විදුලි බිලට තිත තියන්න හිරු එළියෙන් වැඩක් ගන්න | සිළුමිණ

විදුලි බිලට තිත තියන්න හිරු එළියෙන් වැඩක් ගන්න

වගා බිමක පහසුවෙන් වගා කරන්න බලශක්තිය යොදා ගැනීමට හැකිය. සූර්ය බලශක්තිය වුවත් වගා බිමකට යොදා ගැනීමෙන් යන්ත්‍රෝපකරණ පහසුවෙන් පරිහරණය කිරීමට හැකියාව ලැබේ. මේ නිසා සූර්ය බලශක්තිය යොදා ගැනීම ගෝචර ක්‍රියාවක් ලෙස අපට හඳුන්වා දිය හැකිය.

සෑම වසරකදීම සියයට 8 - 10 ක බලශක්ති අවශ්‍යතාව සඳහා වන පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට මෙගාවොට් 100 - 110 ක ධාරිතාවයකින් නොකඩවා විදුලි බල ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කළ යුතු බව ගණනය කර ඇත. එහෙත් ජලය සීමාකාරීවීමත් පොසිල ඉන්ධන (ගල් අඟුරු හා බොර තෙල්) ආනයනයට විදේශ විනිමය නිරතුරුවම වැඩි කළ යුතු වීමත් හේතුවෙන් විදුලි බල සැපයුම අර්බුධකාරී තත්වයකට පත්වීම ‍නොවැළැක්විය හැකිය. එහෙයින් ඒ උදෙසා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අපි වැඩි වශයෙන් නැඹුරුවිය යුත්තෙමු. ඒ අනුව මෙරට බල ශක්ති අවශ්‍යතාවන් සපුරා ගැනීමට සූර්ය බලය හා සුළං බලය වඩාත් ලාභදායී විකල්ප දෙකක් බව පෙන්වා දිය හැක. ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාව පිහිටා ඇති ආකාරය අනුව ඍජු කදම්භ ලෙසින් සහ විසිරීතව අප රට මතට පතිත වන සූර්ය ශක්ති කිරණ ප්‍රමාණය දිනකට 4.5 සිට 6.0 දක්වා k Wh / M2 වේ. මෙම ප්‍රමාණයෙන් යම්තරමක් හෝ ග්‍රහණය කර ගැනීමට ගෘහස්ථ බල සැපයුම සඳහා සූර්ය බලය යොදා ගැනීම මේ සඳහා වඩාත් පහසු හොඳ විසඳුමක් වනු ඇත.

සූර්යාලෝකයෙන් විදුලිය නිපදවීම සුන්දර තාක්ෂණයකි. ප්‍රකාශ වෝල්ටීයතා සංසිද්ධිය Photovoltaic යටතේ ක්‍රියාත්මක වන පරිදි සූර්ය කෝෂ පුවරු Solar Cell Panels නිෂ්පාදනය කෙරේ. මෙහිදී වැදගත් වන්නේ ඒ සඳහා භාවිතා කරන සිලිකන්වල සංශුද්ධතාවයි. එනම් සිලිකන් අණු වඩාත් පරිපූර්ණව අනුකලනය වී සූර්ය බල ශක්තිය (සූර්යාලෝකය) විද්‍යුත් ශක්තියට බවට පරිවර්තනය කිරීමට ඇති හැකියාවයි. සූර්යාලෝකය විදුලි බලය බවට පරිවර්තනය කිරීම සඳහා එම පුවරුවල කාර්යක්ෂමතාව සමඟ සිලිකන්වල සංශුද්ධතාවය ඍජුවම සම්බන්ධ වේ. සිලිකන්වල පිරිසිදුකම වැඩි වන විට කෝෂයන්හි කාර්යක්ෂමතාවයද වැඩිවේ. සිලිකන් හි p-n සන්ධිස්ථානයක් පිහිටයි. මෙම අර්ධ සන්නායකයට හිරු එළිය ලැබෙන විටප්‍රෝටෝන යනුවෙන් හැඳින්වෙන කුඩා ආලෝක ශක්ති ප්‍රභවයක් ධාරක සිලිකන් පරමාණුවකින් ග්‍රහණය කර එහි වූ ඉලෙක්ට්‍රෝන නිදහස් කරයි. ඉලෙක්ට්‍රෝන උච්චාවචනය වන අතර එය nවර්ගයේ අර්ධ සන්නායක වෙත ආකර්ෂණය වේ. මෙමඟින් nවර්ගයේ අර්ධ සන්නායකවල මත වැඩි ඍණ ආරෝපණයක් ද pවර්ගයේ අර්ධ සන්නායක මතවැඩි ධන ආරෝපණයක් ද ගොඩනැ‍ඟේ. කෝෂයේ ඉහළ මතුපිට ආසන්නයේ p-nහංදිය ඔස්සේ නිදහස් ඉලෙක්ට්‍රෝන ගමන් කරයි. p-n හන්දිය හරහා ගමන් කළ විට ඒවාට ආපසු පැමිණිය නොහැකිය. ඒ හේතුවෙන් කෝෂයේ හිරුට මුහුණලා ඇති පෘෂ්ඨයෙහි ඍණ වෝල්ටීයතාවයක් හා පසුපස ධනවෝලීටීයතාවයක් ගොඩනැ‍ඟේ. එකී ඉදිරිපස හා පසුපස පෘෂ්ඨයන් බාහිර පරිපථයක් හරහා සම්බන්ධ කර එම සරල ධාරාව බැටරි තුළ තැන්පත් කර පරිවර්තකයක් හරහා ඍජු ධාරාවක් බවට යළි පරිවර්තනය කර භාවිතයට ගැනීමට හැකියාව ලැබේ.

ඔබ සූර්ය බලයෙන් ක්‍රියා කරන යන්ත්‍ර භාවිතා කර තිබෙනවාද? එහි ක්‍රියාකාරිත්වයට අවැසි විදුලි බලය සපයාගනුයේ සිලිකන් මූල ද්‍රව්‍යය ඇස‍ුරෙන් නිපදවූ සූර්ය කෝෂ මඟින් බව ඔබ නොසිතන්නට ඇති. විවිධ සූර්ය කෝෂ වර්ග අතරින් මෙය එක් වර්ගයකි. සමහර නාගරික හා වෙරළ උයන් මෙන්ම ශාරීරික ව්‍යායාම සහ අභ්‍යාස ක්‍රියාකාරකම් සඳහා ඉදිකර ඇති මංමාවත් ආශ්‍රිතව විදුලි ආලෝකනය සඳහා දැන් දැන් කුඩා සූර්ය කෝෂ පුවරු මඟින් බල ගැන්වෙන පහන් උපයෝගී කරගැනීම දැකිය හැක. එමෙන්ම සමහර නිවැසියන් ද සූර්ය කෝෂ පුවරු ආශ්‍රිතව විදුලිය සපයා ගැනීමට දැන් උනන්දුවන බව පෙනෙන්නට ඇත.නිවෙස්වලට පමණක් නොව වගා බිම්වලට මේ ක්‍රියාව කළ හැකිය. වගා බිමේ කටයුතු පහසු කර ගැනීමට සූර්ය කෝෂ යොදා ගැනීමට හැකිවේ.

ඉදිරි සතියට...

එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ

දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය

හෝමාගම

Comments