සියුම් ම කලාවේ ගෙතුණු නත්තල | Page 2 | සිළුමිණ

සියුම් ම කලාවේ ගෙතුණු නත්තල

නත්තල වූ කලි ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් ආගමික උත්සවයකි. ගව ලෙනක උපත ලබා ලෝක සත්ත්වයාට විමුක්තිය ලබාදීමට සිය ජීවිත කාලය ඇප කැප කළ උන් වහන්සේ මිනිස් වර්ගයා වෙනුවෙන්ම සිය ජීවිතය පුද කළහ. ආගමකින් අපේක්ෂා කරනුයේ ආත්මය ගලවා ගැනීමට සාධු සම්මත ආචාර ධර්මමය පිළිවෙතක නිරතවීමය. ලෝකයේ විශාල ජන කොටසක් අදහන කිතු දහම අපට දායාද කෙරුණේ පෘතුගීසි ජාතිකයන්ගේ ලංකාවතරණයත් සමඟ ය. ඔවුන්ගෙන් පසු ලන්දේසි හා ඉංග්‍රීසි ආදි ජාතිකයන්ගේ පැමිණීමත් සමඟ කිතු දහම මුහුදුබඩ ප්‍රදේශවලට පමණක් සීමා නොවී රට මැදට ද අවතීර්ණ වූයේය. නරේන්ද්‍රසිංහ බඳු සිංහල රජවරුන්ගේ අනුග්‍රහය පවා කිතු දහම ප්‍රචලිත කිරීමට ලැබුණු බව ප්‍රකටය‍. බොහෝ ස්වදේශිකයෝ කිතු දහම සාදරයෙන් වැලඳගෙන ඇදහීමට පෙලඹුණහ.

එදා සිට මෙරට කිතු දහම අදහන ජනතාව නත්තල් උත්සවය අසිරිමත් ලෙස පැවැත්වීමට පෙලඹුණහ. නත්තල ආගමික උත්සවයක් වුව ද එහි සංස්කෘතිකමය මුහුණුවරක් ද දැකිය හැකිය. මෙදින බොහෝ කිතුනු නිවෙස්වල ළමයින් මෙන් ම වැඩිහිටියන් ද නි‍ෙවස සරසන අයුරු දක්නට පුළුවන. ගවලෙන හා ‍එ‍ඬේරුන් ද, නත්තල් ගසද සුලබ ලෙස දැකිය හැකි ය.

නත්තල තේමාව කොට ගෙන නවකතා හා කෙටිකතා රචනා කිරීමට ද විශ්ව සාහිත්‍යයේ ප්‍රචලිත නවකතා හා කෙටිකතාකරුවෝ පෙලඹුණහ. ඔවුන් අතර චාර්ල්ස් ඩිකන්ස්, පර්ල් එස්. බක්, රැල්ෆ් එෆ් විල්සන්, ජෝන් ලන්ඩන්, පී.ඊ. ඇඩොටේ අඩ්ඩො, මාර්ක් ට්වේන් යන ලේඛක ලේඛිකාවන් ප්‍රධානය. මේ හැරුණු විට විදේශීය පුවත්පත් සඟරාවල මෙන් ම සිංහල පුවත්පත් සඟරාවල ද නත්තල තේමාව ‍කර ගත් කතා රැසක් පළ වී ඇත. දිගු කලක සිට නත්තල් සමයෙහි අන්තර්ජාලයෙහිද නත්තල් කෙටිකතා රැසක් පළ වී තිබේ. බටහිර කෙටිකතා ක්ෂේත්‍රයෙහි නත්තල හා බැඳුණු කෙටිකතා රැසක් පළවී ඇතත්, සිංහලයෙන් නත්තල් කෙටිකතා සංග්‍රහ පළවී ඇත්දැයි නොදනිමි. එහෙත් කෙටිකතා ක්ෂේත්‍රය ගැන දැඩි අවධානයක් යොමු කරමින් සිටින මාහට එබඳු කෙටිකතා සමුච්චයක් පළවී තිබෙනු දැකිය නොහැකි විය. කෙටිකතා කලාවෙහි අනන්‍යතා ලක්ෂණ රැක ගනිමින් ප්‍රතිභාපූර්ණ කෙටිකතාකරුවෙකුට නත්තල් කෙටිකතා රචනා කිරීමට බාධාවක් නැත. හුදු ආගමික ප්‍රචාරක ස්වරූපයෙන් ඈත් වී එරික් ඉලයප්්ආරච්චි, කමල් පෙරේරා, සිරිල් එඬේරමුල්ල බඳු ලේඛකයන්ට වුව ද එබඳු කෙටිකතා රචනා කළ හැකි ය.

අද්‍යතන සමාජයට හැම අතින් ම අවශ්‍ය මානව ධර්මතා වන සහයෝගය, සහජීවනය, මානව හිතවාදිත්වය, අන්‍යයන්ට කරුණාව, දයාව, අනුකම්පාව දැක්වීම යන අතුරු තේමා ඉස්මතු කරමින් නත්තල් කෙටිකතා රචනා කිරීමට ඉහත නම් සඳහන් කළ බටහිර ලේඛක ලේඛිකාවෝ පෙලඹුණහ. නොබෙල් ත්‍යාගලාභී ලේඛිකාවක වන පර්ල් එස්. බක් ගේ ‘පව‍ුලේ නත්තලක්’ (A Family Christmas) කෙටිකතාව එවැන්නකි‍. දරුවන්ගෙන් ඈත්වූ මවුපිය යුවළක් පිළිබඳ පුවතක් මේ කතාවෙන් නිරූපණය වේ. රොබට් නම් මහල්ලාගේ චරිතය කේන්ද්‍ර කොටගත් මේ කෙටිකතාවෙන් ලේඛකයා නිරූපණය කර ඇත්තේ නත්තල් දිනට පෙර දින රැයෙහි මෙනෙහි කරන සිය අතීතය හා බැඳුණු සිදුවීමකි. එකල ඔහු පසළොස්වන වියේ පසු විය. මම පියාට අමතමින් පැවසූයේ ගවයන්ගෙන් කිරි දෙවීමේ කාර්යයට පුතාගේ සහයෝගය ලබා ගත යුතු බව ය. මෙය කන ගැසුණු මොහොතේ සිට තරුණ රොබට් පසු දින සිට පියාට උදව් කිරීමට අදිටන් කර ගනී. අලුයම වේලාසනින් නින්දෙන් පිබිදෙන ඔහු, අවශ්‍ය උපකරණ ද ගෙන ගව පට්ටියට ගොස් දෙනුන්ගෙන් කිරි දෙවීමට පෙලඹේ. පියා අවදි වී ගව පට්ටියට ගිය විට, පුතා දෙනුන් ගෙන් කිරි දොවා තිබෙන බැව් දැකීමෙන් පුදුමයට පත් වේ. මෙතැන් සිට ඔහු සිය සුපුරුදු නින්දට බාධා කරමින් අලුයම අවදි වී පොරෝනය පසෙකලා නිදිබර දෑස් දෙඅතින් පිසදමමින් පියාට සහාය වන්නට පටන් ගත්තේ ය‍. රොබට් කුඩා වියේ සිටම තුමාට නිසි ලෙස වටහා ගත නොහැකි දෑ අරබයා පියාගෙන් ප්‍රශ්න කිරීමට පෙලඹුණේ ය. ගව මඩුව ගැන ප්‍රශ්න කරන ඔහුට පියා ජේසු බිලින්දා ගැන ද තොරතුරු පැවසීමට පෙලඹෙයි.

“ජේසු ඉපදුණේ ගව මඩුවක. ඒ ගව මඩුවට එ‍ඬේරුන් ආවා... රජවරු වටිනා තෑගි බෝග අරගෙන ඇවිත් කියල ජේසුට වැන්දලු...”

කුඩා කල සිටම නත්තල ගැන ඔහුගේ සිතෙහි තැන්පත්ව ඇත්තේ මෙබඳු සිතිවිලි ය. ජේසු තුමාගේ උපත සිදුවූ ගව මඩුව සිහිවීම සඳහා පියාට දෙනු ලබන විශේෂ ත්‍යාගයක් ලෙස එතැන් සිට සියලු දෙනාටම පෙර නින්දෙන් පිබිද, කිරි දොවා තබා සියල්ල නිමවා පැමිණ නිදි ඇඳෙහි හිමින් සීරුවේ වැතිරී සිටීමය. රොබට්ට අවශ්‍ය වූයේ එබඳු ත්‍යාගයකින් පියා විස්මයට පත් කිරීමය. එහිදී පියා හා පුතා අතර ඇතිවන සංවාදය සුහදශීලීය ළගන්නාසුලු ය.

“රොබ්... පියා ඔහු ඇමතීය.

ඇයි තාත්තේ

පුතා නුඹ...!

පියාට කියා ගත හැකි වූයේ එපමණකි. ඔහු මැඩ ගනිමින් කතා කළේ ය.

ඔබ මා රැවට්ටුවා නේද?

පියා තම ඇඳ අද්දරටම පැමිණ සිටී.

තාත්තේ... ඒ මගෙන් තාත්තට නත්තල් තෑග්ගක්.”

සෙනෙහස හා ආදරය උතුරා යන අයුරින් අවස්ථාව නිරූපණය කිරීමේ කුසලතාවක් ලේඛිකාව විසින් ප්‍රකට කෙරේ. දරුවන්ට කුඩා කාල‍ෙය් සිටම යහපත් ගුණධර්ම පිළිබඳ ප්‍රබල හැඟීමක් ජනනය වන අයුරින් කතාව රචනයේ ප්‍රතිභාවක් ප්‍රකට කර ඇත.

බිලිඳු ක්‍රිස්තු කුමරුගේ උපත තේමාව කරගෙන රැල්ෆ් එෆ් විල්සන් විසින් The Inn keeper’s House (තානායම්කරුගේ කතාව) නමැති කෙටිකතාව රචනා කරන ලදී.‍ කතා පුවත විකාශනය වන්නේ නවාතැන් පොළක් තේමා කොටගෙනය. කථකයා විසූයේ පවුල් හතර පහකට වුවත් ජීවත්විය හැකි දැවැන්ත නි‍ෙවසකය. එය ඔහුට හිමිවූයේ පිය උරුමයෙනි‍. කථකයාගේ සීයා ජොසුවා දරුවන් 14 දෙනකු ඇති දැඩි කර ලූයේ එම නි‍ෙවසෙහිය. එහෙත් ‍මහලු වියට පත් කථකයා ගේ ද දරුවන් ලොකු මහත් වී නි‍ෙවස හැරදා ගිය විට, ඔහු සිය බිරිය වූ රේචල් සමඟ හුදෙකලා වෙයි. ඔවුහු සිය විශාල නිවසේ කාමර කීපයක් අමුත්තන් කීප දෙනෙකුට කුලියට දීමට පෙලෙඹෙති. සංගණනයක් හේතු කොට ගෙන නගරයේ තානායම්, නවාතැන්පොළවල් මෙන් ම ලැගුම්හල් ද පිරී ඉතිරී යන්නට විය. පවුල් කීපයක් ම එක කාමරයක නතර කිරීමට මේ නිසා ඔහුට සිදු වේ. ඔවුන් දෙදෙනා සඳහා වෙන් කරගත් කාමරයේ කොටස් පවා නවාතැන් සොයාගෙන පැමිණි අයට දීමට සිදු වේ. කථකයාට එක් රැයක කීප වරක් ම නින්දෙන් අවදි වීමට සිදුවේ.

“අනේ කනගාටුයි කාමර නැහැ... කාමර නම් නැහැ... හෙට උදේ එන්න.... මේ විදිහට කියලයි මිනිසුන් හරවා යැවීමට කථකයා පෙලඹුණේ. මිනිස්සු කර කියා ගත හැකි දෙයක් නොමැතිව අගුපිල්වල ගුළිිවෙලා සිටීමට පවා පෙලඹුණහ. ඔවුහු කෙඳිරිගාමින් ඈනුම් අරිමින්... දුක් සුසුම් ‍හෙළමින් ඉන්නට පෙලඹුණහ. එහෙත් ගැබිනි කාන්තාවක් සමඟ පැමිණ ජෝසප් නමැත්තට... කොතැන හෝ තැනක නවාතැන් සෙවීමට ඔහුට සිදුවිය. පසුව ඔහු පිදුරු දමන මඩුවට ඔවුන් රැගෙන ගියේය. ගවයින් කිරි පට්ටි දෙසට පලවා හරින ඔහු ගවමඩුව දරු ප්‍රසූතිය සඳහා සුදුසු ස්ථානයක් බවට පත් කරයි.

“ගෑනු කෙනෙක් ඉන්නව... ටිකක් අමාරුයි... දරුවෙක් ලැබෙන්න...! සාරා නැන්දට සූදානම් වෙලා එන්න කියන්න. මම මෙතන ඉන්නම්... ඉක්මනින් එන්න කියන්න...” මම හුස්මක් ගැනීමට මොහොතක් නැවතුණා...”

මේරි නම් ඒ ගැබිනි කාන්තාව බිලි‍ඳෙකු බිහි කරයි. පිදුරු මඩුව දෙසට යන කථකයාට බිලිඳා වට‍කරගෙන එ‍ඬේරුන් සිටිනු දැකීමෙන් විස්මයට පත්වේ.

“කිලිටි දුගඳ හමන වැරහැලි ඇඳ සිටි මහලු එ‍ඬේරුන් අපිරිසිදු පිදුරු මඩුවේ බිම දණින් වැටී යාච්ඥා කරමින් සිටියා. වැඩි මහලු එ‍ඬේරා සිටියේ සුරදූතයින් සහ මෙසයියා ගැන ජෝසප්ට යම් දෙයක් ගැන පැහැදිලි කරමිනුයි... අනෙක් එඬේරුන් අතරේ සමහරුන් සිටියේ දෙඅත් එක්කොටගෙන හිස පහතට නවාගෙනයි. සමහර එ‍ඬේරු සතුටු කඳුළු වගුරුවනු දුටුවා...”

ඒ ජේසු බිලිඳු බව ජෝශප් ගෙන් දැනගත් කථකයා වැඳ වැටෙයි. මෙලෙස කෙටිකතාකරුවා ලෙස පෙළ ගස්වා විකාශනය කර ඇති අයුරු ළගන්නාසුලුය. යථාර්ථවාදී කලා නිර්මාණයක් අත්දැකීම හා බැඳුණු සිදුවීම් හා සංසිද්ධි චරිත කේන්ද්‍ර කොට ගෙන නිරූපණය කළ යුතු ය. එකිනෙක සිදුවීම් හේතු ඵල සම්බන්ධය තහවුරු වන අයුරින් විවරණය කිරීමට ද කෙටි කතා කරුවාගේ අවධානය යොමු විය යුතුවේ. විශ්වාසනීයත්වය හා අව්‍යාජත්වය නිර්මාණයකට ප්‍රවිෂ්ට වන්නේ එවිටය. කෙටිකතාවක් අපූර්ව නිර්මාණයක් වන්නේ එකී කලාත්මක ප්‍රයෝගවලින් පෝෂණය වීමෙනි. ‘තානායම්කරුගේ කතාව’ කෙටිකතාව ජේසු බිලිඳු උපත හා බැඳුණු සූක්ෂ්ම නිර්මාණයක් වන්නේ ද එහෙයිනි.‍

‍ජෝන් ලන්ඩන් විසින් අන්තර්ජාලයට මුදා හරින ලද කෙටිකතාවකි ‘බෝනික්කා’. නත්තල් දින මවුපිය නෑදෑ හිත මිතුරන් විසින් කු‍ඩා දරුවන්ට තෑගි කරන බෝනික්කකු පිළිබඳ අත්දැකීමක් මේ කතාවට පාදක වී ඇත. නත්තල උදාවීමට හෝරා කීපයක් තිබියදී මවක තම සිඟිති දියණියට බෝනික්කකු මිලදී ගැනීමට පෙලඹීම හා බැඳුණු අත්දැකීමක් මේ කතාවෙන් දරුවන්ගේ අව්‍යාජ සිතැඟි විවරණය වන අයුරින් නිරූපණය කිරීමට ජෝන් ලන්ඩන් පෙලඹෙයි. ළමා මනස පිළිබඳ යථාවබෝධයකින් යුතුව අත්දැකීම අපූර්ව නාට්‍යානුරූපී අවස්ථාවක් ලෙස මේ කතාවෙන් නිරූපණය කෙරේ. දියණියට බෝනික්කකු මිලදී ගැනීමට ගිය ඇයට පස්වන වියේ පසුවන දරුවකුගේ ළමා සිතැඟි හා බෝනික්කු ‍රැගෙන සිප වැලඳගන්නා අයුරුත්, පපුවට තද කරගෙන හිස අතගාමින් කුමක්දෝ මුමුනන අයුරුත් දැක බලාගත හැකිවේ. මහලු කත දරුවාගෙන් ඈත්වූ සැණින් ම කාන්තාව ඔහු සමීපයට ගොස් දරුවාගේ යම් යම් දේ ගැන ප්‍රශ්න කිරීමට පෙලඹෙයි.

“මේ වගේ බෝනික්කන්ට මගේ නංගි ගොඩක් ආසයි, ආදරෙයි. නංගි නත්තලට ගන්න හිටියෙ මේ බෝනික්කට තමයි. මේ නත්තලට මේ බෝනික්කව නත්තල් සීයා එයාට ගෙනවිත් දෙයි කියල එයා මඟ බලාගෙනයි සිටියෙ.”

නත්තල් දිනට ආසන්නයෙහි දරුවාට සිහිවන්නේ අකාලයේ ඔහු හැරදා ගිය සිඟිති දියණියයි. මරණය පිළිබඳ හැඟීමක් දරුවාට නැත. ඔහු කාන්තාවට පවසන්නේ ඇය විසින් කිසිසේත් බලාපොරොත්තු නොවුණු දෙයකි.

“දෙවියන් වහන්සේ මගේ නංගීව කැඳවා ගත්තා‍. තාත්තා කියනවා අම්මත් ඉතා ඉක්මනට දෙවියන් ළඟට යයි කියලා. ඉතිං මම හිතනවා මේ බෝනික්කිව අම්මා අත නංගීට යවන්න පුළුවන් වේවි කියලා...

දරුවා ගේ ශෝකාකූල හැඟීම් සානුකම්පික සංවේදනා ප්‍රකටවන අයුරින් එක් අතකින් නිරූපණය කරන අතරම අනෙක් අතට ‍කාන්තාව මුහුණ දෙන අනපේක්ෂිත ශෝකාකූලභාවය කෙටිකතාකරුවා දක්ෂ ලෙස නිරූපණය කරයි. දරුවාගේ මෙන් ම ගැහැනියගේ සිතැඟි එකවර ප්‍රකට වන අයුරින් නිරූපණය කිරීමට ලේඛකයා ප්‍රකට කරන විවේක බුද්ධිය අගය කළ යුතු ය‍. කුඩා දරුවා අම්මා අත... දෙවියන් සමඟ වෙසෙන නැගෙණියට බෝනික්කකු තෑගි කොට යැවීම ගැන සිතමින් ළතවූ අයුරු කුඩා දරුවන් ගේ ඇතුළු හද විනිවිද දැක යථාර්ථරූපී ලෙස නිරූපණය කිරීමට ලේඛකයා ප්‍රකට කරන නිර්මාණ කුශලතාවය ප්‍රශස්තය. කෙටිකතාව ජීවිතයේ සමීප රූපයක් බව තහවුරු කෙරෙන ආකාරයේ අපූර්ව කෙටිකතාවක් බව ‘බෝනික්කා’ විශද කර විවරණය කරන විට ප්‍රකට කෙරේ.

නත්තල් කෙටිකතා මඟින් බොහෝ බටහිර සාහිත්‍ය කරුවන් ‍විමසිලිමත් වූයේ මිනිසාට, දයාව, කරුණාව, ආදරය, සෙනෙහස හා මෛත්‍රිය ආදී මානව ධර්මතා මෙන් ම, පරිත්‍යාගශීලිත්වය, ආත්ම අභිමානය, දානය, සහයෝගය, සහජීවනය ආදී ගුණධර්මවල ඇති වැදගත්කම තහවුරු කර දැක්වීමටය. නත්තල සැමරීමේ යථා අර්ථය වන්නේ ද ඉහත සඳහන් කෙරුණු මානව ධර්මතා හා ගුණධර්මවල පවත්නා ගාම්භීරත්වය කෙබඳු දැයි අපට ප්‍රායෝගික ලෙස සනාථ කර දැක්වීමය.

වර්ෂ 1965 දී නොබෙල් ත්‍යාගය දිනාගත් රුසියානු ජාතික මහ ගත්කරු මිහයිල් ෂොලහොව්, උලෙළට රැස්ව සිටි පිරිස අමතා මෙබඳු ප්‍රකාශයක් කළේ ය. “මගේ පොත් මිනිසුන්ට හොඳ මිනිසුන් වීමටත්, හදවතින් පිරිසිදු වීමටත්, උපකාර වන්නේ නම් මම කැමැත්තෙමි. මගේ පොත් මනුෂ්‍යයන් තුළ ස්වකීය වර්ගයා කෙරෙහි දයාව, කරුණාව, වර්ධනය කිරීමට අනුබල දෙන්නේ නම්, මානව දයාව හා ප්‍රගතිය වෙනුවෙන් සටන් කිරීමට මිනිසුන් පොලඹවන්නේ නම් මම කැමැත්තෙමි.”

මෙය නත්තලෙහි සැබෑ අර්ථය හා සමාන ප්‍රකාශයකි. ෂොලහොව් සමාජවාදියෙක් වුවද කිතු දහම උකහා ගත් ශික්ෂණයක් ඔහු සතු වන්නට ඇත. යහපත් මිනිස් සමාජයක් බිහි කිරීම සාහිත්‍යයේ එක් අභිලාෂයක් බව නත්තල තේමා කර ගත් නවකතා හා කෙටිකතා ආදී සාහිත්‍ය නිර්මාණවලින් විශද කෙරෙන කරුණකි.

ලෝක ප්‍රකට උසස් නවකතාකරුවකු ලෙස ප්‍රකට චාල්ස් ඩිකන්ස් නවකතාවක ලක්ෂණ ඉස්මතු කෙරෙන කෙටිකතාවකට සමීපවූ ‘නත්තල් ගීතය’ රචනා කළේ නත්තල් කාලයේදී මිනිසුන් තුළ දයාව, කරුණාව, සාමය, හොඳ හිත ආදී උතුම් මානව ගුණාංග ඉස්මතු කොට මිනිසුන්ගේ සිත් දානය කෙරෙහි යොමු කරනු සඳහාය. ඉහත සඳහන් මානව ධර්මතා මෙන් ම දානය බඳු යහපත් ගුණාංග සෑම ආගම් දර්ශනයකින් ම උතුම් කොට සැලකෙන පුණ්‍යකර්මයකි.

මීට සියවස් දෙකකට ආසන්න කාලයකට පෙර ඩිකන්ස් රචනා කළ ‘නත්තල් ගීතය’ නම්වූ මාහැඟි කෘතිය කිතු බැතිමතුකන්ගේ හා සහෘදයන්ගේ ආදර සෙනෙහසට මෙන් ම ගෞරවයට ද භාජනය වූ සම්භාවනීය සාහිත්‍ය කෘතියකි‍. මේ කෘතිය රචනා වූ දින සිට අද දක්වාම එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල කිතුනු භක්තිකයෝ නත්තල් දවසට පෙර දින රාත්‍රියේ සිට පවු‍ලේ සියලු දෙනාම ගිනි උදුන වටේ හිඳ ගෙන ‘නත්තල් ගීතය’ කියවීම හෝ එය කියවන කෙනකුට සවන් දී ගෙන සිටීම නත්තල් දින සිරිතක් ලෙස පවතින බව සඳහන් වේ. එසේ ම බොහෝ දෙනෙකු විසින් වැඩි වාර ගණනක් කියවන ලද කෘතියක් ලෙස සැලකෙන්නේ ද ‘නත්තල් ගීතය’ යි. මසුරුකමෙහි ආදීනව පෙන්වා එම මසුරුකමෙන් කතා නායකයා වූ ‘එබෙනිසා ස්ක්රූජ්’ මුදවා ගෙන දන්දීමෙහි පරිත්‍යාගයෙහි ආනිශංස පෙන්වා දීම ලේඛකයාගේ අභිමතාර්ථය වේ. සහෘද සිත්හි කාවැදෙන අයුරින් මේ කතා තේමාව විවරණය කොට කතා පුවත විකාශනය කිරීමට ඩිකන්ස් ප්‍රකට කරන නිර්මාණාත්මක කුසලතා අතිවිශිෂ්ටය. මේ කෘතිය සිංහලයට පරිවර්තනය කරන විශිෂ්ට පරිවර්තකයකු වූ සිරිල් බී. පෙරේරා මෙහි වස්තු සන්දර්භය සද්ධර්ම රත්නාවලියේ ඇතුළත් ‍මච්ඡරිය කෝසිය සිටාණන්ගේ වස්තුව සමඟ සසඳමින් මෙසේ පවසයි.

“නත්තල් ගීතය” කියවන අපට එක්වර ම ජාතක කතාවල එන ඉල්ලීස හා මච්ඡරිය ‍කෝසිය සිටුවරුන්ගේ කතා මතකයට නැ‍ඟෙයි. එබෙනිසා ස්ක්රූජ්ට සමාන මසුරකු වූ ඉල්ලීස සිටාණන් දානපතියකු වූයේ, දානාදි පින්කම් කොට ශක්‍රාත්මභාවය ලබා සිටි ඉල්ලීස සිටින්නේ පියා විසින් “තාගේ සියලු ධනධාන්‍ය අන්තර්ධාන කොට මේ වජ්රායුධයෙන් තාගේ හිස පළා ජීවිතක්ෂයට පමුණුවමි” යනුවෙන් කරන ලද තර්ජනයෙන් තැති ගත් හෙයිනි - “මෙතැන් සිට දන්දෙමි” කියමින් ඉල්ලීස සිටාණන් මසුරුමල හැර පියා දන්දීමට පොරොන්දු වූයේ මණ බියෙන් මිස දානයෙහි ආනිශංස ගැන අවබෝධයකින් නොවෙයි. බුදුන් දවස විසූ මච්ඡරිය කෝසිය සිටාණන් එබෙනීසා ස්ක්රූජ්ට වඩා දැඩි මසුරෙකි. තණ පතක තෙල් ගා එයින් තෙල් බින්දුවකුත් අනුන්ට දෙනවා තබා තෙමේත් අනුභව නොකරන තරම් ඔහු දැඩි මසුරෙකි. බුදුන් වහන්සේ ඔහු වෙත මුගලන් මහ තෙරුන් වහන්සේ යවා, උන් වහන්සේගේ ඍධි බලයෙන් ඔහු දෙව්රම් වෙහෙරට කැඳවා ඔහ‍ුගේ මසුරු මල නසා සෝවාන් ඵලයෙහි පිහිටුවා වදාළ සේක. ‘නත්තල් ගීතයෙහි’ ද අපට දක්නට ලැබෙන්නේ ඊට සමාන කතාවකි.”‍

‘නත්තල් ගීතය’ ට අනුව නත්තල් දිනට පෙර දින රැයෙහි පැමිණි අවතාර තුනක් විසින් පෙන්වා දෙනු ලබන සිය මසුරු ජීවිතයේ යථාර්ථය සියැසින් දැක ප්‍රත්‍යක්ෂ කර ගන්නා ‘එබෙනිසා ස්ක්රූජ්’ එක් රැයෙන් ඒ මසුරුමල නසා දානපතියෙක් විය.

නත්තල් දිනට පෙර දින රැයෙහි, අප්‍රේල් මස සිදු වූ බිහිසුණු - මානව සංහාරයක් හේතු කොට ගෙන අනාථ වූත් දූෂණයට ලක් වූත් තරුණියක නිශ්චිත පියෙකු නැති වුවද බිහි කළ බිලිඳා හේතු කොට ගෙන පවුලේ අය මෙන් ම රැස්ව සිටි සෙසු පිරිස ද නත්තල සැමරූ අයුරු විවරණය කෙරෙන අත්දැකීමක් අප්‍රිකානු ලේඛකයකු වූ පී.ඊ. අඩොනෙ අඩ්ඩො (P.E. Adotey Addo) ගේ ‘බිහිසුණු රාත්‍රියක්’ කෙටිකතාවෙන් නිරූපණය වේ. කතාවේ එක් ප්‍රබල සිදුවීමක් නිරූපණය වන්නේ මෙසේ ය.

“සැණෙකින් මා හද ඇගේ ජීවිතය පිළබඳ හටගත් නුහුරු බියකින් සැලෙන්නට විය. මේ මොහොතේ මම කෙසේ නම් ඇයට පිහිට වන්නද? ඇයට පිහිට වීමට සිටියේ ආත්තම්මා පමණි. ඇය ද අද ජීවතුන් අතර නොමැත. ඇයට දීමට කිසිම බෙහෙතක් මා ළඟ නොමැත. මේ අසලක රෝහලක් ද නොමැත. මම කිසිවක් කර ගත නොහැකිව බලා සිටියෙමි. ගමේ කාන්තාවන් හා සංචාරකයින් අතුරින් කීප දෙනෙක් වහ වහා ඇයව සූදානම් කිරීමට ඉදිරිපත් විය. ඇඳ සිටි ඇඳුම්වල උඩු කොටස කමිස හා පොරවාගෙන සිටි රෙදි යනාදිය වහ වහා ගලවා ගත් ඔවුන් ගිනිමැලය ආසන්නයේ ස්ථානයක් වට කොට වහා ආවරණයක් සාදා ප්‍රසූතියට අවශ්‍ය ඇඳක් ද සූදානම් කිරීමට සමත් වූහ. ගත වූයේ සුළු වේලාවකි. එදින ඒ තරු පායා තිබුණු සුන්දර රාත්‍රියේ මගේ සොහොයුරිය බිළි‍ඳෙකු ප්‍රසූත කළා ය.”

යුද භටයින් විසින් තරුණිය කෙලෙසනු ලැබූ නිසා ඇය ගැබිනියක වුවද නත්තල් දින අලුයම සිඟිති දරු පැටවකු ලැබීම දෙවියන්ගෙන් ලද, ආශිර්වාදයක් ලෙස සැලකීය. මව දරුවාට ‘ගයි නියාවේ’ යන නම දෙයි.. අප්‍රිකානු බසෙන් එහි අර්ථය වන්නේ දෙවිඳුනි, මම ඔබට හැර වෙන කිසිවකුටවත් බිය නොවෙමි’ යනුයි. මේ බිලිඳාගේ උත්පත්ති කතාව අපට කියන්නේ විශ්ව සංකල්පයකි. ‘නරක සිදුවීමක්’ වුවද යහපතට හ‍ැරෙනු ඇත... යන විශ්ව සත්‍යයයි.

නාසි හමුදාවේ ප්‍රහාරයට ලක් වූ ඔස්ට්‍රියාවේ ජීවත් වූ අඹු සැමි යුවළකට වෙන්වීමට සිදු වීමත්, ඔවුන් දෛදනා වෙන් වී ස්ටැටන් දූපතේ ජීවත් වෙමින් සිටින අතරතුර දේවස්ථානයේ ගොඩනැඟිල්ලක කඩ‍තොලු වැසීමට යොදා ගත් ‘මේස ඇතිරිල්ලකින්’ ඔවුනොවුන් අනපේක්ෂිත ලෙස මුණ ගැසීම හා බැඳුණු අත්දැකීමක්’ මේස ඇතිරිල්ල කෙටිකතාවෙන් නිරූපණය කෙරේ. මෙය ළගන්නාසුලු ජීවන අත්දකීමක් ලෙස නිරූපණය කෙරේ.

නත්තල් සීයා වෙසින් ‘මාර්ක් ට්වේන්’ නැමැති ලෝක පූජිත සාහිත්‍යකරුවා විසින් සිය දියණිය වූ සුසි කෙලෙමන් වෙත යවන ලද ලිපියක ස්වරූපයෙන් රචනා කරන ලද කෙටිකතාව ද නත්තලේ අසිරිය ගැඹුරින් හදවතට සමීප කරවන නිර්මාණයකි. වර්ජීනියා, ඔහැන්ලන් නම් වූ කුඩා දැරියක ‘නිව්යෝර්ක් සන්’ පුවත්පතට ලියන ලද ලිපියත්, එයට පිළිතුරු වශයෙන් පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ ප්‍රැන්සිස් පී. චර්ච් ලියන ලද පිළිතුරු ලිපියත්, ‘නත්තල’, ‘නත්තල් සීයා’ පිළිබඳ යථා තත්ත්වය විශද කෙරෙන අගනා නිර්මාණයකි. වර්ජිනියා ඔහැන්ලන් නම් වූ කුඩා දැරියට අවශ්‍ය වූයේ නත්තල් සීයා කියල කෙනෙක් ඉන්නවද, එහෙම කෙනෙක් නෑ කියල මිතුරන් කියනවා’ යන උභතෝකෝටියට පිළිතුරක් ලබා ගැනීමටය. කෙසේ වුවද දැරියගේ ලිපිය කියවූ චර්ච් තිගැස්සුණේ ය. ඇගේ පැණය විවාදාත්මක ය. චර්ච් කතුවැකිය අරඹන්නේ.... ‘වර්ජීනියා... ඔව්. නත්තල් සීයා ඉන්නවා!’ යනුවෙනි. එහෙත් ඔහු පසුව කතුවැකියේ මැදහරියේදී ‘ඔව්... වර්ජීනියා... නත්තල් සීයා ඉන්නවා. ඒකාන්තයෙන් ම නත්තල් සීයා රැ‍ඳෙන්නෙ ආදරය, ත්‍යාගශීලී බව, ආත්ම පරිත්‍යාගය වැනි දේවල් තිබෙන තැන්වලයි. ඔහු ඔබේ ජීවිතයටත් අසීමිතව සතුට හා ප්‍රීතිය ගෙන දුන් බව රහසක් නොවෙයි... ඔබ දන්නවා... නත්තල් සීයා වගේ අය නොසිටියා නම් අහෝ මේ ලෝකය කෙතරම් ශුන්‍ය ද? මෘදු අහිංසක විශ්වාසයන්ට එහි ඉඩක් නැහැ. කාව්‍යමය වූ සුන්දර වූ ආදරයකට එහි පැවැත්මක් නැත. දකින පෙනෙන දෑ හැර කුමන ප්‍රීතියක් ද එහි ඇත්තේ.... නිවී සැනසී ගිය සුන්දර ළමා ලෝකය පවතින්නේ යම් පිටස්තර විචිත්‍ර ධාරාවකින් එය පිරී ගිය විටයි...”

කතු වැකිය අවසානයේදී ඔහු වැඩිදුරටත් මෙසේ සටහන් කරයි.

“ඉතිං... වර්ජීනියා... දෙවියන් වහන්සේට ස්තුති වේවා! නත්තල් සීයා කෙනෙකු හැබැහින් ම දකින්නට නැතත් ඔහු ජීවත් වෙන්නෙ අප අතරමයි. සදාකාලිකව ම ජීවත් වෙනවා. තවත් වසර දහසක් දසදහසක් නොනැවතී කුඩාවූවන්ගේ හදවත් සතුටින් පිරවීමේ උත්කෘෂ්ඨ කාර්යයෙහි ඔහු නියැළී සිටිනවා...” යනුවෙනි. ඇත්තට ම නත්තල් සීයා කවුද? කොහිට සිට එන්නේ ද? තවමත් කුඩා ළමයින්ට මෙය රහසකි... පුදුමයකි. මේ කවරෙක් වත් කිතුනුවන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ සාන්ත නිකලස් මුනිවරයා ය. ප්‍රංසයේ එතුමා හඳුන්වනු ලැබූයේ පෙරේ නොයෙල් නමිනි. නත්තලේ පියා යනුවෙන් එංගලන්තයෙහි එතුමා ඇමතීය. ජර්මන් ජාතිකයෝ නත්තල් මිනිසා ලෙස ද රුසියාවේ හිමයේ සීයා ලෙස ද ලන්දේසීහු (ඕලන්දයේ) සින්ටර් ක්ලාස් යනුවෙන් ද හැඳින්වූහ. අද භාවිත වන්නේ සාන්ත ක්ලෝස් (Santa Claus) යනුවෙනි. ඒ ප්‍රභවය වූයේ සින්ටර්ක්ලාස් යන වචනය ඇසුරිනි.

නත්තල් සීයා ප්‍රදර්ශනය කෙරුණේ සුදු රැවුලකින් හා දේදුනු වර්ණයෙන් හැඩ කළ ළමයින් සඳහා තෑගි මල්ලක් එල්ලා ගත් කෙනකු ලෙසට ය. මේ නත්තල් සීයා වර්ෂ 1823 දී කෙලෙමන්ට් සී මුර් විසින් අඳින ලද චිත්‍රයක පරිණාමයක් ලෙස සැලකේ. එසේම ජේසු බිලිඳා උපත ලද බෙත්ලෙහෙමේ ගවලෙන සංකේතාත්මක දසුනක් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් එහි ජේසු බිලිඳා මරියතුමිය, ජුසේතුමා, එ‍ඬේරුන්, ගවයන්, බැටළුවන් හා දැව දඬු ප්‍රධාන අංග ‍පවතී.‍‍

මේ බොහෝ සිදුවීම් තේමාව කර‍ ගෙන විශ්ව සාහිත්‍යයෙහි විවිධ පොත පත, නවකතා හා කෙටිකතා රචනා වී තිබේ. ඒවා ලක්ෂ සංඛ්‍යාත රසික ජනතාවගේ ආකර්ෂණයට ලක් වී ඇත.

(මේ ලිපිය ලිවීමේ දී ඩඩ්ලි පෙරේරා ලේඛකයාගේ ඔබ එනතුරා කෘතිය සමීප ලෙස ඇසුරු කළ බව කෘතඥතා පූර්වකව සඳහන් කරමි.

 

Comments