
කොස් අපේ රට පුරාම වැවෙන වසර 60 - 80 ක් පවතින ප්‍රයෝජන රැසක් ලැබෙන ශාකයකි. රටේ ලොකුම පලතුරු ගෙඩිය දෙන කොස් ගසේ සියලු කොටස් අපට ප්‍රයෝජනවත්ය.
එමෙන්ම කොස් ගසෙන් අපට ලැබෙන පෝෂ්‍යදායි බව ඖෂධීය බව ඉහළ ය. තවත් සරලව කීවොත් කොස්ගස අපේ රටේ ඇති වස විස නොමැති සුවිශේෂ ආහාර ගබඩාවක් ලෙසද හැඳින්විය හැකිය. ආහාර සඳහා, ඖෂධ සඳහා, ගොඩනැඟිලි දැව සඳහා ද දර සඳහා ද කොස් ගස අපට ප්‍රයෝජනවත්ය.
ඒ පිළිබඳව මෙන්ම කොස්වල රස ගුණ පිළිබඳව වත්මන් යොවුන් පරපුරට දැනුමක් ලබාදීමත් අද කාලීන අවශ්‍යතාවකි.
කොස්වලින් විවිධ ආහාර වර්ග දෙසීයකට වඩා සකස් කළ හැකි බව ජාතික කොස් කමිටුව කළ පර්යේෂණ අනුව අනාවරණය වී තිබේ. ෙම් අනුව රජය, කෘෂිකර්ම අමාත්‍යාංශය කොස් වැවීමට හා තිබෙන කොස් ගස් රැකීමට මීට වඩා අවධානය යොමු කළ යුතුය.
ෙකාස්වල උද්භිද විද්‍යාත්මක නම - Artocapus heterophylluslam (ආටෝකාපස් හෙටෙරොපීලස් ලැම්) ය.
කොස් ගස මීටර් 12-20 ක් පමණ උසට වැඩේ. එය ද්වි බීජ පත්‍ර ශාකයකි. එහි කඳ ඍජුය, සිලින්ඩාකාරය, කඳ වැසී ඇත්තේ රළු පොත්තකිනි. මේ පොත්තේ විශේෂත්වය එමඟින් කොහොල්ලෑ වැගිරීමය. ගස මුඳුනේ කොටස අතුවලට බෙදීම සාමාන්‍යයෙන් සිදුවේ. කොස් ගසක් සාමාන්‍යයෙන් අවුරුදු 60 - 80 ක් පවතී.
ගස්වල කඳේ පිටට පිහිටන අතුවල කොළ බහුලව තිබේ. කොළවල හැඩය ඕවලාකාරය. සෑම කොළයක්ම එක හා සමානව නොවේ. පත්‍ර අඟල් 4 සිට 6 දක්වා විශාලය. කොළේ නටුව කෙටි වුවත් නාරටිය ඉතා පැහැදිලි ය. මෘදු දිලිසෙන මතුපිටක් වැනි ස්තරයක් මගින් සෑම පත්‍රයක්ම වැසී තිබේ.
කොස්ගසේ පුෂ්ප දෙවර්ගයක ඇත. එනම් ස්ත්‍රී (ඡායාංගය) හා පුරුෂ (පූමාංගී) මල් ය. ඒවා වෙන වෙනම පිපේ. පූමාංගි මල කොළ අතර අලුත් දණ්ඩක් ලෙස හෝ වෙනම පුෂ්ප මංජරී ලෙස පිහිටයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී පනා නමින් හැඳින්වෙන පුෂ්ප මංජරී ගෝලාකාර සංකීර්ණ මුඳුන් (ශීර්ෂකයෝ) ය. මෙම පුෂ්ප මංජරී දෙවර්ගයම තරමක් එක සමානය.
කොස් ගෙඩියක් හට ගන්නේ ඡායාංගී පුෂ්ප මංජරීයේ තිබෙන පුෂ්ප වල පරාගණය හා සංසේචනය සිදු වූ පසුවය. පරාගණයෙන් පසුව පූමාංගී පුෂ්ප මංජරීන් ඇකිල හැලේ. පුෂ්පයක් ගෙඩියක් බවට පත් වීමට මාස 2-3 ක් යයි.
කොස්ගසේ කඳේ හා විශාල අතුවල කොස් ගෙඩි සෑදේ. හොඳ වර්ගයේ ගසක් සිටුවා වසර 4-8 තුළදී ගෙඩි හට ගනී. ලොව ඇති පලතුරු ගස් වලින් නොළාගත හැකි විශාලතම ගෙඩිය කොස් ඉදී ඇතිවන වරකා හෝ වැල ගෙඩියයි. මෙය තරමක් ගෝලාකාර හෝ ආයත හෝ වේ. සමහර ගෙඩි කිලෝ 35 පමණ බර වන අතර සෙන්ටිමීටර් 15 සිට 100 දක්වා ආසන්න දිගක් හා සෙන්ටිමීටර් 45 - 75 ක් පමණ විෂ්කම්භයක් තිබේ. කොස් ගෙඩියේ පොත්ත කටු සහිත වේ. කුරු කොස් නම් කුඩා ගෙඩි සෑදෙන කොස්වල පොත්තේ කටු එතරම් පිහිටා නොමැත. මෙම කොස්ගෙඩිය යනු සංයුක්ත පලයකි. එය සෑදී ඇත්තේ කොස් වහල්ල වටේ තිබෙන සරල පල එකට එකතු වීමෙන් ය. අපි නිතරම රැස්කරන ඇට සහිත කොස් මදුළු යනු ජායාංගී පුෂ්පයකින් සෑදුණු සරල පලයකි.
මෙම මදුලේ මාංසල කොටස යනු ඡායාංගි පුෂ්පයේ පරිපුෂ්පයයි. කොස් ගෙඩියේ ඇට විශාල සංඛ්‍යාවක් ඇත. ගෙඩියේ තිබෙන ඉරිවලින් කොටසක් වද පුෂ්ප වේ. කොස් ගෙඩි වල ඇති මදුළු ගණන ගෙඩියේ ප්‍රමාණයේ අනුව වෙනස් වේ. කොස් වලින් අප රටේ ජනතාව තවම ලබන්නේ අල්ප ප්‍රයෝජනය. මේ නිසා කොස්වලින්ද ද්වීතියික නිෂ්පාදන කිරීම පිළිබඳව රජයත් කෘෂිකර්ම හා ආහාර බලධාරීනුත් දැඩි අවධානය යොමු කළ යුතු ය. ඒ වගේම කොස් ගස් කැපීම වැළැක්වීමේ නීති තව දැඩිවිය යුතු ය. හොඳ ප්‍රභේද වල කොස් පැළ රට පුරා බෙදා හැරීමටද විධිමත් ක්‍රමවේදයක් සැකසීම ජාතික අවශ්‍යතාවකි.
කොස් ගස් ශ්‍රී ලංකාවේ සෑම තැනම වැවෙන ශාකයකි. මුහුදු මට්ටමින් මීටර් 600 ක් උස ප්‍රදේශවලට මෙය ඉතා සුදුසු ය. කොස් ගෙඩි සෑදීම අවුරුද්දේ අප්‍රේල් මැයි ජුනි ජූලි මාසවල දී බහුලව සිදුවේ. නොවැම්බර් දෙසැම්බර් වුවද ගෙඩි හට ගනී. කෙසේ වුවත් කොස් පැළ සිටුවීමට කාලයක් අවශ්‍ය නැත.
පේරාදෙණිය සරසවියේ භෝග විද්‍යා අංශයේ මහාචාර්ය එච්.පී.එච්. ගුණසේන හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ පලතුරු පර්යේෂණ අංශය කොස් හා වරකා පිළිබඳව පර්යේෂණ රැසක් සිදු කර තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ පලතුරු අංශය මඟින් දැන් හොඳ ප්‍රමිතියේ කොස් ප්‍රභේද ගණනාවක් ගොවීන්ට හඳුන්වා දී තිබේ.
කොත්මලේ, මහරගම හා පාදර්ලෝන් යන නම් වලින් හැඳින්වෙන ප්‍රභේද තුනම ඉතාමත් රසවත් වරකා වේ.
කොත්මලේ වරකා ගෙඩියේ මදුළු තද කහ පාටය, දිගැටිය, රවුම්ය, මාංශය කොටසේ ඝනකම අඩුය. නමුත් මිහිරි රසයෙන් යුක්ත ය. කොහොල්ලෑ ඉතා අඩු ය.
මහරගම මදුළු තැඹිලි පාටය. මදුළුවල මාංසල කොටස ඉතා ඝනකමය. මෘදුය. දිගැටි හා මිහිරි රසයක් ගනී.
පාදර්ලෝන් මදුළු රවුම් ය. මදුළු මාංශ කොටස ඝනකමය. තද කහ පාට හා මිහිරි රසයකින් යුක්ත වේ.
මීට අමතරව උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මඟින් තවත් ඉතා සුවිශේෂී කොස් ප්‍රභේද 10 පමණ සොයා ඒ පිළිබඳ පර්යේෂණ කරගෙන යයි. එමෙන්ම තව ප්‍රභේද 34 ක් ද මෙහි ඇත. එසේ වුවත් ඒවා පිළිබඳ පර්යේෂණ කිරීමට තව කාලයක් ගතවනවා ඇත.
දැනට ගොවීන්ට හඳුන්වා දී තිබෙන ප්‍රධාන ප්‍රභේද 3 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපළ අංශයේ ඕනෑම අයෙකුට ලබාගත හැකිය.
මීට අමතරව කෑගල්ලේ එරමිණියගොල්ලේ පිහිටි ගොවිපළෙන්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නොරුවේ තිබෙන බීජ හා රෝපණ අංශයෙන්ද මේ නව ප්‍රභේදවල පැළ ලබාගත හැකිය. ඒ සමඟම පස්යාලේ හා අඹේපුස්සේ ගොවිපළවලද මේ නව ප්‍රභේද වල පැළ තිබේ. අඹතැන්නේ ඇති පැළ තවානේද මේ නව ප්‍රභේද වල පැළ විකිණීමට ඇත.
පලතුරු අංශය මඟින් කළ පර්යේෂණ අනුව ලැබී ඇති සුවිශේෂ කොස් ප්‍රභේද කිහිපයක් ද තිබේ. ඉන් කුරුවිට ප්‍රදේශයෙන් ලැබුණු එක් විශේෂයක පොත්තේ සිබිඩ්ඩක් නොමැත. තවත් කොස් ප්‍රභේදයක විශාල අතු නොමැත. එනම් මුළු කඳම ඍජුව ඉහළට යයි. එය මාතර ප්‍රදේශයෙන් හමුවූවකි. මේ ප්‍රභේදයේ ගෙඩි මැල්ලුම්වලට පමණක් පාවිච්චි කළ හැකිය. ඉතා පොඩි ගෙඩි වලින් යුත් මේ ප්‍රභේදය ජනතාවට හඳුන්වා දීමට දැනටමත් පර්යේෂණ කරගෙන යයි.
දැනටමත් රටට හඳුන්වා දී ඇති කොස් ප්‍රභේද ගණන 10 කට අධිකය. රෝස කොස්, මැන්ඩූර්, ආතර් වී දියෙස්, තෙලිප්පලායි, ජොහොර්, කුණ්ඩසාලේ වරණය 1, කුණ්ඩසාල් වරණය 2, ගන්නොරුව වරණය 1, ගන්නොරුව වරණය 2, කුරු යන ප්‍රභේද ඒ අතර ප්‍රමුඛ තැනක් ගනී. ඊට අමතරව කොස් දෙල්, චම්පාදෙන, කුරුකොස්, හත්වරකා හා ගනේගොඩ යන ප්‍රභේද ද අප රටේ ඉතා ජනප්‍රියව පවතී.
මෙම පර්යේෂණ මධ්‍යස්ථානය මඟින් විදේශීය කොස් ප්‍රභේද පිළිබඳව පර්යේෂණ කරගෙන යයි. මෙරට තෙත් හා අන්තර් කලාපයේ සාර්ථක ලෙස කොස් වගා කළ හැකිය. මනා ජල වහනයක් තිබෙන ගැඹුරු පසක් ඊට යෝග්‍යය. නිතර ජලය ලබා දෙමින් පසේ තෙතමනය පවත්වා ගත හැකි නම් වියළි කලාපයේ වුවද කොස් වගා කළ හැක.
වගාවට අවශ්‍ය සුදුසු පැළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපළ වලින් ලබාගත හැකිය. එසේ නැත්නම් වගා කිරීමට අවශ්‍ය කොස් ප්‍රභේදය මවු ශාකයේ ලබා ගත් අංකුරයක් හෝ රිකිල්ලක් වෙනත් ග්‍රාහක පැළයකට බද්ධ කිරීම මඟින් පැළයක් ලබාගත හැකිය. මෙම පැළයේ විෙශ්ෂත්වය වන්නේ මවු ශාකයේ සියලු හොඳ ගතිගුණ පැළයට ලැබීමයි.
පිළියෙල කරගත් පැළ සිටුවීමට සෙන්ටිමීටර් 60 x 60 x 60 (අඩි 2 x 2 x 2) ප්‍රමාණයේ වළක් අවශ්‍යය. පැළය වළේ සිටුවීමට පෙර වළේ මතුපිට පස හා කාබනික පෝර සම ප්‍රමාණ වලින් මිශ්‍රකර වළට දැමීම සුදුසු ය. ඉන්පසු සතියක් පමණ ගත වූ පසු වළ මධ්‍යයේ පැළය සිටුවිය යුතුය. වර්ෂා කාලය ආරම්භ වන වට පැළ සිටුවීම ඉතා සුදුසු ය. තනි පලතුරු වගාවක් ලෙස කොස් වගා කිරීමට අපේක්ෂා කරන්නේ නම් පේළි හා පැළ අතර පරතරය මීටර් 10 x 10 වන සේ වළවල් පිළියෙල කරගත යුතුය. මෙම පරතරය අනුව හෙක්ටයාරයක වගාවට කොස් පැළ 100 පමණ අවශ්‍ය වේ.
කොස් පලතුරු වගාවක් පමණක් ලෙස නොව වන වගාවක් ලෙසද කළ හැකිය. වන වගාවක් ලෙස වගාකරන විට පේළි හා පැළ අතර පරතරය මීටර් 3 x 3 ක් වන සේ වළවල් පිළියෙල කළ යුතුය.
නිදැල්ලේ විශාලව වැවෙන ශාකයක් වන කොස්ගසේ උස වැඩි වූ විට ගෙඩි කඩා ගැනීම දුෂ්කරය. මේ නිසා වරකා හෝ වැළ ලබා ගැනීමට කොස් වගා කරන විට ගස් හා අතු හැඩ ගැස්වීම හා නඩත්තුව මනා ලෙස ඉටු කිරීම අවශ්‍ය වේ.
මුලින්ම කොස් පැළයක් ස්ථිර භූමියේ සිටුවූ පසු ස්වාභාවික ලෙස වර්ධනය වීමට අවස්ථාව ලබාදිය යුතුය. ඊට පසු පාර්ශ්විකව වැඩෙන අතු සතර දිසාවට වැඩීමට දිරිගැන්විය යුතුය. මෙහිදී උසට යන අතුවල කුඩා ගල්කැට හෝ පොල්ලෙලි හෝ එල්ලීමෙන් එම අතු උඩට නොව හරස් අතට වැඩීමට අවස්ථාව ලබා දිය යුතුය.
ප්‍රධාන කඳ අඩි 15 - 20 ක් ලෙස ඉහළට වර්ධනය වූ පසු මුඳුන් අග්‍රස්ථ අංකුරය කපා දැමීම උචිතය. එසේ කපන විට කැපුම එක් පැත්තකට ඇලවී තිබිය යුතුය. එවිට ජලය එකතු නොවේ. එලෙස කැපූ දිනයේම එම කැපුම මත දිලීර නාශකයක් යෙදීමෙන් ගස තුළට රෝග කාරකයන් ඇතුළුවීම වැළැක්විය හැකිය.
පොළව සමඟ ස්පර්ශ වන අතු ද කපා ගැනීම අවශ්‍යය. හරස් අතට වැඩුණු අතු වලින් ඉහළට වැෙඩ අතු ළපටි කාලයේදීම කපා ඉවත් කිරීම මඟින් ගස හොඳින් වැඩෙනු ඇත.
ඵල දැරීම ආරම්භ වීමෙන් පසුව අස්වැන්න වාරයක් අවසන් වූ පසු රෝගී අතු හා මැරුණු අතු කපා ගස පිරිසුදු කර ගැනීම අවශ්‍යය.
කොස් ගස්වල ගෙඩි හට ගැනීමට මාස 2 - 3 කට පෙර ඒ ගස්වල කඳට ආසන්නයේම ඇති කුඩා අතු ඉවත් කිරීම මඟින් වැඩි ඵල සංඛ්‍යාවක් ලබා ගැනීමට පුළුවන. මේ ක්‍රම අනුගමනය කිරීම මඟින් අඩු උස සහිත අලංකාර ගසක් සකස් කර ගැනීමට හැකි වේ. එවිට කොස්ගෙඩි ආරක්ෂාකාරීව ඉතා පහසුවෙන් නෙළා ගත හැකි බව කිව යුතුය.
සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් කොස්ගස් වලට පොහොර දැමීමක් සිදු නොකරයි. එසේ වුවත් තෝරාගත් උසස් ආකාරයේ බද්ධ කොස් පැළයක් සිටවනු ලබන්නේ නම් උසස් ඵලදාවක් ලබා ගැනීම සඳහා කාබනික පෝර හෝ කොම්පෝස්ට් පෝර හෝ සත්ව පොහොර යෙදීම සුදුසුය.
මනාව පාලනය කරනු ලැබූ අවුරුදු 25 පමණ ඉක්ම වූ කොස් ගසකින් වර්ෂයකදී කොස් කිලෝ ග්‍රෑම් 450 ක ප්‍රමාණ අස්වැන්නක් ලබා ගැනීමට පුළුවන.
1918 දි කොස් මාමා හෙවත් ආතර් වී. දියෙස් මහතා අපේ රට පුරා කොස් වැවීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කළේය. එතුමා කොස් මාමා වූයේ ද ඒ නිසාමය. එතුමාගේ උනන්දුවේ ප්‍රතිඵලයක් ලෙස කොස් ගස පිළිබඳව හා එය ආරක්ෂා කිරීම පිළිබඳව එකල ලොකු උද්‍යෝගයක් රටපුරා ඇති විය. පිටරටට ලක්ෂ ගණන් විදේශ විනිමය යවා පාන්පිටි ගෙන්වා කිසිම ගුණයක් නැති “චූං පාන්” කන මේ වකවානුවේ යළිත් කොස්වල ගුණ හා රස පිළිබඳව අපේ රටේ ජනතාවට දැනුමක් ලබාදීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවක් බව කිව යුතුය.
නිහාල් පී. අබේසිංහ