දේවප්‍රතිරාජ ඇමැතිගේ අති සුන්දර දෙල් වනේ | සිළුමිණ

දේවප්‍රතිරාජ ඇමැතිගේ අති සුන්දර දෙල් වනේ

රාජධානිය- ප්ලාන්ටේ

ගෝත්‍රය- රොසේල්ස්

කුලය- මොරාසියා

වර්ගය- ආර්ටොකාපස්

දේවපතිරාජ ඇමැතිවරයාගේ කාලයේ කොස්‌ගොඩ මහා දෙල් වනයක්‌ තිබුණ බවට ජූජාවලිය සාක්ෂි දරයි. මේ දෙල් වනය සරු සාර දෙල්වලින් අලංකාර වී තිබුණ අතර ඒ ප්‍රදේශයේ ජනතාවගේ සා ගින්දර නිවූ බව ද සඳහන් වේ. මේ අනුව දෙල් රාජ රාජ මහා මාත්‍යවරුන්ගේ ආහාරයක් බව පසක් වේ. දේව ප්‍රතිරාජ ඇමැතියාට අයත්ව තිබූ මේ වනයේ තිබුණේ ගම් දෙල්. මේ දෙල් ඉතාමත් සරුවට වැඩුණු නිසා කොස් දෙල් කියලත් හඳුන්වන්න ගැමියන් පටන් ගත්තේ නිරායාසයෙනි. එහෙත් මේ වනයේ රට දෙල් තිබුණු බවට නම් හෝඩුවාවක් තිබුණේ නැහැ. මේ නිසා රට දෙල් අපට ආවේණික නොවූවක් බව අපට පිළිගත හැකිය. මේ නිසා අපේ රටට රට දෙල් පැමිණියේ විදෙස් රටකින් බව අපට පැහැදිලිය. අපේ රටට පෘතුගීසීන්, ලන්දේසීන් පැමිණි කාලයේ ඔවුන් වහල්ලුන්ගේ කෑම සඳහා රට දෙල් මෙරටට ගෙන ආ බව ගැමි ව්‍යවහාරයේ පැවැතේ. රට දෙල් පිළිබඳ මෙන්ම වල් දෙල් පිළිබඳවද මතයක් ගොඩ නැඟී ඇත. මෙරට වැසියන් මීට වසර 2500කට පෙර වල් දෙල් බීජ බැඳ ආහාරයට ගත් බවට සාධක තිබේ. දේව ප්‍රතිරාජ ඇමැතිවරයාගේ අනුදැනුම අනුව එදා වගා කළ දෙල් මේ වන විට විශාල ජනකායකගේ ප්‍රණීත ආහාරයක් බවට පත් වී ඇති බව පැහැදිලිය.

දෙල්වල විද්‍යාත්මක නාමය Artocalpus altilis වේ. මෙය කොස් පවුලට අයත් ශාකයකි. ශ්‍රී ලංකාවේ සදාහරිත වනාන්තරවල මෙය හොදින් වැවේ. මවු රට බ්‍රසීලය වුවද ශ්‍රී ලංකාවේද හොඳින් වැවේ. වල් දෙල්, බැදී දෙල්, කැලෑ දෙල්, සිංහල දෙල් ලෙස හඳුන්වනු ලබන මෙම ශාකය ඉංග්‍රීසි බසින් Bread Fruit ලෙසින් හඳුන්වයි. දෙල්වල පැසුණු පල සහ බීජ, අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයන් ප්‍රිය කළ ආහාර සේ සැලකේ.

දෙල්වල අඩංගු පෝෂණීය ගුණාගුණ

කාබෝහයිඩ්රේට් ප්‍රමාණයෙන් ඉතා වැඩි (21%ක් පමණ) ඵලය පිටි සහිතය. මෙය එළවළුවක් වශයෙන්ද ශ්‍රී ලාංකික ආහාරයට එක්කර ගන්නා පලයකි. පෝෂණමය වටිනාකම ගත් විට විටමින් C ඉතා වැඩි ප්‍රමාණයක් අඩංගුය. එනම් 48% කි. තවද තන්තුද ඉතා වැඩි ප්‍රමාණයක් අඩංගුවේ. මේ නිසාද දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායී ආහාරයකි. මෙහි විශේෂිත ප්‍රතිඔක්සිකාරක වන Leutin-xonthopinද අඩංගුය. මේ නිසාද දියවැඩියා රෝගීන්ට සුදුසුය. එහෙත් කාබෝහයිඩ්රේට් වැඩි නිසා දියවැඩියා රෝගීන්ට දෙල් වැඩිපුර ආහාරයට ගැනීමනම් නොකළ යුතුය. තවද මෙහි වැඩිපුර පොටෑසියම්ද අඩංගුය. එම නිසා මේවා හෘද රෝගීන්ට ඉතා සුදුසුය. විටමින් C වැඩිපුර අඩංගු නිසා මෙය කොලෑජන් තන්තු වර්ධනයටද එම නිසා තුවාල ඉක්මනින් සුවවීමේ ගුණයද පවතී. විටමින් B වර්ග වැඩි වශයෙන් අඩංගු බැවින් ස්නායු වර්ධනයටත් ඉතා සුදුසුය.

ශ්‍රී ලාංකික ආහාරයේ ප්‍රධානතම කාබෝහයිඩ්රේට සම්භවය වන බත් වලට දෙල් ආදේශකයකි. අපගේ ප්‍රධාන ආහාර වේල තුනට ගනු ලබන ආහාරවලින් එක් ආහාර වේලක් සඳහා ආදේශයක් ලෙස දෙල් තම්බා ආහාරයට ගත හැකි ය. විශේෂයෙන් ඉතා ඉහළ පෝෂණ මට්ටමක් ඇති නිසාත්, ශරීරයට මනා වූ ශක්තියක් ලැබෙන නිසාත් උදෑසන ආහාරවේල සඳහා දෙල් වඩාත් සුදුසු වේ. දෙල්

තම්බා පොල් සමඟ ආහාරයට ගැනීමෙන් පෝෂණ ගුණයෙන් සපිරි ආහාර වේලක් ලැබේ. දෙල්වල විටමින් C ඉතා වැඩි ප්‍රමාණයක් අඩංගු බැවින් මෙය අස්ථි දුර්වලතා රෝගවලට ඉතා කදිම ඔසුවකි. තවද තුවාල වියළීමට අවශ්‍ය විටමින් C පවතින බැවින් ආසාදන හා තුවාලවලට ගුණදායකය. දත් දිරායාම වළක්වන බැවින් දත්වල ආසාත්මිකතාවලටද කදිම ඔසුවකි. ඔස්ටියෝ පොරෝසිස්, ඔස්ටියෝ ස්ක්ලෙරෝසිස් යන අස්ථි රෝග දෙකටම ඉතා කදිම වන්නේ එහි phospherous ඉතා වැඩි වශයෙන් අඩංගු බැවින් හා calcium ද අඩංගු බැවිණි.

වල්දෙල් බීජ ඇදුම රෝගීන්ට සුදුසු සේ සලකනු ලබන අතර, මෙම බීජ මගින් සාදා ගනු ලබන තෙල් දේශීය වෙදකමේදී භාවිත කරනු ලබන බවත් පැවසේ.

දෙල් ශක්තිජනක ආහාරයක් ලෙසිනි. දෙල් ග්‍රෑම් 100 ක කිලෝ කැලරි 125 ක් ඇත. එම නිසා එය ශක්තිජනක ආහාරයක් ලෙසින්ද වැඩෙන ළමුන්ට ඉතා කදිමයි. තවද එය පිෂ්ඨය සහිත ආහාරයක් නිසාද තම්බා පිළියෙල කිරීමට ඉතා පහසුය. මේ නිසා පරිපුරක ආහාර වේලට ඉතා කදිම ආහාරයකි. විටමින් B ද C ද ඉතා වැඩියෙන් අඩංගු ය. පිෂ්ඨය සහිත බැවින් එය වැඩිපුර ආහාරයට ගැනීම අගුණ වුවද දියවැඩියාවට ඉතා අනගි වන්නේ එහි kt විශාල ප්‍රමාණ වලින් අඩංගු වන බැවිණි. ඉන්සියුලින් සෛල තුළට ග්ලූකෝස් ප්‍රවාහණය කිරීමේදී kt අවශ්‍ය වේ. මෙම නිසාද හෘද රෝගීන් පාවිච්චි කරන ඖෂධ නිසි කළමනාකරණය සඳහා kt අවශ්‍ය බැවිණි. මෙම රෝගීන්ට දෙල් ඉතා ගුණදායකය. ඔස්ටියෝ පොරෝසිස්, ඔස්ටියෝ ස්ක්ලෙරෝසිස් යන අස්ථි රෝග දෙකටම ඉතා කදිම වන්නේ එහි phospherous ඉතා වැඩි වශයෙන් අඩංගු බැවින් හා calcium ද අඩංගු බැවිණි.

මීට අමතරව,

• රුධිර ගත මේදය අඩුකරයි.

• යම් අවස්ථාවක ඇසේ තුවාලයක් ඇතිවුවහොත් එය සුව කිරීමේ අපූරු ගුණයක් දෙල්වල ඇත.

• ක්‍ෂය රෝගය, සන්ධි වේදනා, ආතරයිටිස්, පිළිකා රෝග, පටිපනු රෝගයට, මැලේරියාවට, පාචනයට, දියවැඩියාව වැනි රෝග රාශියකට දෙල් ආහාරයට ගැනීමෙන් ගුණදායක වේ.

• දෙල්වල කිරි (නැට්ටේ කිරි) දේශීය වෙදකමේදී ඖෂධයක් ලෙස භාවිත කරයි. ඒ විසර්ප (හමේ තැන් තැන් වල ඇතිවන බිබිළි වැනි තත්ත්වයන්) කුෂ්ට, පිළිකා වැනි රෝග නැසීම සඳහා ද දෙල් සුදුසුය.

දෙල්වල අහිතකර ගුණ:-

• දෙල් උෂ්ණ වීර්යයෙන් යුතු ආහාරයකි.දෙල් ආහාරයට ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතුයි. මන්ද උෂ්ණ ආහාරයක් වූ දෙල් නිසා ශරීරයේ උෂ්ණ ගතිය වැඩිවිය හැකි බැවිනි. උෂ්ණ ශරීරවල ට අහිතකරයි. මේ නිසා අධික ලෙස ශරීර දාහයක් ඇති අය දෙල් ආහාරයට ගැනීමෙන් වැළකී සිටින්න.

• ඔබ කටෙහි තුවාල දැමීම, තොල් පැලීම වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අයෙක් නම් දෙල් ආහාරයට ගැනීමෙන් එම රෝග තත්ත්වයන් වැඩි වේ.

• දෙපා පැළෙන රත්කවාත රෝගීන්ට ද දෙල් බොහෝ අගුණයි.

• බඩේ දැවිලලෙන් පෙළෙනා අයගේ දැවිල්ල ස්වාභාවික දෙල් ආහාරයට ගැනීමෙන් වර්ධනය වේ.

• උගුරේ දැවිල්ලක් ඔබට තිබේනම් දෙල් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු වේ.

• මුත්‍රා දැවිල්ල, අත්පා දැවිල්ල ඇති අයට ද මෙම ආහාරය ගුණදායක නොවේ. එමනිසා දෙල් ආහාරයට ගැනීමේදී මේ පිළිබඳවද සැලකිලිමත් විය යුතුවෙයි.

දෙල්වලින් පිළියෙල කළ හැකි විවිධ කෑම

දෙල් නොයෙක් ආකාරයෙන් ආහාර වට්ටෝරු රැසකින් පිළියෙල කර ගත හැක. දෙල්වල කාබෝහයිඩ්රේට 21% පමණ පවතින බැවින් එය පිෂ්ටමය ආහාර වට්ටෝරු ලෙසින් ආකාර කිහිපයකින් සකසා ගත හැක. එනම් උදය ආහාර වට්ටෝරු රැසකින් තැම්බීම, අල බෝල ලෙසින්, කට්ලට්ස් ලෙසින්, පැටිස් ලෙසින්, රෝල්ස් ලෙසින්ද බත් සමඟ ව්‍යංජනයක් ලෙසද පිළියෙල කරගත හැක.

ව්‍යංජන ලෙස - කිරට ඉවීම, තෙල් බැදුම, මැලවීම, දෙල් පොල් සම්බෝලය, බැදලා ඉවීම, බැදීම, දෙල් chips සැදීම යනාදී ලෙසයි. දෙල් කිරට ඉවීම, මිරිසට ඉවීම, තම්බා තෙම්පරාදුව, තෙම්පරාදුවට ඉවීම, දෙල් පොතු මැලවීම, පොතු බැදුම, පොතු බැදුම් මිශ්‍රණය, යනාදී වශයෙන් ආහාර වට්ටෝරු කිහිපයකි.

( පළමුව ළපටි හෝ හොඳින් පැසුණු පලවල පිට කටුව, මැද නාරටිය හා බීජ ඉවත්කර එම බීජ, සිහින්ව ලියාගනු ලබනවා. ඉන්පසුව බීජවල බීජාවරණද ඉවත්කර, එම බීජ සිහින්ව ලියාගත් මඩුලු සහ ඉරි සමග මිශ්‍ර කරමින් පොල් සහ අනෙකුත් මැල්ලුම් වර්ග සැදීම සඳහා භාවිතා කරනු ලබන ද්‍රව්‍ය යොදා මැල්ලුම් සකසා ගත හැකිය. මේ මැල්ලුම තෙල් ගතියෙන් යුක්ත බැවින් සාමන්යෙන් තෙම්පරාදු නොකර සිටීමට ගෘහණියන් පුරුදු වී සිටිනවා. එසේම හොඳින් පැසුණු පලවල මදුළු සහ බීජ පොල් කිරි යොදා කිරිකොස් පිළියෙල කරන අයුරින් පිස ගැනීම හෝ තෙම්පරාදු කරගැනීම සිදු කළ හැකිය. )

උපදෙස්-

වෛද්‍ය සෙලී ප්‍රනාන්දු.

ආහාර හා පෝෂණ විශේෂඥ

පවුල් සෞඛ්‍ය කාර්‍යයාංශය.

Comments