කටුක බව නසා පලදාව වැඩි කළ මන්නාරම් ගෙවත්ත | සිළුමිණ

කටුක බව නසා පලදාව වැඩි කළ මන්නාරම් ගෙවත්ත

සෞජට් මහත්මිය

කසුරුවම් ලෙස භුමිය පරිභෝජනයට ශ්‍රී ලංකාවේ ගොවියා සමත්ය. ගොඩගොවි තැනේදි මෙන්ම මඩගොවි තැනේ දී ද හේන් ගොවිතැනේ දී ද අතීතයේ සිට එකම වගා බිමක විවිධ බෝග වගා කරමින් භුමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ලක් වැසියෝ හුරුව සිටියහ. බෝග විවිධත්වය වගාවේ සාර්ථක භාවයට පමණක් නොව ‍පසේ සුරක්ෂිතතාවටද පසේ ගුණාත්මක භාවය කෙරෙහිද බලපෑම් කරයි.

භූමිය පරිභරණය පිළිබඳ අපේ පැරැණියන්ගේ අත්දැකීම් නැවත නැවත අධ්‍යයනය කරමින් කූඩා භූමියකින් උපරිම ආර්ථික ප්‍රයෝජන ලබා ගැනීම කෙරෙහි අප නැවත අවධානය යොමු කළ යුතු‍ ය. එසේ කිරීමේන් ගොවියාගේ ආර්ථික සුරක්ෂිතතාව ළඟාකර ගැනීමට මෙන්ම එමගින් රටේ සංවර්ධනයට දායක වීමට ද කෘෂි ක්ෂේත්‍රයේ නිරත ජනයාට හැකියාව ලැබෙනු ඇත.

සීමිත ජනගහනයක් විසූ අතීතයේ භූමිය හිඟ වූයේ නැත. එහෙත් වර්තමානයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. සීමිත බිමක ජන ඝනත්වය ඉතා ඉහළ අගයක් ගනී. ජනගහනයෙන් 75% ජීවත්වන ග්‍රාමීය ප්‍රදේශයන්හි පවා වගාවට සුදුසු බිම්හි ජනාවාස ඉදිවෙමින් තිබේ. අනාගතයේ මේ තත්ත්වය තවත් ඉහළ යනු ඇත. වැස්ස ජලය වගාවට සුදුසු පරිසරය සහිත රටේ තෙත් කලාපයේ හි ඉඩම් පරිහරණය කෙරෙහි අප වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි හැඟෙන්නේ. වැස්ස හෝ ජලය නැති ශුෂ්ක භූමියක සරුසාර වගාවක් දුටු බැවිනි.

මන්නාරම් දිස්ත්‍රිත්තයේ පෙරියකර්සල් ගම්මානයේ කප්ප කෝවිල ලෙස හඳුනාගත් පුරවිද්‍යා භුමියකි. මේ කප්පකෝවිල වූ කලි පෘතුගීසි පල්ලියකි. එය ලන්දේසීන් විසින් ද භාවිතයට ගන්නා ලදුව වර්තමානයේ ගරාවැටී තිබේ. මේ පුරාවිද්‍යා උරුමයේ මිනිස්සු වර්තමානයේ ජනාවාස ඉදිකරගෙන සිටිති. අතීතයේ ද ජනාවාසයක් වූ මේ භුමිය අසල අලංකාර ගෙවත්තකි. ගෙවත්ත තාප්පයකින් වටවී පැවැතියද එහි සොඳුරු බව දැක ගැනිමට එය අපට බාධාවක් වූයේ නැත.

ගෙවත්තේ හිමිකාරිය වූයේ සෞජට් මහත්මියයි. අප ඇයගේ ගෙවත්ත නැරැඹීමට කැමැති බව පැවැසූ විට අප‍ට ගෙවත්තට ඇතුළුවීමට හැරුණේ පිටුපස ලී ගේට්ටුවයි. ගෙවත්ත නිල්ලෙන් බැබලුනේය. මුළු ගෙවත්තම පර්චර්ස් 40ක පමණ වූ කු‍ඩා බිමකි. එහි ලිඳක් උසස් නිමාවකින් යුතු නිවෙසක් හා සනීපාරක්ෂක පහසුකම්ද විය. ඒ පිටුපසින් වූ ගෙවත්ත පුරා සිටවු මුරුංගා ගස්ය. ඒවා මලින් ද ලපැටි කරලින් ද බරය. මුරුංගා ගස් වසා ගත් බුලත් වැල් සරුසාරය. හිරු එළිය වැටි දිළිසෙන බුලත් දලු සුළඟේ සැලේ.

බුලත් යනු ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන බෝගයකි. රසට පුරාම ජනයා එකසේ පරිභෝජනය කරනු ලබන හා යාග - හෝම පිදවිලි සඳහා භාවිතා කරනු ලබන බෝගයකි. දේශිය පරිභෝජනය හැරුණු කල, බුලත් අපනයන භෝගයක් සේ විදේශ විනිමය රට තුළට රැගෙන එයි. සෞජට්ගේ සරුසාර බුලත් වගාව නීරෝගීය. කඩික පිරී ඇති වගාව ඇයට හොඳ ආදායමක් ලබා දෙන බව අනුමාන කළ මම ඒ ගැන විම සුවෙමි. “බුලත් කඩලා සතියකට රුපියල් පන්දහසක් පමණ ගන්නවා.“ සෞජට් මහත්මිය පවසයි. ඇය බුලත් වැලේ අධාරක ලෙස මුරුංගා ගස් භාවිත කොට තිබේ. මුරුංගා මන්නාරමේ හොඳින් වැවෙන බෝගයකි. හොඳ මුරුංගා පලදාවක් මන්නාරම් ගොවියන්ට ලැබේ. මුරුංගා කඳ ජලය රඳා පවතින මාංසල ගතියෙන් යුතු පොත්තක් සහිතය. ශක්තියෙන් අඩුය. බුලත් වැල් එම කඳෙහි එතී වර්ධනයට අවශ්‍ය ජලය ලබා හොඳ පලදාවක් ලබා දීම අරුමයක් නොවේ. මේ කාෂ්ටක මන්නාරමේ මේ සරුසාර බුලත් වගාව දකින්නට ලැබුණේ ගෙවිලිය බුලත් වගාව සඳහා සුදුසු ම අතිරේක බෝගය වගාබිමට යොදවා ඇති බැවිනි. ඒ සඳහා පළ දරණ මුරුංගා දඬු සිටුවා ඉන් ආදායමක් ද ලබයි

මේ මුරුංගා අවාරයයි. ඒ වුණත් මන්නාරමේ මුරුංගා පල දරනවා. මල් ළපටි කරල් මෙන්ම අස්වැන්න නෙළාගත හැකි තරමට පැසිගිය මුරුංගා ද ගස්වල දැකිය හැකිය. දැන් මුරුංගා කිලෝවක් රුපියල් තුන්සියයක් තුන්සිය පණහක් පමණ වෙනවා. මුරුංගා වැවෙන අනෙක් පළාත්වල මේ කාලයට මුරුංගා පලදාව නැහැ. එනිසා මේ කාලෙට හොඳ ආදායමක් ගන්න පුළුවන්. මේ වගාවක් දෙකටම පොහොර දැමීම අවශ්‍ය නොවේ. මුරුංගා ගස්වලින් ඉදී වැටෙන කොළ ඉතා මෘදු බැවින් ඉක්මනින් දිරාපත්වී බුලත් වගාව සඳහා අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය පොළොවට එක්කරයි. වැලිසහිත සරුසාර ලෝම පසක් සහිත මන්නාරම් දිස්ත්‍රික්කයේ පොළොවේ. වගාකළ නොහැකි කිසිවක් නැත. අවශ්‍ය වන්නේ ජලඉසීම පමණි.

මුරුංගා ගස් ලෝම පසේ සාරය උරාගෙන වැඩේ. මන්නාරම් පොළොවේ වැලි පසට යටින් ඇති හුණුගල් තට්ටුව තෙක් ඇදියන මුරුංගා මුල් ඒ හුණුගල් තට්ටුවේ ඇති ජලය උරාගෙන වැඩි පළ දරයි. ඒ සමගම ජලවාශ්ප වැඩි ප්‍රමාණයක් වායු ගෝලයට එක්කර පරිසරයද සිසිල් කරයි. එබැවින් ඒ ගෙවත්තේ මන්නාරම පුරා පැතිර පැවැති කටුක බව අඩුවෙන් දැණිනි.

“මේ කොරටුව අම්මගේ අම්මා තමයි වගාව බලාහදාගන්නේ මුරුංගා බුලත් වගේම රම්පෙ කරපිංචා සතිදෙකකට තුනකට වරක් කපලා වෙළෙඳ පොළට දෙනවා අම්මට ඉන් හොඳ ආදායමක් ලැබෙනවා . සෞජට් ගේ පුතු පවසයි. ඇගේ වගාවට දිනපතා වතුර දමන්ගේ ඇගේ පුත්‍රයා විසිනි. දියනිවරුන් ද ඇගේ කුඩා ගෙවත්ත පවත්වා ගෙන යෑමට උපකාරී වෙති. එහි අර්ථික භෝග මෙන්ම එදිනෙදා ගෙදර ‍අවශ්‍ය තාවන් පිරිමසන මිරිස්, පලාවර්ග, මෑ , බටු, කරවිල , ආදියද වේ.

මන්නාරම් වැසියාගේ ප්‍රධාන ජීවනෝපාය ධිවර කර්මාන්තයයි. වෙරළ වටේ ඔරු හා බෝට්ටු හෝ වියැලෙන්නට දැමූ දැල්ය. සෑම මිදුලකම ගොඩගැසු තල් ගෙඩි වලවල් තුළ පැලවී මොටෙයියන් ඇද තිබේනු දැක ගත හැකිය. මන්නාරම් දූපතවැසී ඇත්තේ වැල්ලෙනි. ඒ වැල්ලට යටින් හුණු ගල් ස්ථරයකි. මන්නාරම් දූපත වට වු සයුර සිසිල් සුළං ගොඩබිමට පාකර එවමින් මන්නාරම් වායුගෝලයේ ඇති කර්කෂ රළු බව මකා දමයි.

සෞජට්ගේ ගෙවත්තේ කෙළවර නාඹර තල් ගසකි. අනෙක් පසින් අලුතින් පීදී පල දරණ පොල් ගස් දෙකක්වේ. පොල් ගස් දෙක හොඳින් පල දරා තිබේ. ගෙවත්තේ අතරින් පතර මනාව නඩත්තු කළ කෙසෙල් පදුරු කිහිපයකි. මේ සියල්ල ඔවුන්ගේ ජීවිතයේ සකසුරුවම් බව කියයි. කීකී හඩ නඟමින් මිදුලපුරා අවිද යන කුකුළු පැටව් රංචුව මව කැඳවන මවගේ හඬ ද අපට ඇසේ. ගේ දොරකඩ කුඩා මිදුලේ මල්පඳුරු කිහිපයකි. ඒ අතර මන්නාරමට අවේනික යැයි සිතෙන සුවඳ හමන පිච්ච වැලකි.

අහුලා ගත් සියඹලා සැකැසුමක් කෙසෙල් කොළමත දා වේලෙන්නට තබා ඇත. එහි ජීවිතය කටුකය. එහෙත් ඔවුන්ගේ උත්සාහය හා කැපවීම අසීමිතය. එබැවින් ඔවුන්ගේ ජීවිතව ආර්ථික අතින් සවිමත් විම පුදුමයක් නොවේ. වසර තිහක් තිස්සේ පිඩාවට පත්ව සීටී ඔවුහු තම ගම් බිම් වෙත පැමිණ තවමත් වසර පහක් හයක් පමණි. එත් ජීවිතය නැවත ගොඩනඟා ගෙන ඇත‍. ඔවුන් වෙහෙස වෙමින් මහ පොළොවෙන් තම හිමිකම උදුරා ගනිමින් සිටී.

අප මේ දකින්නේ පොළොවේ සරුසාර බව නොව, මෙහි වසන ජනයාගේ කඩිසර බවයි. කැපවීම යි. උත්සාහයයි. ශූෂ්ක කලාපයේ ජනයා මහපොළොවෙන් එවන් ප්‍රයෝජන ගනී නම් තෙත් කලාපයේ ජනයා මහපොළොව එතරම් අරපිරිමැස්මෙන් භාවිත කළහොත් අප රට තව බොහෝ කලක් සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙස නොපවතිනු ඇත. මහ පොළොවේ සෑමබිම් අඟලක්ම වගා කරමු.

 

ටෙක්ලා පද්මිණී කාරියවසම්

සේයාරූ - විමල් කරුණාතිලක

Comments