පල වැඩි කරන කල දැන වගාව | සිළුමිණ

පල වැඩි කරන කල දැන වගාව

සත්ත්වයන්ට සමගාමීව එදා මිනිසාත් පාරිසරික තත්ත්වයන්ට අනුගතව නිරන්තරවම ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කර ඇති බව පෙනේ. එනම්, දේශගුණික තත්ත්වයන් පරාජය කරවන්නට තැත් කිරීම වෙනුවට සොබාදහමේ නියමයන්ට යටත්ව ආහාර බෝග වගා  කරයි.

 

‘‘විද්‍යාත්මක හා කාර්මික දැනුම අත්විඳීමත් ඒ අනුව ස්වාභාවික තත්ත්වයන් පාලනය කිරීමේබලයමිනිසා විසින් හිමි කරගැනීමත් ‘ශිෂ්ටාචාරය’ වශයෙන් අරුත් ගැන්වෙයි’’ - ඇල්ෆ්‍රඩ් වේබර්

කාලයක් තිස්සේ මිනිසා දඩයම් යුගයේ හිඳ ඉනික්බිතිව ක්‍රමයෙන් ඉන් ඉවත්ව සංක්‍රමණය වූයේය. පසුව, ජීවත්වීම උදෙසා ස්ථිර වාසස්ථාන බිහිකරගැනීමත්, සාමූහික ජීවිතයට හුරුවීමත් නැතහොත් කණ්ඩායම් වශයෙන් ජීවත්වීමත් සමගම ශිෂ්ටාචාර බිහි වූ බව මානව විද්‍යාඥයෝ කරුණු දක්වති.

ආදී මිනිසා එනම්, මේ මොහොතේ සිට වසර පන්ලක්ෂයකට පෙරදී ‘මිනිසා’ නම් සත්ත්වයාගේ මූලික අවශ්‍යතාවය වූ ආහාර අවශ්‍යතාවය සාක්ෂාත් කර ගත්තේ මිහිමත අනෙකුත් සත්ත්වයින් මෙන්ම වනාන්තර ආශ්‍රිතවය. ආහාරය ශාකමය ආහාර වීම ප්‍රථම අදියරේදී සිදු විය. දෙවනුව මිනිසා සත්ත්ව ආහාර එනම් දඩයම ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමේ තවත් එක් ක්‍රමවේදයක් බව හඳුනාගන්නට විය. දීර්ඝ කාලයක් තිස්සේ මානවයාගේ පැවැත්ම තහවුරු කළ “දඩයම” ක්‍රමයෙන් පසුකාලීනව වෙනස් වූවේ ආහාර සඳහා සතුන් සිය වාසස්ථානයේම ඇති කර ආහාර කරගනිමිනි. එමෙන්ම ශාක ආහාර සොයා වනාන්තර පීරූ ගැහැනිය පසුකාලීනව ආහාර පිණිස බෝග වාසස්ථානයේ දීම වගාකරගන්නට උත්සුක විය.

එතැන් පටන් සභ්‍යත්වය, වෙනුවෙන් මෙවලම් නිපදවීමට මිනිසා ගත් පෙරටුගාමී පියවර සොබාදහම හා තරගය නිර්මාණය කරන්නට විය. අනේක වූ මෙවලම් නිෂ්පාදනයටත්, ඒවා භාවිතයටත් හුරුවීමෙන් සොබාදහමේ කොටසක්ව පැවැති මිනිසාගේ පැවැත්ම සොබා දහමෙන් ගැලවී යන්නට විය. ස්වභාවික පරිසරයේ සම්පත් උදුරා ගනිමින් අසීමිත අවශ්‍යතාවයන් කෘතීමව සපුරා ගැනීමේ ක්ෂණික වුවමනාව පෙරදැරි කරගත් මිනිසාගේ පරිභෝජන මාදිලිය ක්‍රමයෙන් මිනිසාගේ පැවැත්ම අභියෝගයට ලක් කරමින් කායිකව මිනිසා දුර්වලයකු කරන්නට වූයේය.

ස්වාභාවික ගොවිතැනට තිත තබා ගොවිතැන කර්මාන්තයක් කරගැනීමෙන් අනතුරුව මිනිසා ආහාර සඳහා වූ භව භෝග වර්ග සහ එහි ඊටම අවේණික ගුණය කෙරෙහි ඉතා බරපතල ලෙස බලපෑම් කළේය. ආදී මිනිසා ආහාර කරගෙන තිබුණු තිරිඟු, ඉරිඟු සහවී වැනි ධාන්‍ය වර්ග වගා කිරීමේ දී කාලගුණ දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීම ඉතා සවිඥාණිකව සිදු කරගෙන තිබුණි. සත්ත්වයින්ට සමගාමීව එදා මිනිසාත් පාරිසරික තත්ත්වයන්ට අනුගතව නිරන්තරවම ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කර ඇති බව පෙනේ. එනම්, දේශගුණික තත්ත්වයන් පරාජය කරවන්නට තැත් කිරීම වෙනුවට සොභාදහමේ නියමයන්ට යටත්ව ආහාර බෝග වගා කරයි. සෑමවිටෙකම අතිරික්ත ආහාර නිෂ්පාදනය පාරිසරික වෙනස්කම්වලදී මිනිසාගේ සුරක්ෂාව සහතික කළේය.

ඒ අනුව, ගොවිතැන යනු හුදෙක්ම කර්මාන්තයක් වනවා වෙනුවට එය මිනිසාගේ ජීවිතයේ කොටසක් සහ ආධ්‍යාත්මික ගොඩනැංවීමේ මෙවලම ද විය. එනම්, භව බෝග වගාවට නුසුදුසු පාරිසරික තත්ත්වයන් යටතේ ඔවුන් කාලානුරූපව ජීවිතයේ විවිධාකාර ඉසව් වෙත සිය සිතිවිලි බුද්ධියෙන් මෙහෙයවූහ.

ඔවුන් ස්වයංව පනවා ගත් සොබාදහමේ නීතියට අවනත වීම තුළ නීරෝගීභාවය සහ විවේක බුද්ධිය කැටි කරගත් අපූර්ව ජීවන මාදිලියක් පවත්වා ගත්තේය. එය සියලු සත්ත්වයින් වෙත දයාව වැපිරූ සොබාදහමේ ආදරයට පාත්‍ර වූ ජීවන විලාසිතාවක් විය. තිරසර ජීවන විධිය යනු එයය. සොබාදහමේ නීතිය රජකරන, සාමූහික ජීවිතය තුළ අනෙකා ඉවසන හා ගරුකරන, තරඟය වෙනුවට සහජීවනය තර වුණු, ඇති නැති පරතරය අහෝසි වුණු, ආධ්‍යාත්මික ජීවිතයකට හුරු වුණු මනුෂ්‍යයාගේ පැවැත්ම මිහිමත අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් නොවන යුගයක් තිරසර යුගයකි.

තිරසර යුගයක් වෙනුවෙන් සිහින දකින වත්මන් අධිවේගී ජීවිත ගතකරන මිනිසාගේ ආහාර සංස්කෘතිය අද සොභාවිකත්වයෙන් බැහැරව ගිය එකක් වූවේ ඒ ආකාරයෙනි. අද ජනප්‍රිය ආහාර වර්ණයෙන් රසයෙන් ස්වභාවයෙන් සහ හැඩයෙන් මුළු මහත් විශ්වයේම ඇත්තේ පොදු සමානත්වයකි.

ඒ තරමට ලෝකය තනි යායක් වී ඇති අතර, එදා පටන් අපට උරුමව තිබූ අපේ පරිසරයට දේශගුණයට ජානවල ස්වභාවයට යා වුණු ආහාර සංස්කෘතිය අද අමතකව ගොසිනි. ඒ වෙනුවට ලෝක බලවතුන්ගේ ආහාර විදිය ඔවුන්ගේ පාරිසරික තත්ත්යන් තුළ ඔවුන්ට හිතැති ආහාර විදිය, තුන්වන ලෝකය ගිළගෙන ඇති සෙයක් පෙනේ. අතීතයේ නීරෝගී ජාතියක් ලෙස ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කී අප ජාතියක් වශයෙන් දැන් රෝගීන්ය.

ඒ දියවැඩියාව, හෘදය රෝග, පිළිකා, වකුගඩු අකර්මණ්‍යය වීම වැනි හඳුනාගත් සහ නොගත් බෝ නොවන රෝග ගණනාවක් අපේ සමාජය වෙලාගනය. සිරුර දුර්වලව ගිය මිනිසා, භාවිත කරන මෙවලම් සහ නිෂ්පාදන නිසාවෙන් මහපොළවේ ජීවත්වන අනෙකුත් ජීවීන්ගේ ද පැවැත්ම අභියෝගයට ලක් කරමින් නොසිටින්නේද? පාරිසරික ගොවිතැනින් බැහැරවීමෙන් කෘෂි රසායනයන්ට ඇබ්බැහි වීමෙන් ද දැවැන්ත ඉලක්කයන් දරාගෙන නිෂ්පාදන ධාරිතාවය වැඩිකර ගැනීමෙන් ද ලෝකය ජය ගැනීමට අවි ආයුධ නිපදවීමෙන් සහ භාවිතයෙන් ද මිනිසා සොබාදහමට කරන බරපතළ ව්‍යසනය “මිහිකත” හඬවමින් තිබේ. මේ තත්ත්වයෙන් ඉවත්වීමට දරන උත්සාහය යනු හුදෙක්ම ආධ්‍යාත්මික විඳීමකට මිනිස් සිත අවදි කරවීමය.

 

 

පවිත්‍රා රූපසිංහ

Comments