සියඹලා | සිළුමිණ

සියඹලා

 

සියඹලා ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ Tamarindus indica වේ. කුලය ෆැබසියෙ (Fabaceae) වේ. සියඹලා ශාකය නිවර්තන කලාපික සදාහරිත වෘක්‍ෂයක් ලෙස පිළිගැනේ.තව ද දකුණු ආසියාවට හා නිවර්තන අප්‍රිකාවට ආවේණික ශාකයක් වේ. සාමාන්‍යයෙන් මෙම ශාකය උචිත පරිසර සාධක යටතේ අඩි 80 - 100 පමණ උසට වැඩේ. කුඩා පොකුරු වශයෙන්, කහ පාට මල් හට ගනී.

සුළඟට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාකයකි.ශාකයේ බීජ, අක්‍රමවත් වකයන් පෙන්වන​, අඟල් 3 - 4 ක් දිග​, කරල් තුළ හට ගනී. කරල තුළ පවතින දුඹුරු පහැති මාංසල කොටස ආහාරයට ගත හැකි ය​. ඇඹුල් රසැති එය කුළු බඩුවක් වශයෙන් පෙර දිග රට වල බහුලව භාවිතා කරනු ලැබේ.

සියඹලා ආහාරයට ගැනීමෙන් ආහාර රුචිය වැඩි කරනු ලබයි.ඒ නිසා බඩගින්න වැඩි වේ.ව්‍යංජන රස ගැන්වීම සඳහා සියඹලා උපයෝගී කර ගන්නා ඒ නිසාවෙනි. වාත සමනය කිරීමේ ගුණයෙන්ද යුතු සියඹලා අජීර්ණය සහ හෘද රෝගවලට ද ගුණදායක වේ. දීර්ඝ කාලීනව මල බද්ධයෙන් පීඩා විඳින රෝගීන්ට සියඹලා ඇඹුල් ආහාරයට ගැනීමෙන් තමන්ගේ මල බද්ධ තත්ත්වය සුව කර ගැනීමට පුළුවන. තව ද අර්ශස් රෝගය,මෙන් ම ලේ ධාතුව දූෂණය වීමෙන් හට ගන්නා විවිධ රෝගවලට ද සියඹලා ගුණදායක වේ.

තව ද සමෙහි ඇති වන විවිධ ආසාදන තත්ත්වයන්වලට ද සියඹලා ගුණදායක වන අතරම විෂබීජ නාෂක ගුණයෙන් ද යුක්ත ය. මුඛයේ , උගුරේ, හට ගන්නා වේදනාකාරී තුවාල සුව කිරීම සඳහා ද සියඹලා වඩාත් ප්‍රයෝජනවත් වේ. සියඹලා ඉහළ ඖෂධීය ගුණයකින් යුක්ත වන නිසා පුද්ගල ශරීරයේ ‍තිබෙන කොළෙස්ටරෝල් ඉවත් කර රුධිර නාල හා හෘද වස්තුව පිරිසුදු කිරීම කරනු ලබයි. තවම මෙමඟින් රුධිර නාළ ශක්තිමත් වේ.

පවනි

Comments