
තම ගෙවත්තේ ඇති ඉඩකඩින් උපරිම ප්‍රයෝජනය ගනිමින් අවම වශයෙන් එක් පලතුරු භෝගයක් හෝ වගා කරන්නේ නම් එය තම කායික මෙන්ම මානසික නීරෝගි බවටද හේතු වේ. ගෙවත්තෙන් නෙළාගන්නා පලතුරු වසවිසෙන් තොරය; ස්වාභාවික නැවුම් රසයෙන් අනූනය. එය කායික නීරෝගි බවට හේතු වේ. තවද ඵල බර වී තිබෙන පලතුරු ගසක් දැකීමමද හිතට ප්‍රීතියක් හා ප්‍රබෝධයක් ගෙන දෙන අතර ගෙවත්තටද එක් කරන්නේ අලංකාරයකි.
නීරෝගි දිවි පැවැත්මක් සඳහා ආහාරයට පලතුරු එක් කරගැනීම අත්‍යවශ්‍ය වේ. ප්‍රධාන ආහාර වේලකට පසු අතුරුපස ලෙස පලතුරක් ආහාරයට එක් කරගැනීම බොහෝ දෙනාගේ පුරුද්දකි. එහෙත් මෙලෙස ආහාරයට එක් කරගන්නා පලතුරු බොහෝමයක් වෙළෙඳපොළෙන් මිල දී ගන්නා ඒවාය. එලෙස මිල දී ගන්නා සමහර පලතුරුවල ස්වාභාවික රසයද නොමැත. මන්ද යත්: බොහෝ විට පලතුරු මේරීමට ප්‍රථමව නෙළා ඒවාට කාබයිඩ් යෙදීමෙන් ඉදවීම සිදු කරන නිසාය. තවද වෙළෙඳපොළ ඉලක්ක කොටගෙන නිෂ්පාදනය කරන පලතුරු වගාවල රෝග හා පලිබෝධ හානි මර්දනය කිරීම සඳහා නිරතුරුවම කෘෂි රසායන ද්‍රව්‍ය එක් කරයි. මෙලෙස එක් කරන කෘෂි රසායන නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා එකතු කිරීමත් එක් කිරීමෙන් පසු දෙසතියක් ගත වීමටත් මත්තෙන් ඵල නෙළීමත් නිසා වෙළඳපොළ තුළ විකිණීමට ඇති පලතුරුවල බොහෝ විට ඒ අහිතකර කෘෂි රසායන ඉතිරිව පැවතීමට පුළුවන.
එහෙත් තම ගෙවත්තේ ඇති ඉඩකඩින් උපරිම ප්‍රයෝජනය ගනිමින් අවම වශයෙන් එක් පලතුරු භෝගයක් හෝ වගා කරන්නේ නම් එය තම කායික මෙන්ම මානසික නීරෝගි බවටද හේතු වේ.ගෙවත්තෙන් නෙළාගන්නා පලතුරු වසවිසෙන් තොරය; ස්වාභාවික නැවුම් රසයෙන් අනූනය. එය කායික නීරෝගි බවට හේතු වේ.තවද ඵල බර වී තිබෙන පලතුරු ගසක් දැකීමමද හිතට ප්‍රීතියක් හා ප්‍රබෝධයක් ගෙන දෙන අතර ගෙවත්තටද එක් කරන්නේ අලංකාරයකි. මෙමඟින් වෙළෙඳපොළෙන් පලතුරු ගැනීමට වැය කරන මුදලද ඉතිරි වේ. එපමණක් නොව, අතිරික්තය අලෙවියෙන් අමතර ආදායමක්ද ඉපයිය හැකිය.
පලතුරු පැළයක් තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු
ගෙවත්තේ පලතුරු පැළයක් සිටුවීමේදී නිවැසියන්ගේ රුචිය හා ප්‍රදේශයට යෝග්‍ය වන පැළ තෝරාගැනීම වැදගත් වේ.කෙසෙල්, පැපොල් ආදිය වසර පුරා ඵල දරන හෙයින් එවන් පැළයක් සිටුවීමෙන් නිවැසියන්ට වසර පුරා ඵලදාව ලබා ගත හැකිය.එහෙත් වර්තමානයේ ගෙවතු වල පවතින සීමිත ඉඩකඩ හමුවේ විශාලව වැඩෙන පැළ සිටුවීමද ගැටලු සහගතය.එමෙන්ම බීජ පැල වලින් ලැබෙන ඵලදාව ඒවායේ මව් ශාකයේ මෙන් රසවත් නොවන අවස්ථාවන්ද ඇත. එහෙත් මෙම ගැටලු මඟහරවා ගැනීමට පහසුම හා නිවැරදිම මඟ නම් බද්ධ කරන ලද පලතුරු පැල සිටුවීමයි.ඒවායෙන් කෙටි කලකින් ඉහළ ඵලදාක් ලබා ගැනීමට හැකිය. බීජ පැළ මෙන් නොව බද්ධ පැළ වලින් ලැබෙන ඵලදාවේ ගුණාත්මක බවද ඉහළය. බද්ධ පැළ ඉඩකඩ සීමිත නාගරික ගෙවත්තක බඳුන් ගතව වුවද වගා කළ හැකිය.
එහෙත් බද්ධ පැළ වුවද ලබාගත යුත්තේ බෙහෙවින් සැලකිලිමත්වය. බද්ධ පැළ ලෙස සැමවිටම තෝරාගත යුත්තේ ප්‍රදේශයට ගැළපෙන ප්‍රභේදයකින් හා රෝග වලින් තොර නීරෝගීව වැඩුණ පැළය. මිලදී ගැනීමට පෙර බද්ධ සන්ධිය හොඳින් පරීක්ෂා කළ යුතුය. බද්ධ පැළ විකුණන ස්ථාන මෙරට බොහෝ ඇතත් සැම විටම පැළ මිල දී ගත යුත්තේ විශ්වසනීය ස්ථානවලින් පමණකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් පැළ තවාන්වලින් පමණක් පැළ මිල දී ගැනීම වඩාත් යෝග්‍ය වේ. මෙලෙස මිල දී ගන්නා පැළ ගෙවතු හිමියන්ගේ රුචිකත්වය හා ගෙවත්තේ ඉඩකඩ අනුව සිටුවිය යුතු ස්ථානය තෝරාගත යුතුය.
වළවල් සැකසීම
පලතුරු පැළ සඳහා සාමාන්‍යයෙන් සෙ.මී. 60× 60× 60 ප්‍රමාණයේ හෝ ඊට මදක් විශාල වළවල් කැපීම යෝග්‍ය වේ. වළවල් කැපීමේදි වළ තුළ වන පස් ඉවත් කළ යුත්තේ මතුපිට පස් හා ඇතුළත පස් වෙන වෙනමය. පසුව කොම්පෝස්ට් පොහොර හා මතුපිට පස් හොඳින් මිශ්‍ර කර වළවල් අර්ධයක් පමණ පුරවනු ලැබේ. මූලික පොහොර යොදන්නේ නම් පැළ සිටුවීමට දින දෙකකට පෙර යෙදිය යුතුය.
පැළ සිටුවීම
වැසි සමය ආරම්භයත් සමඟ පැඝ සිටුවීම වඩාත් යෝග්‍ය වේ. බද්ධ පැළ සිටුවීමේදී එය රෝපණය කර තිබූ පොලිතීන් මළුව වෙන් කළ යුත්තේ පැ,යට හානියක් නොවන පරිදිය. වල තුළ සිටුවීමේන් පසු මතුපිට පස්වලින් වළෙහි ඉතිරිය පුරවා දැමිය යුතුය. පැළය සිටුවීමේදී කිසිවිටෙක පොලිතීන් මළුවේ පැළය තිබූ පස්මට්ටමට වඩා පස්වලින් පැළය යට කිරීමද නුසුදුසුය. මෙලෙස නිවැරදිව සිටුවූ පසු ජලය දැමීමද කළ යුතුය.
වගා නඩත්තුව
පැළ කුඩා අවධියේදී වැඩි අවධානයක් ඒ සඳහා දිය යුතුය. රෝග හා පලිබෝධ හානිවලින් මෙන්ම විය හැකි යාන්ත්‍රික හානිවලින්ද පැළයට හානි වීම වළක්වාගැනීම වැදගත් වේ.
වගා නඩත්තුව පලතුරු භෝග වර්ගය අනුව වෙනස් වේ. සමහර භෝග මුල් කාලයේදී සෙවණ ප්‍රිය කරන අතර, සමහර භෝග එතරම්ම සෙවණ ප්‍රිය නොකරයි. තවත් භෝග සඳහා ජල අවශ්‍යතාව වැඩි අතර, සමහර භෝග අඩු ජල සැපයුමක් යටතේ වුවද හොඳින් වර්ධනය වේ. මේ අනුව බෝගයට ගැළපෙන පරිදි නඩත්තු කටයුතු කළ යුතුය.
බෝග වර්ධනයට පෝෂක ලෙස පොහොර අත්‍යවශ්‍ය වන අතර, සුදුසු අවස්ථාවල පොහොර යෙදීම කළ යුතුය. බෝගය අනුව පොහොර අවශ්‍යතාවද විවිධ වේ.
ගස් කප්පාදුව හා ගස් පුහුණු කිරීමද ඉතාමත් වැදගත් වන වගා නඩත්තු පියවර වේ. මෙමඟින් රෝග හා පලිබෝධ හානි පාලනය වීමත්, වගාව පාලනය කිරීම පහසු කිරීමත් මෙන්ම ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමටත් හැකිවේ. භෝගයට මනා පෙනුමක් ලබා දීමද මෙමඟින් සැලසෙන අමතර වාසියකි.
මෙහිදී සිටුවූ පැලය උස අඩි තුනක් පමණ වන තෙක් පාර්ශ්වික අතු කපා ඉවත් කර ඉන් පසුව ප්‍රධාන අතු තුනක් බෙදී යන ලෙස පුහුණු කිරීම යෝග්‍ය වේ.
රෝගී අතු, දිය රිකිලි,මියගිය අතු ආදිය කපා ඉවත් කර, භෝග සැකිල්ල මනා ලෙස නඩත්තු කිරීමත් වැදගත් වේ. මෙලෙස අතු කපා ඉවත් කිරීමේදී තියුණු සැතක් භාවිත කිරීමත් අතු කපා ඉවත් කිරීමෙන් පසු දිලීර හා රෝග ආසාදනය වීම වළකීමට කැපුම් පෘෂ්ඨයේ ආරක්ෂිත ආලේපයක් ගැල්වීමත් කල යුතුය.
ඵලදාව ප්‍රමාද වන විට
සමහර පලතුරු භෝගවල ඵල දැරීම ප්‍රමාද වන අවස්ථාද දක්නට ඇත. එවන් අවස්ථාවල ප්‍රධාන අතු කිහිපයක කඳ වටා පොත්ත ඉවත් කිරීම කළ හැකිය. එමෙන්ම ප්‍රධාන අතුවල පොල් ලෙලි, ගල් කැට ආදිය එල්ලීමත් සුදුසුය. තවද ගසට හිරු එළිය හොඳින් පතිත වන ලෙස අනවශ්‍ය අතු ඉති කපා ඉවත් කිරීමත් වැදගත් වේ.ජලය හා පොහොර බෝගයට ප්‍රමාණවත් පරිදි යෙදීමත් මෙවන් අවස්ථාවලදී කළ යුතුම වේ.
අස්වනු නෙළීම
අස්වනු නෙළිය යුත්තේ නිසි කලය. ඵල මේරී ඉදීමට ආසන්න වූ විට නෙළාගැනීම සුදුසුය. වැඩි අස්වැන්නක් ලබන අවස්ථාවලදී නිවෙසේදීම ජෑම්, චට්නි, අච්චාරු, කෝඩියල් ආදිය සෑදීම මඟින් අතිරික්තය විනාශ වී යෑමද වළක්වාගත හැකිය.
උමයංගනා පූජනී ගුණසේකර