විෂනාශක කොහොඹ ගසින් ගව සම්පත සුවපත් වේ | සිළුමිණ

විෂනාශක කොහොඹ ගසින් ගව සම්පත සුවපත් වේ

කොහොඹ මෙරට කා අතරත් ප්‍රචලිත වටිනා ශාකයකි.විද්‍යාත්මකව Azadirachta indica ලෙස හඳුන්වන කොහොඹ Meliceae කුලයට අයත් වේ. විෂබීජනාශක ගුණයක් ඇති කොහොඹ සාමාන්‍ය භාවිතයට අනුව මිනිසාගේ රෝග සඳහා පිළියම් ගෙන දෙන ඖෂධීය වටිනාකමකින් යුක්ත වූවකි.එහෙත් එතරම් ප්‍රචලිත නොවුවද කිරි ගව පාලනයේදී ද කොහොඹ ශාකයෙන් ලබා ගත හැකි ප්‍රයෝජන රැසක් ඇත.විශේෂයෙන්ම ගව රෝග සුව කර ගැනීම සඳහා සාම්ප්‍රදායික කිරි ගොවි මහතුන් කොහොඹ ශාකයේ පත්‍ර , පල ආදී කොටස් භාවිත කරයි.

කොහොඹ පත්‍ර

කොහොඹ වලට විශේෂිත වූ විෂබීජ නාශක ගුණයක් ඇත.එහෙයින්ම කොහොඹ පත්‍ර තම්බා ගන්නා ජලයෙන් ගවයන්ගේ තුවාල සෝදා හැරීම මඟින් තුවාල සුවවීම ඉක්මන් කරගත හැකිය. කොහොඹ පත්‍ර කහ සමඟ එකට මිශ්‍ර කර අඹරා ගව තුවාල වල ගැල්වීමද ගව පාලනයේ භාවිත දේශීය අත් බෙහෙතකි.තවද පැටවකු ප්‍රසූත කළ පසු වැස්සියගේ ශරීරය පිරිසුදු කිරීමටද කොහොඹ පත්‍ර හා කොහොඹ පත්‍ර තැම්බූ ජලය යොදා ගන්නා අවස්ථා ඇත. කොහොඹ පත්‍ර ගව ආහාර සඳහා එක් කිරීමෙන් සාම්ප්‍රදායික කිරි ගොවි මහතුන්ගේ අත්දැකීමට අනුව ගවයන්ට නිතර වැළඳෙන පණු රෝග බොහෝමයක් පහසුවෙන්ම සුව කර ගත හැකියි.

කොහොඹ තෙල්

කිරි ගව පාලනයේ නිරත වන සියලුම දෙනා පාහේ ළඟ තබා ගන්නා අත්බෙහෙතක් ලෙස කොහොඹ තෙල් හැඳින්විය හැකිය.ගවයින්ගේ ශරීරයේ තුවාලයක් වූ කළ ඒ වටා කොහොඹ තෙල් ආලේප කිරීම මඟින් විෂබීජ හරණය වේ. එමෙන්ම කොහොඹ තෙල් හා පැඟිරි තෙල් එකට මිශ්‍ර කර ගවයන්ගේ සිරුරේ ගැල්වීම මඟින් කිනිතුල්ලන් ගෙන් ඇතිවන අපහසුතා මඟහරවා ගත හැකිය.

එමෙන්ම ගව මඩුවේ මැස්සන් කෝඳුරුවන් ආදිය ගැවසීම වැළැක්වීමට කොහොඹ තෙල් ඉසීම හෝ කොහොඹ දුම් ඇල්ලීම සාර්ථක පිළියමකි.

සාම්ප්‍රදායික ගව වෙදකමේ භාවිත වන මේ අත් බෙහෙත් සරලය .පහසුය.එමඟින් තුවාල ආදිය වණ වී රෝග උත්සන්න වීමේ අවධානම මුල් අදියරේදීම මඟහරවයි.

අතීත සාම්ප්‍රදායික ගව පාලනයෙන් උරුම වූ මෙකී දැනුම වර්තමානයටද වලංගුය.එහෙත් අවශ්‍ය අවස්ථාවලදී පශු වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගැනීම සාර්ථක කිරි ගව පාලනයකට අත්‍යවශ්‍යම කරුණකි.

පූජනී ගුණසේකර

කෘෂිකර්ම පීඨය

රුහුණ විශ්වවිද්‍යාලය

Comments