
දෛනික ආහාර වේලට නිරතුරුව එක් කරගන්නා බිත්තර අතිරේක ආහාර රැසකම අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයකි. එහෙයින්ම ශ්‍රි ලංකාවේ බිත්තර පරිභෝජනයද වසරින් වසර ඉහළ යයි. 2015 වසරේදී බිත්තර නිෂ්පාදනය මිලියන 1899.0ක් වූ අතර 2016 වසරේදී එය මිලියන 2059.7ක් ලෙස සියයට 8.5කින් ඉහළ ගියේය. බිත්තර සඳහා වෙළෙඳපොළේ ඇත්තේ හොඳ ඉල්ලුමකි.
ග්‍රාමීය ගෙවත්තක උපරිම ඵලදායීතාවක් සඳහා ගෙවත්තේ වගා කටයුතුවලට අමතරව බිත්තර ලබා ගැනීම සඳහා කිකිළියන් කිහිප දෙනකු ඇති කිරීමටද පුළුවන. එය නිවැසියන්ගේ පෝෂණය ඉහළ නංවනවා සේම බිත්තර මිලදී ගැනීම සඳහා වැය වන මුදලද ඉතිරි වේ. කුකුළු අපද්‍රව්‍ය පොහොරක් ලෙස බෝග වලටද යෙදිය හැකිය. ඊට අමතරව බිත්තර විකිණීමෙන් අමතර ආදායමක්ද ඉපයිය හැකිය. බිත්තර සඳහා කුකුළන් ඇති කළ හැකි ප්‍රධාන ආකාර තුනකි. එනම් නිදැලි ක්‍රමය, අඩ සියුම් ක්‍රමය හා සියුම් ක්‍රමයයි.
නිදැලි ක්‍රමය
නිදැලි ක්‍රමය යනු සතුන්ට නිදැල්ලේ හැසිරෙමින් ආහාර පාන සපයා ගෙන ජීවත් වීමට ඉඩහසර ලබා දීමයි. මෙම ක්‍රමයේ වාසි මෙන්ම අවාසිද ඇත.
මෙමඟින් සැලැසෙන ප්‍රධාන වාසියක් නම් සතුන්ට ආහාර සඳහා වැය වෙන මුදල ඉතිරි වීමයි. එමෙන්ම මේ ක්‍රමයට කුකුළන් ඇති කිරීමේදී ඒ සඳහා යෙදවිය යුත්තේ ඉතා අඩු කාලයක් හා ශ්‍රමයකි.
මෙහිදී කුකුළන් වැඩි වශයෙන් කොළ වර්ග ආහාරයට ගන්නා හෙයින් බිත්තර කහ මදයේ පැහැයද වැඩිය. නිදැලි ක්‍රමයේ ප්‍රධාන අවාසිය නම් බිත්තර නිෂ්පාදනය අඩු වීමයි.තවද විවිධ ස්ථානවල බිත්තර දමන නිසා ඒවා එකතු කිරීමේදී අපහසුතාවලට මුහුණ දීමට සිදුවේ.
විලෝපිකයන්ට සතුන් ගොදුරු වීමේ වැඩි අවධානමක්ද ඇත. තවද කුකුළන් නිදැල්ලේ ගැවසෙන නිසා ගෙවත්තේ වගාවන්ට හානි ඇති වීමත් සිදු විය හැකිය. සතුන් සඳහා වැඩි ඉඩකඩ ප්‍රමාණයක් අවශ්‍ය වීම මෙහි තවත් අවාසියකි.
අඩ සියුම් ක්‍රමය
වෙන් කරන ලද භූමියක සතුන්ට දහවල් කාලයේ නිදහසේ හැසිරෙමින් ආහාරසොයා යෑමට ඉඩහසර ලබා දෙන අතර රාත්‍රියේදී නිවාස සපයා ආහාර හා ජලයද ලබා දීම අඩ සියුම් ක්‍රමයයි.
නිදැලි ක්‍රමයේ මෙන් නොව මෙහිදී සතුන් විලෝපිකයන්ට ගොදුරු වීමේ අවධානම අඩුය. බිත්තර එකතු කිරීමද පහසුය. එහෙත් විශාල රංචුවක් ඇති කිරීමට නොහැකි වීම මෙහි ඇති එක් අවාසියකි.
සියුම් ක්‍රමය
සතුන්ට ආහාර සහ ජලය ලබා දෙමින් පූර්ණ කාලිනව සත්ව නිවාස තුළ ඇති කිරීම සියුම් ක්‍රමයයි. මෙම ක්‍රමයට සතුන් ඇති කිරීමේදී බිත්තර එකතු කිරීම හා පාලනය පහසුය.
බිත්තර නිෂ්පාදනයද ඉහළය. සතුන් විලෝපිකයින්ට ගොදුරු වීමක්ද සිදු නොවේ. එහෙත් මේ සඳහා යෙදවිය යුතු මූලික වියදම හා නඩත්තු වියදම අධිකය. මෙය තවදුරටත් ආකාර තුනක් යටතේ විස්තර කළ හැකිය. එනම් ඝන ආස්තරණ ක්‍රමය (Deep litter system), තට්ටුවක් මත ඇති කිරීම (Slatted floor system) හා කැදලි ක්‍රමයයි. (Cage system)
ඝන ආස්තරණ ක්‍රමය (Deep litter system)
කුකුළන් සඳහා තැනූ නිවාසවල බිමට යොදන ලද ආස්තරණයක් මත සතුන් ඇති කිරීම ඝන ආස්තරණ ක්‍රමය ලෙස හඳුන්වනු ලැබේ.
මෙලෙස ආස්තරණයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු විශේෂ කරුණු කිහිපයකි. සුලබ, මිලෙන් අඩු හා පරිහරණය පහසු වීම ආස්තරණයක වැදගත් ලක්ෂණ වේ. ජලය උරා ගන්නා හා පහසුවෙන් ගිනි නොගන්නා ද්‍රව්‍යයක් වීමත් දූවිල්ලෙන් තොර වීමත් අනෙක් විශේෂ ගුණාංගය. මෙයට අමතරව ආස්තරණය ලෙස යොදා ගන්නා ද්‍රව්‍යය කුකුළන් ආහාරයට නොගන්නා ද්‍රව්‍යයක්ද විය යුතුය.
ඉහත ගුණාංග හිමි පිදුරු, දහයියා, යතු කුඩු ආදිය බොහෝ විට ආස්තරණ ලෙස යොදා ගැනේ. මෙම ක්‍රමයේ වාසි ලෙස බිත්තර සුරක්ෂිතව එකතු කිරීමට හැකි වීමත්, පාලන කටයුතු පහසු වීමත්, කුකුළන්ට විලෝපිකයන්ගෙන් වන හානි අඩු වීමත් දැක්විය හැකිය.
එමෙන්ම මේ ආස්තරණය වගාවන් සඳහා පොහොරක් ලෙසද යොදා ගත හැකි වීම මෙහි අමතර වාසියකි. එහෙත් සතුන් ඇන කොටා ගැනීම, සතුන් අතර ආහාර සඳහා තරගයක් ඇති වීම, බිත්තරවලට කෙටීම හා මූලික වියදම අධික වීම ආදිය මෙහි අවාසිය. මේ සඳහා යෝග්‍ය ක්‍රම ගණනාවක් ඇත. ඒවා ද ප්‍රයෝජනයට ගනිමින් බිත්තර නිෂ්පාදනය වැඩි කළ හැකිය.
උමංගා පූජනී ගුණසේකර
කෘෂිකර්ම පීඨය
රුහුණු විශ්වවිද්‍යාලය