
සිම්බාබ්වේ දේශයේ සමස්ත ජනගහනයෙන් තුනෙන් එකක් දැඩි ආහාර හිඟයකින් පීඩා විඳින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා නිවේදනය කළේය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (World Food Program) සමඟ එක්ව වැඩිදුරටත් නිවේදනය කර සිටියේ එම ජනතාවට හැකි ඉක්මනින් ආහාර ලබා දීමට ආධාර අපේක්ෂා කරන බවයි.
සිම්බාබ්වේ යනු ඒකාධිපති දේශපාලන වියරුවක් හේතුවෙන් අමුඅමුවේ විනාශයට පත් වූ සුන්දර දේශයකි. එහි දීර්ඝ කාලීන ජනාධිපතිවූ රොබට් මුගාබේ 2017 වසරේ නොවැම්බර් මස බලයෙන් පහ කරන තුරුම සිම්බාබ්වේ දේශය විනාශය කරා තල්ලු කරමින් සිටියේය.
අහස උසට ඉහළ නැඟි උද්ධමනය හමුවේ සිම්බාබ්වේ ඩොලරය මිලක් නැති හුදෙක් කඩදාසියක් පමණක් බවට පත් වෙද්දී ජනතාව කිසිවක් කරකියාගත නොහැකිව පසුවූහ.
2017 වසරේ අග භාගයේදී මුගාබේ බලයෙන් පහ කර එමර්සන් මනන්ගග්වා බලයට පත් වුවද දශක දෙකකට ආසන්න කාලයක් පුරා වළපල්ලට ගමන් කළ රටක් යළි ආපසු ගොඩට ඇදීම පහසු කරුණක් වූයේ නැත. මේ වන විට එරට ජනතාවගෙන් බහුතරයක් ආහාර අහේනියකින් පීඩා විඳින්නේද ඒ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙසිනි.
මීට අමතරව මේ වන විට සිම්බාබ්වේ දේශය පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්ද උද්ගත වී තිබේ. ඒ හේතුවෙන් වගාබිම් විනාශ වී තිබේ. ආහාර හිඟය වර්ධනය වීමට එයද ප්‍රබල හේතුවක් වී තිබේ. අපේ රටේ මෙන්ම සිම්බාබ්වේද ප්‍රධාන බල මූලාශ්‍රය වන්නේ ජලයයි. වර්ෂාපතනය අවම වීම නිසා බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය සිඳී යෑමෙන් විදුලි බල උත්පාදනයද මේ වන විට ගැටලුවක් බවට පත්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ රටවලින් ආධාර ඉල්ලා ඇත්තේ එලෙස බීමට ජලය හෝ ආහාරයට කිසිවක් නැති අසරණ ජනතාවට සහන ලබා දීමටය.
මේ වසර ආරම්භයේදී මධ්‍යම අප්‍රිකාවට කඩා වැදුණු ඉඩා සුළි කුණාටුවද සිම්බාබ්වේ ජනතාවට පීඩාවට පත් කළේය. සුළි කුණාටුව හේතුවෙන් 570000ක් ජනතාව අවතැන් වූ අතර එම ජනතාවගේ විනාශ වී ගිය නිවාස වෙනුවට නව නිවාස ඉදි කිරීමට රජය ආරම්භ කළ වැඩපිළිවෙළ මේ දක්වාද අවසන් වී නැත. එහෙත් මේ වන විට ජලගැලීමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම පසෙක දමා නියඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැපයීම සඳහා මුදල් වෙන් කිරීමට එරට රජයට සිදු වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සිම්බාබ්වේ දේශයට ලබා දීම සඳහා ඩොලර් මිලියන 294ක ණය මුදලක් අනුමත කර තිබුණද මේ වන විට උද්ගතව ඇති තත්ත්වය අනුව එම මුදල ප්‍රමාණවත් නොවන බවද ප්‍රකාශ කර තිබේ. මධ්‍යම අප්‍රිකානු රටවලට සාගතය යනු බොහෝ ආසන්න අත්දැකීමකි. මීට පෙර අනූව දශකයේදී සෝමාලියාව සහ රුවන්ඩාව මෙම කනගාටුදායක සාගත තත්ත්වයේ කටුක අත්දැකීම ලැබුවේය. දැන් සිම්බාබ්වේ ජනතාව තමන්ට විදේශවලින් ආහාර ලබා දෙන තුරු කුසගින්න දරා ගැනීමට උත්සාහ දරමින් සිටිති.
එක් රැයකින් රටක් ගොඩනැඟිය නොහැකිය. එය සැබෑවකි. එමෙන්ම එක් රැයකින් රටක් විනාශ කිරීමටද නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදයේ වෙස් වළාගත් ඒකාධිපතිවාදය සිම්බාබ්වේ ජනතාව රැවටූවේය. ඉන්පසු එරට ආර්ථිකය මුළුමනින්ම විනාශ කර දැමුවේය. දැන් එරට ජනතාවගේ එදා වේලද අහිමි කර තිබේ. කනගාටුව වන්නේ මේ අසරණ ජනතාව පීඩාවට පත් කිරීමට මේ මොහොතේ සොබාදහමද එක් වීමය.
කෙසේ වුවත් මිනිසත්කම මත ලෝකයේ සෙසු රටවල් ඉක්මනින්ම එරට ජනතාවගේ කුසගිනි නිවීමට කටයුතු කරනු ඇත.