සතුටිනි.

ලාබෙට පොත් දීමේ ක්‍රමය හැටේ දශකයේ තිබූ කොළඹ ඇපෝතිකරිස්, ලේක් හවුස් පොත් හල, මරදානේ රත්න, මහරගම සරසවිය, ගම්පහ සරසවිය, මැකලම්, යන පොත් හල්වලද අනුගමන කළේය.

පොත් ලාබෙට දීමේ සංකල්පයේ නිර්මාතෘ වින්සන්ට් පණ්ඩිත මහතා ප්‍රසිද්ධියට අකමැති නිහඬ ප්‍රතිපත්ති අනුගමනය කළ උසස් පරිපාලන නිලධාරියෙකි. ලංකා විශ්වවිද්‍යාලයේ සංස්කෘතික ගෞරව උපාධිධාරියෙකි. එසේම සාහිත්‍ය මණ්ඩලයේ ලේකම් කේ. ජී. අමරදාස මහතා කළ අමරණීය සේවය අගය කරමු.

1958 පණ්ඩිත මහතා අහුංගල්ලේ අරුණතිලක මහාතා සංස්කරණය කළ “නව පද්‍ය මාලා” කාව්‍ය සංග්‍රහය එකල පළ වූ විශිෂ්ට නූතන පද්‍ය සංග්‍රහය ලෙස මීමන ප්‍රේමතිලක සිළුමිණ පුවත්පතින් අගය කර තිබුණි. “නව පද්‍ය මාලා” කෘතියේ නව මුද්‍රණයක් නිකුත් කිරීම මැනවයි අනුෂා ගෝකුල ප්‍රනාන්දු සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරියගෙන් අපි ඉල්ලා සිටිමු.

හැටේ දශකයේ පාඨකයා තුළ සාහිත්‍ය රසය ඇති කොට අඩු මිලකට ලබා දීමේ අරමුණින් ගුණසේන සමාගම “ලිහිණි පොත්” නමින් කුඩා පොත් පෙළක් හඳුන්වා දී ඇත.

1953 ඔක්තෝබර් 10 වැනි දා උපත ලැබූ “ලිහිණි පොත්” ලෝ ප්‍රකට “පෙන්ගුවීන්” පොත් මාලාව සිහි කැඳවයි. එකල ගුණසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඇම්.ඩී.සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව බිහි වූ “ලිහිණි” පොත් පෙළට එවකට සිටි ප්‍රකට ලේඛකයන්ගේ මෙන්ම ආධුනික ලේඛකයන් ගේ ද කෘති ඇතුළත් වුහ. 1953 සිට 1960 දක්වා ලිහිණි පොත් 175 ක් බිහි වී තිබිණි. එදිරිවීර සරච්චන්ද්‍ර, ඩේවිඩ් කරුණාරත්න, හියුබට් දිසානායක, මුල්ලපිටියේ කේ.එච්.ද සිල්වා, හේමපාල මුනිදාස, පී.බී. අල්විස් පෙරේරා උඩකැන්දවල සරණංකර හිමි, ගුණදාස අමරසේකර, මඩවල එස්. රත්නායක, සයිමන් නවගත්තේගම, කේ.ඩී.කේ.වික්‍රමසිංහ, ලාල් ප්‍රේමානන්ද මැල්, ජිනදාස ලේල්වල, ආදීන්ගේ පොත් ද මේ අතර වූහ. පොතක මිල රු. 1යි ශත 50කි.

එදා මෙදා සාහිත්‍ය සම්මාන ප්‍රතික්ෂේප කළ ලේඛකයෝ ගැන ද අසන්න ලැබේ. 1960 වසරේ “න්‍යාය ප්‍රවේශය හා න්‍යාය හෝඩිය, ලියූ මහාචාර්ය කොටහේනේ පඤඤාකිත්ති හිමි 1961 වර්ෂයේ “කාන්තාව හා සමාජය” කෘතිය ලියූ

මුල සිටම පාඨකයාගේ කියැවීමට හා රසවින්දනය උසස් කිරීම අරභයා ප්‍රකට “පෙන්ගුවීන්” ලාබ පොත් මුද්‍රණය අනුගමනය කරමින් ප්‍රකට ලේඛක

කිරිවත්තුඩුවේ පඤඤාසාර හිමි ද 1960 දශකයේ “ගුරුළුවත” ලියූ ගුණදාස අමරසේකර ද, 1983 දී “මාංචු” කෙටිකතා සංග්‍රහය ලියූ ජයතිලක කම්මැල්ලවීර ද 1991 දී ‘පරාභවය” නවකතාව ලියූ එම්.ඒ. සෙනෙවිරත්න ද මේ අතර වෙති.

සාහිත්‍ය සම්මාන වැඩි ගණනක් ලැබූ කේ. ජයතිලක මහතා “ලක්බිම” ඉරිදා සංග්‍රහයට 2005 දී ලියූ ලිපියක කියා සිටියේ “සාහිත්‍ය සම්මාන කියා දෙයක් නැහැ. ඇත්තේ සාහිත්‍ය තෑගි කියා” බව ය. ඔහු තවදුරටත් මෙසේ ද කියා ඇත.

“සාහිත්‍ය සම්මාන” යන යෙදුම මා කිසි දි‍නක භාවිත කරන්නේ නැත. සාහිත්‍ය මණ්ඩලය ඇති කළ මුල් අවධියේ කලින් වර්ෂයේ ඒ ඒ විෂයන්ගේ ලියැවුණු හොඳම පොත් සඳහා තෑගි පිරිනමනු ලැබිණ. පසු කාලයක ඒවාට “සාහිත්‍ය සම්මාන” යන මහේශාක්‍ය නාමය මුලින් ම ආරූඪ කරන ලද්දේ ග්‍රන්ථ ප්‍රකාශකයන් විසිනි. ඒ වෙළෙඳ උපක්‍රයක් වශයෙනි. නොබෝ කලකින් ම ලේඛකයොත් වැඩි ගෞරුත්වයක් සහිත මේ උප පදයන්ගෙන් ආකර්ෂණය වී ගියහ. කෙසේ වුවද අදත් මට නම් සිතන්නේ මුදලින් මනිනු ලබන බුහුමන සම්මානයක් නොවන බව ය.”

ඡායාරූපය පිටපත් කිරීම - ලාල් සෙනරත් 

Comments