ලොව ආහාර සුවඳ කරන අපේ කුරුඳු | සිළුමිණ

ලොව ආහාර සුවඳ කරන අපේ කුරුඳු

ප්‍රිය උපදවන සුගන්ධයකින් යුතු කුරුඳු පොතු ආහාරයට එක්කර ගන්නා කුළුබඩු වර්ග අතර වැදගත් ස්ථානයක් උසුලයි. මෙරට කුරුඳුවලට ලෝකයේ සුපිරි තලයේ ඉල්ලුමක් පවතී. ලොව ප්‍රමුඛතාවය ලැබී ඇත්තේ ද මෙරට කුරුඳු පොතු වලටය. ලෝක වෙළඳපොලේ ස්වභාවික කුරුඳු ඉල්ලුමෙන් 85%ක් සපයන්නේ ද ශ්‍රී ලංකාවය.

ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වූ කුරුඳු වර්තමානයේ දකුණු පළාතේ කළුතර සිට බෙලිඅත්ත දක්වා මුහුදුබඩ ආසන්න ප්‍රදේශයේ වැඩි පැතිරීමක් ඇති අතර රත්නපුර දිස්ත්‍රක්කයේ ද කුරුඳු ප්‍රචලිතය. ගම්පහ වැනි ප්‍රදේශවල ද කුරුඳු ගස් සරුවට වැඩුණ ද ආදායම් මාර්ගයක් ලෙස යොදා ගැනීම අවමය.

ගෘහ ආර්ථිකය ප්‍රවර්ධනය කරගැනීමේ ලා කුරුඳු වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇත. මේ සඳහා ගෘහණිය වැඩි වශයෙන් යොමු කරවීම අරමුණ වී තිබේ.

කුරුඳු ශාකය සූර්යාලෝකයට අධිකව ප්‍රියකරන ශාකයකි. මේ අනුව වගා ක්ෂේත්‍රය සැකසීමේ දී විශාල ගස් ගලවා ඉවත් කළ යුතුය.

වගාවට යොදා ගන්නා ඉඩමේ රබර් වැනි වගාවක් තිබුණේ නම් රබර් මුල් ද ගලවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් කුරුඳ ශාකය සුදු මුල් නමැති රෝගයෙන් ආරක්ෂා කරගත හැක. එසේ වුවද භූමියේ ඇති වල්පැළ සම්පූර්ණයෙන්ම ඉවත් නොකළ යුතුය. වසර 15 ඉක්ම වූ පොල් වගාවක කුරුඳු වගාව ද කළ හැකිය.

කුරුඳු වගාවට පෙර පාංශු සංරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කළ යුත අතර ඒ සඳහා කුට්ටි කාණු හෝ ගල් වැටි හෝ යොදා ගැනීම සුදුසු වේ. භූමිය සකසා ගැනීමෙන් පසු සමෝච්ච රේඛාවකට අඩි එකක දිග පළලින් හා ගැඹුරෙන් යුතු වලවල් කපා ගත යුතු ය.

පැළ සිටුවීමේ දී මතුපිට පස යොදා ගනිමින් වලවල් පුරවා ගැනීම වඩාත් සුදුසු වේ. ඉඩම් අක්කරයක කුරුඳු පැළ 5400ත් 3600ත් අතර ප්‍රමාණයක් වගා කළ හැකි අතර වලවල් අතර පරතරය යොදා ගැනීම අනුව පැළ ප්‍රමාණය වෙනස් වේ. කුරුඳු වගාව සඳහා බෑවුම් සහිත ඉඩම් වඩාත් යෝග්‍ය වේ. භාවිත වගා පරතරය අනුව නිරෝගි පැළ ඉතිරිවන ලෙස දුර්වල පැළ ගලව ඉවත් කළ හැකිය.

වගාවෙන් වසරක් දෙකක් ගතවන විට ගස්වල පහළ හරස් අතු පොලවේ සිට සෙන්ටිමීටර් 35ත් 45ත් පමණ උසක් දක්වා ඉවත්කළ යුතුවේ. මෙමගින් පඳුරේ මුලට සූර්යාලෝකය කඳේ මුලට පතිති වීමෙන් කුරුඳු ශාඛයේ වැඩීම පහසු හා නිරෝගී කරවයි. සෘජු කඳක් ඇති වීමට ද මෙය උපකාරීවෙයි. තුනී පස් ස්ථරයකින් මුල වැසීමෙන් අලුතින් මොටෙයියන් දැමීමට උත්තේජනයක් වෙයි.

අස්වනු නෙළීම

අලුතෙන් වගා කළ කුරුඳු වගාවකින් වසර දෙක හමාරත් තුනත් අතර කාලයේ දී පළමු අස්වනු නෙලීමට හැක. පොත්ත දුඹුරු පැහැ ගැන්වීම අස්වනු නෙලීමට සුදුසු බවට හඳුනාගත හැකි මූලික ලක්ෂණයකි.

කුරුඳු කඳේ දුඹුරු පැහැ සුඹුලු සූරා ඉවත්කර සකසා ගත් දණ්ඩකින් සෙමින් තට්ටුකරමින් පිරිමැදීමෙන් පසු කුරුඳු පොත්ත බුරුල්කර , රවුම් තුඩක් සහිත පිහියකින් ගලවා ගැනීමට හැකි වේ. ගැලවූ පොතු සන්ධිකර කූරු සකසා දින හතරක් හතක් පවනේ වියළා ගනී. මෙහිදී තෙතමනය 14% නොයික්මවිය යුතුය. හොඳ කුරුඳු වගාවකින් වසරකදී හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් දහසක පමණ අස්වනු නෙළා ගත හැකි.

 

 

චන්ද්‍රිකා පෙරේරා

Comments