කප්පාදුවෙන් වැඩි පලදාවක් දෙන කතුරුමුරුංගා | සිළුමිණ

කප්පාදුවෙන් වැඩි පලදාවක් දෙන කතුරුමුරුංගා

පොහොර භාවිතය

 

ක්ෂේත්‍රයේ රෝපණය කරන අවස්ථාවේදී හා මාස 5-6 කට වරක්, හැකිතාක් දුරට ගොම, කොම්පොස්ට් පොහොර, කුකුළු පොහොර ආදි ඓන්ද්‍රිය පොහොර යෙදීම ඉතා සුදුසුය.

කතුරුමුරුංගා මුල්වල මූල ගැටිති බැක්ටීරියා ජීවත් වන බැවින් ඒවා මඟින් තිර කරනු ලබන නයිට්‍රජන්, ගසට අවශෝෂණය වේ. උෂ්ණත්වය වැඩි ප්‍රදේශවලදී ඓන්ද්‍රිය පොහොර යෙදීමෙන් අස්වැන්න වැඩි කර ගත හැකි වේ. මේ හැර දැව අළු ආදිය යෙදීම ද සුදුසුය. කතුරුමුරුංගා සඳහා රසායනික පොහොර නිර්දේශයක් එළි දක්වා නොමැත. ඓන්ද්‍රිය පොහොර යෙදීමෙන් හා වියළි කාලගුණයක් පවතින අවස්ථාවේදී ජල සම්පාදනය කිරීමෙන් සරු කොළ අස්වැන්නක් ලබාගත හැකි වේ. පැළ අවස්ථාවේදී වර්ධනය දුර්වල නම් යූරියා ස්වල්පයක් යෙදීමෙන් වර්ධනය වේගවත් කරගත හැකිය.

අස්වැන්න නෙළීම

 

සිටුවා මාස 8ක් පමණ ගත වූ පසු කොළ අස්වැන්න ද, වසරකට පමණ පසු මල් අස්වැන්න ද ලබා ගත හැකිය. කොළ පමණක් අස්වැන්න ලෙස ලබා ගැනීමට අදහස් කරන්නේ නම් මල් කිනිති ඉතා කුඩා අවස්ථාවේදීම (නියපොත්තට හසුවන තරම් අවස්ථාව) ඉවත් කිරීමෙන් කොළදාව සරු කර ගත හැක. වරින් වර කප්පාදු කිරීමෙන් ද කොළදාව සරු කර ගත හැකිය. වෙ‍ෙළඳපොළට යැවීම සඳහා උදය කාලයේදී, එනම් කොළවල මැනවින් ජලය අඩංගු වී ඇති අවස්ථාවේදී අස්වැන්න නෙළීම වඩා යෝග්‍ය වේ.

 

කප්පාදු කිරීම

 

කතුරුමුරුංගා බහු වාර්ෂික භෝගයක් බැවින් නඩත්තු කිරීමේ සාර්ථකත්වය මත වසර තුනකට වැඩි කාලයක් ශාකය පවත්වා ගත හැකිය.

කප්පාදු කිරීමෙන් තොරව වැඩීමට ඉඩ හැරියහොත් සමහර අවස්ථාවලදී මීටර් 6 ක් ඉක්මවා ශාකය වැඩේ. එවැනි උස ගස් වලින් මල් හා කොළ නෙළා ගැනීම අපහසුය. උසට වැඩිම නිසා ගසේ ආයුු කාලය කෙටි වේ. එම නිසා කතුරු මුරුංගා ගස් කප්පාදු කිරීම අත්‍යාවශ්‍ය වේ. කප්පාදු කොට ජල සම්පාදනය කිරීමෙන් මල් හට ගැනීම අඩු වේ. වැඩිපුර කොළ හට ගනී.

ගස මීටරයක් පමණ උසට වැඩුණු පසු අග්‍රස්ථ අංකුරය කඩා දැමිය යුතුය. එවිට පාර්ශ්වික අතු වැඩීම ආරම්භ වේ. එමඟින් විවිධ දිසාවන්ට මුහුණලා සිටින සේ අතු 3 - 4 ක් ඉතුරු කොට සෙසු ඒවා ඉවත් කළ යුතුය.

මෙම පාර්ශවික අතු මීටර් 1 - 1 1/2 ක් පමණ උස් වූ පසු නැවත මුදුන් කප්පාදු කළ යුතු වේ. එම ස්ථානවලින් මතුවන රිකිලි මල් හට ගැනීමට පෙර කපා කොළ අස්වැන්න ලෙස ප්‍රයෝජනයට ගත හැකි වේ.

කල් යෑමේ දී මෙම කප්පාදු කළ ස්ථානය ගැටයක් මෙන් සකස් වේ. සමහරු කතුරු මුරුංගා ගස් මීටර් 1 1/2 ක් පමණ උස් වන සේ කප්පාදු කොට පහසුවෙන් අස්වනු නෙළාගත හැකි වන පරිදි සකස් කර ගනී. අස්වැන්න නෙළීමෙන් පසු ඓන්ද්‍රිය පොහොර යෙදීම සුදුසුය. යූරියා ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් නැවත දලු ලෑම කඩිනම් වේ. කප්පාදු කිරීමේදී හා අස්වැන්න නෙළීමේදී තිබෙන සියලු අතු රිකිලි (කොළ සහිත) ඉවත් කිරීම සුදුසු නැත.

කෘමි හා රෝග පාලනය

 

පැළ කුඩා අවස්ථාවේදී ගොළුබෙල්ලන්ගේ හා කොළ කන දළඹුවන්ගේ හානිය ඇති විය හැකිය. මෙම කෘමීන් අතින් අහුලා ඉවත් කිරීමට හෝ අළු යොදා පාලනය කිරීමට හැකිය.

පැළය තරමක් වර්ධනය වන තෙක් කොළ ආහාරයට ගනු ලබන දළඹුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම බෙහෙවින් වැදගත් වේ.

වියළි කාලයේ දී පිටි පුස් රෝගය වැලඳිය හැකිය. එවැනි අවස්ථාවල කොළ ආහාරයට ගැනීම අපහසු බැවින් කප්පාදු කොට ඉවත් කිරීම සුදුසුය. ජල වහනය දුර්වල වූ විට වර්ධනය බාල වේ. පත්‍ර හැලී ශාකය මිය යයි. පාමුල කුණුවීමට ද ඉඩ ඇත.

 

ආහාරයට ගැනීම

 

තල තෙල්, පොල් තෙල් හෝ වෙනත් තෙලක් භාවිතා කොට ගැඹුරු තෙලේ බැදගත් කතුරු මුරුංගා කොළ ආහාර රුචිය වැඩි කරන රසවත් බැඳුමකි. නොමේරූ කතුරු මුරුංගා කොළවලින් ද, වෙනත් කොළවලින් මෙන් රසවත් සම්බෝලයක් සාදා ගත හැකිය.

කොළ, කිරි හොදි සමඟ තම්බාගෙන හෝ මැල්ලුම් වශයෙන් හෝ ආහාරයට ගත හැකිය. කතුරු මුරුංගා මල්, තෙලෙන් බැඳ හෝ ව්‍යාංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකිය.

බිත්තර ඔම්ලට් සකස් කිරීමේදී මල් එකතු කොට රසවත් කර ගත හැකිය. මල් පෙති, දිය කරගත් පිටිවල ගිල්වා තෙලෙන් බැද ගත් විට රසවත් ආහාරයක් වේ. අතින් කැබලිවලට කැඩිය හැකි තරමට මේරු කතුරුමුරුංගා කරල්, උණුදියෙන් තම්බා, අනතුරුව වෙනත් ව්‍යාංජන ආකාරයට පිසගත් කල රසවත් ආහාරයකි.

උපදෙස්- උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය

(HORDI) ගන්නොරුව

 

මදාරා මුදලිගේ

රස ගුණ පිරි මුරුංගා කොළ වෑංජනය

 

මුරුංගා කොළ කියන්නේ හරිම ගුණවත් පලා වර්ගයක්. මුරුංගා කොළවල විටමින් A, විටමින් C, යකඩ සහ කැල්සියම් බහුලව අඩංගු වෙනවා. මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අස්ථි ශක්තිමත් වීම, රුධිරය පිරිසිදු වීම, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වීම සහ සිරුරේ දුර්වලතා මඟ හැරී යෑම වැනි වාසි රැසක් අත් කරගන්න පුළුවන්.

මුරුංගා කොළ වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය :-

• මුරුංගා කොළ මිටක්

• අමු මිරිස් කරල් 2ක්

• සිහින්ව කපා ගත් රතු ලූණු ගෙඩි 3ක්

• තළාගත් සුදු ලූණු බික් 3ක්

• කරපිංචා

• රම්පෙ කැබැල්ලක්

• පරිප්පු මිටක්

• උම්බලකඩ කුඩු මේස හැන්දක්

• අමු තුනපහ කුඩු තේ හැන්දක්

• මිටි කිරි කෝප්ප භාගයක්

• පොල් තෙල් ස්වල්පයක්

• කහ කුඩු ස්වල්පයක්

• ලුණු කුඩු අවශ්‍ය පමණ

සාදන ක්‍රමය :-

ඉති වලින් සූරා ගත් මුරුංගා කොළ සෝදා දිය බේරෙන්නට පසෙක තබන්න. අමු මිරිස්, රතු ලූණු, සුදු ලූණු, කරපිංචා සහ රම්පා තෙම්පරාදු කර ගන්න. ඉන්පසු පරිප්පු සහ අනෙකුත් සියල්ල දමා වතුර ස්වල්පයක් යොදා තැම්බෙන්නට හරින්න. පරිප්පු තැම්බුණු පසු මුරුංගා කොළ සහ මිටි කිරි එක කර කලවම් කර ගන්න. හොද්ද උතුරන තෙක් තබා ලිපෙන් බා ගන්න.

මුරුංගා කොළ මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය :-

• මුරුංගා කොළ අවශ්‍ය පමණ

• රතු ලූණු

• අමුමිරිස්

• පොල් කුඩු

• කහ කුඩු ස්වල්පයක්

• ලුණු ස්වල්පයක්

• දෙහි යුෂ

සාදන ක්‍රමය :-

කපා ගත් මුරුංගා කොළ, සිහින්ව කපා ගත් රතු ලූණු සහ අමුමිරිස් බඳුනකට දමා ගන්න. එයටම ලුණු කුඩු දමා කලවම් කර ගන්න. ඉන් පසුව බඳුන ළිපේ තබා, රත් වන විට පොල් කුඩු, කහ කුඩු සහ දෙහි යුෂ කලවම් කරමින් මලවාගන්න.

 

යශෝදා ඉන්දීවරී

 

 

 

 

Comments