
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අගය සියල්ලෝ දනිති. එහි අගයන් සියල්ලෝ ඉල්ලා සිටිති. ඒ අන් කිසිවක් නිසා නොව ප්‍රජාතන්ත්‍රවාදී සමාජය සියල්ලන්ගේ අයිතීන්වලට ගරු කරන හා සමාන අගයක් දෙන බැවිනි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නිර්මාණය කිරීම හිතන තරම් පහසු කාර්යයක් නොවේ. දියුණු මිනිසත්කම එවැනි සමාජයක ප්‍රධාන අංගයක් වීම ඊට හේතුවයි. එමෙන්ම දේශපාලනය සඳහා මැදිහත් වීමට ”ජනතාවට ඇති හැකියාව ද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රධාන අංගයකි.
සෘජු ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතා දියුණු ලක්ෂණයක් ලෙස සැලකේ. ඒ සිය පාලන කටයුතු සඳහා හා නීති සම්පාදන කටයුතු සඳහා සෘජුව මැදිහත් වීමේ අවස්ථාව ජනතාවට හිමි වන බැවිනි. එම සෘජු ප්‍රජාතන්ත්‍රවාදය මළ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස වත්මන් ලෝකය හඳුන්වයි. ඒ අත උස්සා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අසීරු කටයුත්තක් වන බැවිනි. කෙසේ නමුත් වත්මන් ලෝකයේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස සැලකෙන ස්විට්සර්ලන්තය තුළ" සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය",, පිළිබඳ අසන්නට ලැබේ . එය හඳුන්වනු ලබන්නේ( Landsgemeinde) ලන්ස් ගෙමයින්ඩෙ ලෙසය. ස්විට්සර්ලන්තයේ ප්‍රාන්ත 26න් පළාත් දෙකක ම සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ක්‍රියාත්මක වේ. ඒ ඇපෙන්සෙල් හා ග්ලාරෑස් යන පළාත් දෙකයි. දවසක අසා පමණක් තිබු මේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය දෑසින් දැකගැනීමේ අවස්ථාව ස්විට්සර්ලන්තයේ ග්ලාරෑස්හි දී උදා විය.
ස්විට්සර්ලන්තයේ බොහෝ පළාත්හි ලන්ස් ගෙමයින්ඩෙ ක්‍රියාත්මක වුවද වර්තමානය වන විට එය ඉහත පළාත් දෙකට පමණක් සීමා වී තිබේ. (ග්ලාරෑස්හි වසර ගණනාවක් ජීවත් වන මට සෑම වසරකම සියසින් එය නැරඹීමේ අවස්ථාවද හිමි වීම මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවකි. )
ලන්ස්ගෙමයින්ඩෙ පළමු වරට ක්‍රියාත්මක වූ වකවානුව පිළිබඳ නිශ්චිත තොරතුරු නැති වුවත් එහි ඉතිහාසය දහතුන් වන සියවස දක්වා දිවයයි. ග්ලාරෑස්හි පළමු ලන්ස්ගෙමයින්ඩෙ පැවැත්වූයේ යැයි සැලකෙන්නේ 1282 දීය. එම හමුව හඳුන්වා ඇත්තේ ,"පිරිමින්ගේ නගර සභාව" ලෙසය. කෙසේ නමුත් නිල ලන්ස්ගෙමයින්ඩෙ පැවැත්වූ වසර ලෙස සැලකෙන්නේ 1387 දීය. ලන්ස්ගෙමයින්ඩෙ ක්‍රියාත්මක වන පළාත්හි මහ ඇමතිවරයා හඳුන්වනු ලබන්නේ ලන්ඩම්මාන්(landemmann) ලෙසය. ඔහු තෝරා ගනු ලබන්නේ ද ලන්ස්ගෙමයින්ඩෙ හිදීය.
සෑම වසරකම මැයි මස පළමු සතියේ ඉරු දින ලන්ස්ගෙමයින්ඩෙ පැවැත්වේ. එය පැවැත්වෙන ස්ථානය හඳුන්වන්නේ ලන්ස්ගෙමයින්ඩෙ ප්ලට්ස් (lands gemaeinde Platz) ලෙසය. අතීතයේ සිට සෑම වසරකම එම ස්ථානයේ ලන්ස්ගෙමයින්ඩෙ පැවැත් වූ බව සැලකේ. ඡන්ද අයිතිය හිමි සෑම ග්ලාරෑස් වැසියෙක්ම එම ස්ථානයට පැමිණෙයි. ඒ සඳහා ගෝලාකාර ලෙස සැකසූ මණ්ඩපයක් ඉදි කෙරේ.
බොහෝ විට ලන්ස්ගෙමයින්ඩෙහිදි ප්‍රධාන අාරාධිතයා වන්නේ ස්විට්සර්ලන්ත ෆෙඩරල් රජයේ අමාත්‍යවරුන් පස් දෙනාගෙන් එක් අයෙකි. පෙරවරු නවයට පමණ පළාත් පාලිමේන්තුවේ (Rathaus) රත්හවූස් සිට දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින්, විනිසුරුවන් ඇතුළු සියලු ආරාධිතයෝ පාගමනින් ලන්ස්ගෙමයින්ඩෙ ප්ලට්ස් වෙත ගමන් පැමිණෙති. ඔවුන් පැමිණෙන්නේ ඒ එන මාර්ගය දෙපස රැඳී සිටින ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර මැදය.
නිල ආරම්භය
ලන්ස්ගෙමයින්ඩෙ නිල වශයෙන් ආරම්භ කරනු ලබන්නේ ඉන් අනතුරුවය. එම භූමියේ ඉදි කරන විශේෂ කුඩා අට්ටාලයකට ගොඩ වන ලන්ඩම්මාන් හෙවත් මහ ඇමති ඡන්ද ආරම්භක කටයුතු සඳහා මුලසුන හොබවයි. එතැන් සිට සියලු කටයුතු පාලනය කරනු ලබන්නේ වසරක කාලයක් මහඇමති ධූරය දැරූ ලන්ඩම්මාන්ය. ලන්ස්ගෙමයින්ඩෙ නිල ආරම්භය සදහා ඔහු සියලු දෙනාගෙන් ප්‍රතිඥාවක් ලබා ගනියි. ඒ සඳහා සියල්ලන් අත් ඔසවා සිය අනුමැතිය ලබාදිය යුතුය
ඉන් පසු ඔහු එදිනට නියමිත න්‍යාය පත්‍රය ප්‍රසිද්ධ කරයි. ලන්ස්ගෙමයින්ඩ්හි මුලින්ම තෝරා ගනු ලබන්නේ විනිසුරුවරු ය. මහ ඇමතිවරයා තෝරා ගනු ලබන්නේ ඉන් පසුවය. ග්ලාරෑස්හි ප්‍රාන්ත රජය අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විතය. ඉන් එක් අයෙකු ලන්ඩම්මාන්,(මහ ඇමති) ලෙස පත් කරගැනීම මෙහිදී සිදු වේ.
ඡන්ද විමසීම
වසරක කාලයක ලන්ඩම්මාන් ලෙස කටයුතු කළ පුද්ගලයාට දෙවන වරට එම ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව හිමි වන අතර එය යෝජනාවක් ලෙස ලන්ස්ගෙමයින්ඩෙ වෙත ඉදිරිපත් කළ යුතුය. ඒ සදහා ජනතාවගේ බහුතර කැමැත්ත ලැබීම අනිවාර්ය වේ. එසේත් නැති නම් මීළඟ ලන්ඩම්මාන් ඔහු විසින් ලන්ස්ගෙමයින්ඩෙ වෙත ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව ඊළඟ ලන්ඩම්මාන් ඡන්දෙන් පත්කරගනු ලැබේ.
එතැන් සිට ඡන්ද කටයුතු පාලනය කරනු ලබන්නේ ඔහු විසිනි. මෙතෙක් සිටි ලන්ඩම්මාන් තමන්ගේ බලය නව ලන්ඩම්මාන් වෙත පිරිනැමීම සිදු කරන්නේ ඔහු සතු විශාල කඩුවක් නව ලන්ඩම්මාන් වෙත පිරිනැමීමෙනි.
එතැන් සිට එකින් එක නීති කෙටුම්පත් හා අණපනත් ලන්ඩම්මාන් සභාවට ඉදිරිපත් කරනු ලැබේ. එම නීති කෙටුම්පත් සඳහා පක්ෂ හා විපක්ෂ පුද්ගලයන්ට සිය අදහස් පළ කිරීමේ අවස්ථාව ඡන්දය විමසීමට පෙර හිමි වේ. උණුසුම්ව හා විවාදාත්මක නීති කෙටුම්පත් සම්පාදනය කිරීමේදී ඇතැම් විට විශාල පිරිසක් අදහස් පළ කිරීමට ඉදිරිපත් වීම විශේෂත්වයකි. සිය අදහස් කෙටියෙන් පළ කරන ලෙස කීමට හා සිය අදහස් පළ කිරීමේ පුද්ගලයන් සංඛ්‍යාව සීමා කිරීමේ බලය ලන්ඩම්මාන් සතුය.
"දැන් අපි ඡන්දයට සූදානම් වෙමු" යැයි ලන්ඩම්මාන් කීමෙන් පසුව සියල්ලෝ සිය අසුන්වලින් නැඟී සිටිති.
" මෙම පනතට පක්ෂ අය මුලින්ම අත උස්සා ඡන්දය ප්‍රකාශ කරන්න" යැයි ලන්ඩම්මාන් ඉල්ලා සිටි. අනතුරුව අවස්ථාව හිමි වන්නේ ඊට විරුද්ධ අයට ජන්දය දීමේ අවස්ථාවයි. ඒ සඳහා නිකුත් කළ ඡන්ද හිමිකම් කාඩ්පත පෙන්වීම ද විශේෂත්වයකි. අදාළ නීති කෙටුම්පත සම්මත වීම හෝ සම්මත නොවීම ප්‍රකාශයට පත් කරන්නේ ද ලන්ඩම්මාන් විසිනි. ඡන්දය ගණන් කිරීම සඳහා විශේෂ විධි ක්‍රමයක් නැති අතර ඇසට පෙනෙන ආකාරයට බහුතරය තීරණය කිරීම මෙහිදී සිදුවීම සුවිශේෂීය. ඒ අනුව ,,"මෙම නීතිය වැඩි ඡන්දයෙන් සම්මත වුණා" එසේත් නැත්නම්" මෙම නීතිය ප්‍රතික්ෂේප වුණා"යයි ලන්ඩම්මාන් සිය අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කරයි.
හැම විටම සාධාරණ නෑ
ලන්ඩම්මාන්ගේ තීරණ හැම විට සාධාරණ නොවන බව ඉතිහාසය සාක්ෂි දරයි. මීට දශක දෙකකට පෙර අගවිනිසුරු තෝරාගැනීමේ ඡන්දයේ දී ජනතාව වැඩි කැමැත්තක් දැක්වූ පුද්ගලයා වෙනුවට ඊට අඩු ජන්ද සංඛ්‍යාවක් ලැබූ පුද්ගලයකු පත් කිරීමේ අවස්ථාව මින් කැපී පෙනේ. කෙසේ වෙතත් තමන්ට තීරණයක් ගැනීමට නොහැකි අවස්ථාවක දී සිය අමාත්‍ය මණ්ඩලයේ සගයන්ගේ සහාය පැතීමේ බලය ද ඔහුට හිමි වේ. ඒ අනුව තීරණාත්මක ඡන්දවලදී අදාළ අට්ටාලයට ගොඩ වන අමාත්‍ය මණ්ඩලය ඡන්දය අනුමාන ලෙස ගණන් කිරීමේ කටයුතු සඳහා එක් වේ.
ආශීර්වාද වැස්ස
ග්ලාරෑස්හි සෑම ලන්ස්ගෙමයින්ඩෙ දිනයකදීම වැසි වැසීම සාමාන්‍යයෙන් සිදු වේ. ඒ අනුව බොහෝ විට ජනතාව පැමිණෙන්නේ වැහිකබා ඇඟලා හෝ කුඩ අතැතිවය. ලන්ස්ගෙමයින්ඩෙ ඉතිහාසය තුළ හිම පතිත වූ අවස්ථාව වාර්තා වන්නේ මේ වසරේ දීය. එමෙන්ම ප්‍රථම ලන්ඩම්මාන් ලෙස කාන්තාවක් තෝරා පත් කරගත් පළාත ලෙසද ග්ලාරෑස් ඉතිහාසයට එක් වේ. 2008 වසරේ සිට 2010 වසර දක්වා Marianne Dürst මහත්මිය ලන්ඩම්මාන් කාන්තාව ලෙස කටයුතු කළාය.
ලන්ස්ගෙමයින්ඩෙ ඉතිහාසය පුරාම පිරිමින්ගේ ඡන්දපොළ ලෙස ක්‍රියාත්මක වූවකි. එහිදී කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි වූයේ 70 දශකයේ මුල් භාගයේ දීය. කාන්තාවට ඡන්දය ලබා දීමේ අයිතිය පිළිබඳ සටනේදී බොහෝ පිරිමින් කියා ඇත්තේ කාන්තාවන් සිටිය යුත්තේ කුස්සියට මිස දේශපාලනයට නොවන බවය. නමුත් මේ තත්ත්වය ද බොහෝ දුරට වෙනස් වී තිබේ.
විශේෂ කෑම
ලන්ස්ගෙමයින්ඩ පැවැත්වෙන දිනයේ දී ග්ලාරූස් හී සෑම ආපනශාලාවක ම විශේෂ ආහාරයක් සකස් කරනු ලැබේ. එය හඳුන්වනු ලබන්නේ landsgemeinde menu ලෙසය. එම වෙනුවට විශේෂ සොසේජසයක් අයත් වේ.
එම සොසේජසය නිෂ්පාදනය කිරීමේ බලය ග්ලාරූස්හි මස් නිෂ්පාදනය කරන කඩ පහකට හිමි වන අතර අදාළ දිනයේදී තිස්දාහකට අධික සොසේජස් ප්‍රමාණයක් අලෙවි වන බව කියවෙයි.
ඇපන්සෙල් ලන්ස්ගෙමයින්ඩෙ ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙන පිරිමින් කඩුවක් ඇතතිව සිටීමය. කඩුව ඡන්ද පත්‍රිකාවට සමානය. නමුත් ඡන්දය ප්‍රකාශ කරන ස්ථානයට පැමිණෙන සියලු කාන්තාවන් ඒ සඳහා ඡන්ද පත්‍රිකාව රැගෙන ආ යුතුය.
ලන්ස්ගෙමයින්ඩෙ සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ ඇතැම් දේශපාලන විචාරකයන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. ඊට හේතුව ඔවුන්ගේ අදහසට අනුව එය ජනතාවගේ සැබෑ ජනමතය පෙන්නුම් කරන්නක් නොවේ.
මේ නිසා ඇතැම් ඡන්දදායකයන් දේශපාලන අධිකාරියේ සෘජු උදහසට ලක් වීමේ අවස්ථා ද ඇති බවද ඔවුහු පෙන්වා දෙති. ස්විට්සර්ලන්තය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුවද තමන්ගේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය අහෝසි කිරීමට එම පළාත් දෙක සූදානම් නැත. ඒ සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින්නේ ආඩම්බරයකි .එක්තරා ආකාරයකට පැරණි ඡන්ද ක්‍රමය මෙම පළාත් සඳහා සංචාරකයින් ඇදගැනීමේ. උත්සව දෙකක් ලෙස ද පවත්වාගෙන යනු ලැබේ.
සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය දුටුවේ යැයි යන සතුට මහද ඇත.
සුනේත්‍රා ඇතුගල්පුර ස්විට්සර්ලන්තයේ සිට