
මල් වැවීම බොහෝ දෙනකුගේ විනෝදාංශයක් වුවත් මේ දෙපළ මල් වැවුවේ සීතල කඳුකරයේ අන් රාජ්‍ය අංශ හා තරග කරන්නටය. වසරක් වසරක් පාසා මේ දෙපළ සිය රාජ්‍ය නිකේතනය අලංකාර කළේ විසිතුරු මල් පැළ වවමිනි. ඒ අතරම වසරක් වසරක් පාසා උදාවන වසන්තයේදි නුවරඑළිය ප්‍රාදේශීය සභාව මඟින් තෝරා ගැනෙන උද්‍යාන අලංකාරණය වෙනුවෙන් වූ තරගයෙන් වසර ගණනාවක් එකදිගටම ප්‍රථම සම්මානය හිමි කර ගත්තේ මොවුන් දෙදෙනා ය. මේ ඔවුන් දෙදෙනා මල් වවා ජයගත් කතාවයි.
ඒ ජී එම් පී ගමගේ හා අතුල ජයවර්ධන රැකියාවට පැමිණෙන්නේ මීට වසර පහළොවකට පමණ පෙරයි. ඒ ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නුවරඑළිය නගර මධ්‍යයේ සුන්දර කඳුමුදුනක පිහිටි සංචාරක බංගලාවේ භාරකරුවන් වශයෙනි. කොත්මලේ නව කඩදොර ප්‍රදේශයේ දෙදරු පියෙකු වන ගමගේද, නුවරඑළිය තාවකාලික පදිංචිය කරගත් අතුලද සිය පෞද්ගලික ජීවිතයට වඩා රැකියාවට මුල් තැන දුන්නේ සිය සංචාරක බංගලාවට නිතර පැමිණෙන අමුත්තන් වෙනුවෙන් තම සුහදශීලි සංග්‍රහයන් ඔවුන්ට පිරි නමමිණි. එහෙත් පරිසරයට ආදරය දැක්වූ මේ දෙපළ තමන්ගේ රැකියා ස්ථානය කිසිදා දෙවැනි කොට තැකුවේ නැත. ලැබෙන වැටුපට වඩා සිය සේවා ස්ථානයට ආදරය කළ මේ දෙපළ සීතල නුවරඑළියට ආවේණික මල් වගාවන්ට තැන දුන්නේ කාලය වෙහෙස නොබලා ය. වසරක් ගෙවී වසරක් එළඹෙන සෑම මොහොතකදීම මේ දෙපළ ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නුවරඑළිය සංචාරක බංගලාව අලුත් කළේ විසිතුරු මල් වගාවන් හා උද්‍යාන අලංකරණයට තැන දෙමිනි.
“අපි දෙන්නා මේ සංචාරක බංගලාවේ සේවයට ඇවිත් දැන් වසර පහළොවකට ආසන්නයි. අපි එනකොට මේ බංගලාෙව කිසිම ලස්සනක් තිබුණේ නැහැ. ඒත් නුවරඑළිය අනිකුත් බංගලාවල ලස්සන දකින කොට අපිටත් ආස හිතුණා අපේ මේ බංගලාවත් ලස්සන කරන්න. අපි අපේ සංස්ථාවේ ඉහළ නිලධාරීන්ටත් කියලා මේ භූමිය ලස්සන කරන්න පටන් ගත්තා. මල් වවන්න කලින් අපි බිම සකස් කළා. අපිට අපේ ආයතනයෙන් ගොඩාක් උදවු ලැබුණා. මේ නිසා අපි දෙන්නා අපේ මහන්සියක් යොදා ගෙන විවේක තියෙන තියෙන අවස්ථාවල රෝස, කපුරු, ඇස්ටමේනියා, ජර්බරාස් සූරියකාන්ත, දාස්පෙතියා වගේ මල් වැවුවා. මේ අතරේ එදා සිට අද දක්වාම අපි වසන්ත උදානය වෙනුවෙන් සෑම වසරකම අප්‍රේල් මාසයේ නුවරඑළිය නගර සභාවෙන් පවත්වන ' April Blooms' තරඟයට ඉදිරිපත් වුණා. 2007 වසරේ සිට මේ දක්වාම අපි රාජ්‍ය ආයතනවලින් එහි ප්‍රථම ස්ථානය දිනා ගත්තා. මේ වසරේත් අපි එය නොනවත්වාම ලබා ගත්තා. අපිත් එක්ක තරග කළේ අපිට වඩා ලොකු ආයතන. එස්.ඕ.එස් ගම්මානය, බැංකු වගේ ඒවා අපිත් එක්ක තරගයට ඉදිරිපත් වුණා. ඒවා නිරීක්ෂණය කළේ හග්ගල උද්භිද උද්‍යානයෙන් වගේම නුවරඑළිය ජනාධිපති මන්දිරයෙන්. ඒත් අපිට කිසිම ගැටලුවක් වුණේ නැහැ. අපි දෙන්නා සහයෝගයෙන් මල් වැවුවා. ඒවාට සාත්තු කළා. මේ නිසා අපි සෑම වසරකම නොනවත්වාම වල් වවලා ජයගත්තා. මේ වන විට අපි මල් වවලා සම්මාන සහතික 30 ක් පමණ දිනාගෙන තියෙනවා....“ ඒ ගමගේ ය.
ගමගේගේත් අතුලගේත් මේ වෑයමට අමාත්‍යාංශ හා සංස්ථා නිලධාරීන්ගෙන්ගෙනුත් ලැබෙන්නේ ඉහළ සහයෝගයකි.
“අපිට මේ කටයුතු කරන්න සංස්ථාවේ සභාපතිතුමාගෙන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිතුමන්ගෙන් වගේම ඉහළ නිලධාරීන්ගෙනුත් ලැබෙන්නේ විශාල සහායක්. වසරකට අපිට මල් ගන්න මුදලක් දෙනවා. සමහර විට ඒ මුදල මදිවෙන කොට අපි අපේ අතිනුත් වියදම් කරනවා. අමුත්තන් අපේ සංචාරක බංගලාවට ඇවිත් යනකොට අපිට සතුටින් දෙන කීය හෝ අපි වෙන් කරන්නේ මේ කටයුත්තට. කැප්පෙටිපොළ ප්‍රදේශයට යන්න ඕන මල් පැළ ගන්න. අපිට හිතුණ ආස මල්පැළ අරගෙන තරගයට ඉදිරිපත් වෙන්න බැහැ. ඒ අය දෙන මල් පැළ අපි හිටවලා පෙන්විය යුතුයි. මෙය තරමක් දුෂ්කර කටයුත්තක් වගේම වෙහෙසක් ගත යුත්තක්. මේ පළාතට නිතර නිතර වර්ෂාව. එහෙම වුණොත් මල් තරගයට පෙර මල් විනාශ වෙලා යනවා. සමහර කාලවලට වතුර නැහැ. වතුර ඇදලා මල්පැළවලට දාන්න ඕන. මේ අතර පැමිණෙන අමුත්තන්ට අපි සංග්‍රහ කරන්නත් ඕන. ඒත් කොතරම් බාධා ආවත් අපි ඉදිරියටත් 'April Blooms' සම්මානය දිනා ගන්නවා...“ අතුල පවසන්නේය.
මල් පැළ වැවීමෙන් ලබා ගන්නා මෙම සම්මානවලටත් වඩා අද ඔවුන් සතුටු වන්නේ සිය රාජ්‍ය සේවය උපරිම ආකාරයෙන් ඔවුන් ඉටු කළ නිසාවෙනි. මල් වවා තරගයෙන් ජයගත් සම්මාන සහතික ගොන්නක් අද ඔවුන්ට ඉතිරිව ඇත්තේ ය. එහෙත් ඒ සියල්ලට වවා ඔවුන් සිය වෙහෙස මහන්සියෙන් මේ නවාතැන ලස්සන කර ඇත. මල් වවන අතරේ සිය සුහදශීලි සංග්‍රහයෙන් අමුත්තන්ගේ හදවත් බැඳ ගන්නටද මේ අය සමත්ව තිබේ.