
ආදර්ශවත් ගෙවත්තක් මිහිමත ඕනෑම පුද්ගලයෙකු සතුව නිම් හිම් නැති ආඩම්බරක් පවතින බව පුදුමයට කරුණක් නොවන්නේ ය. දිනෙන් දින ඉහළ යන බෝ නොවන රෝග සඳහා කදිම පිළියම ලෙස සම්ප්‍රදායෙන් මිදී ගොඩනංවා වගා කරගත් තිරසාර ගෙවත්ත හැඳින්වීමට පුළුවන. තමන්ට හිමි ඉඩ කඩ ප්‍රමාණයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට උචිත වූවත්, මුදල් පසුම්බියට ගැළපෙන්නා වූත් ආහාර වේලක් සකසා ගැනීමට හැකි පරිදි ගෙවත්තක් සකසා ගැනීම නුවණට හුරු කාර්යයකි. වර්තමානයේ පවතින ආර්ථික දරිද්‍රතාව හා සැසඳීමේ දී සුළු හෝ බිම් ප්‍රමාණයක තිරසාර කෘෂිකර්මාන්තයට සමඟාමී වන පරිදි ගෙවත්තක් නිර්මාණය කිරීම පිළිබඳව වත්මන් සමාජයේ කතා බහට ලක් වේ. සාම්ප්‍රදායික ගෙවත්තෙන් මිදීමට කළ යුත්තේ කුමක්ද? යන්න පිළිබඳව රජරට විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය තම අදහස් දැක්වූයේ මෙලෙස ය.
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකින් ලැබෙන ප්‍රයෝජන අතිවිශාලය. අප සියලු දෙනාගේම ප්‍රාර්ථනය වන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හැකි උපරිම කාලයක් ගෙවා ගැනීම ය. රටක ඉතාම වැදගත් සම්පත වන්නේ එහි ජනගහනයයි.එය සෞඛ්‍ය හා ශක්ති සම්පන්නව රැකගතහොත් සෙසු සියල්ල ඒ අනුව සිදුවනු ඇත. මෙය පරිහානියට පත්වන්නට ඉඩ හැරියහොත් රට විනාශයට පත්වීම වෙනත් මොනයම් උපක්‍රමයක් භාවිතා කළ ද වැළැක්විය නොහැකි කාර්යයක් වනු ඇත.
ලෙඩරෝගවලින් ආරක්ෂාවීම යනු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා වන මාර්ගයයි. අද මානව සමාජය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන්නේ බෝ නොවන රෝගයන් සේ ගැනෙන තත්වයයි. මෙම රෝග තත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට ගමන් නොකළත්අප ගන්නා අහාර හා ආහාර රටාව ඒ හා තදින්ම සබැඳියාවක් දක්වන බව සොයාගෙන තිබේ. මෙම තත්ත්වය සැලකීමේදී හෙළිවන කරුණක් වන්නේ අපගේ ආහාර තෝරා ගැනීම් වලින් බලපෑමක්ඇති වන්නේ අපගේ පරිවෘත්තිය ක්‍රියාවලියකට පමණක් නොවන බවයි.රෝග ආරම්භ වීම, ප්‍රවර්ධනය සහ රෝග ආපසු හැරවීමද අප ගන්නා ආහාරවල බලපෑම මත සිදු වන බව සොයාගෙන ඇත .මිල අධික දියුණු යැයි සම්මත සෞඛ්‍ය ක්‍රමයන් මඟින් වුවද මේ බෝ නොවන රෝග තත්ත්වයන් සඳහා සාර්ථක පිළිතුරක් නොලැබෙන අවස්ථාවක, මේ සඳහා පිළිතුරක් සපයාගැනීම පුළුල් සමාජ දැනුවත්භාවයක් හා සහභාගීත්වයක් තුළින් සිදුවියයුතු බව අවබෝධ කරගෙන තිබේ. පර්යේෂණ මගින් සනාථ කර ඇත්තේ "හොඳ පෝෂණය " රෝග වැළැක්වීම සහ පාලනයට යොදාගත හැකි හොඳම අවිය බවයි.
නිවැරැදි ආහාර රටාවත් හඳුනාගත් පසුව ඊට ගැළපෙන ලෙස ඒ සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදනය සිදුකළ යුතු වන්නේ කෘෂිකර්මාන්තය තුළිනි. මෙම තත්වයට ගැළපෙන ලෙස පවත්නා කෘෂිකර්මාන්තය තුලද වෙනස්කම් සිදුකිරීම මගින් කෘෂිකර්මාන්තයේ සත්‍ය දායකත්වය එයට ලබාදිය හැකිය. ලෝක ජනගහනයෙන් බහුතරයක් යැපෙන වානිජ ආහාර නිෂ්පාදනය තුල මෙම ගැලපෙන වෙනස්කම් සිදුකිරීමද සෞඛ්‍ය ක්ෂේත්‍රය මඟින් මේ සඳහා පිළිතුරු සෙවීම තරම්ම මිල අධික ක්‍රියාවලියක් වේ. ලෝක ජනගහනයෙන් බහුතරය වානිජ කෘෂිකර්තමාන්තය මත යැපුණද යැපුම් කෘෂිකර්මාන්තය හා ගෙවතු වගාව මඟින් වන දායකත්වයද ඉතා විශාල වන අතර අදාළ ගුණාත්මක වෙනස්කම් මෙම අඩු යෙදවුම් යැපුම් කෘෂිකර්මාන්තයසහ ගෙවතු වගාව තුළ පහසුවෙන් කළ හැකි වන අතර එමගින් වාණිජ කෘෂිකර්මාන්තය තුළද අදාළ සුවදායි වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය උත්ප්‍රේරකය හා මගපෙන්වීම ලබා දිය හැකිය.
පෝෂණ විද්‍යාව ඉතා සංකීර්ණ කරුණු විශාල ප්‍රමාණයන්ගෙන් සමන්විත විෂයක් වුවද අපට ගැළපෙන අහාර වේලක් සඳහා මෙම සංකීර්ණත්වය ඉගෙනගැනීම අත්‍යවශ්‍ය නොවන අතර සරල තෝරාගැනීම් මගින් මේ සංකීර්ණ කරුණුවලින් කියවෙන තත්වයන් පහසුවෙන් සපුරාගත හැකිය.මේ සඳහා අපට අවශ්‍ය ආදර්ශයන් අප අවටින් හා අපගේ සංස්කෘතියෙන් ,පාරම්පරික දැනුමෙන් හා පුරුදු මගින් ඉතා පහසුවෙන් ලබා ගත හැකිය. අපට ඒ සඳහා අවශ්‍ය වන්නේ එම කරුණු පිළිබඳව උනන්දුවක් හා උත්සාහයක් පමණි. අප බොහෝ දෙනෙකුට අපගේ ආහාර අවශ්‍යතාවක් සම්පූර්ණයෙන්ම නොව බහුතරයක්වත් නිෂ්පාදනය කල නොහැකිවාක් මෙන්ම අපගේ සුවදායි පෝෂණ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් වෙළඳපොලෙන් මිලදී ගැනීමද කල නොහැකිවේ.අප පෞද්ගලිකවත්, සමාජයක් ලෙසත් හැඩගැසීම සඳහා මූලික පියවරක් ලෙස අපගේ ගෙවත්තේ හෝ ගොවිපලේ අපට අවශ්‍ය අයුරින් ආහාර වගාකරගැනීම හෙවත් නිෂ්පාදනය කර ගත හැකිය.මේ සඳහා අවශ්‍යවන්නේ අපගේ පෝෂණය හා එය සපුරාගැනීම පිළිබඳ අවබෝධයක් හා එම තත්වයට අවශ්‍ය ලෙසින් ආහාර යම් ප්‍රමාණයක් නිපදවීම සඳහා අවශ්‍ය දැනුම හා උනන්දුවක්ය.
ගෙවත්ත යන වචනය ඇසූවිට අපගේ සිතට නැගෙන පොදු රූපය වන්නේ අපට වෙෙළඳපොළේ දක්නට ලැබෙන එළවලු, පලතුරු, පලාවර්ග හා කුළුබඩු බොහෝමයකින් සමන්විත ඉතා අලංකාර රටාවකට සැකසූ ඵලබරින් යුත් ස්ථානයකි. ලංකාවේ පරිසර තත්වයන්හි විවිධ වෙනස්කම් තිබුණද ගෙවත්ත යන පොදු චිත්ත රූපයේ අඩංගු වන්නේ මෙම බෝග රටාවන්ය. මේ මගින් අපගේ එදිනෙදා එළවළු, පලතුරු අවශ්‍යතාවයන් සියල්ල ඉතා පහසුවෙන්,සෞඛ්‍ය සම්පන්නව හා ආර්ථිකව වාසිදායි ලෙසින් සපයාහැකි බවට හැගීමක්ද නිතැතින්ම ඇතිවේ.
සාර්ථක ගෙවත්තක් නිර්මාණය කිරීමට අවශ්‍යතාවය ඇති පුද්ගලයන් ලෙසින් අප මෙම සුවදායි සිතුවිල්ල සහිතව එය යථාර්ථයක් කරගැනීම සඳහා කටයුතු ආරම්භ කළ යුතු ය. මෙහිදී අප බොහෝ දෙනෙකු සිදු කරනුයේ අපගේ පරිසර තත්ත්වයන්, ඊට ගැළපෙන බෝග වර්ග හා ප්‍රමාණයන්, ගෙවත්තක නඩත්තුව සඳහා යෙදවිය හැකි අපගේ සම්පත් සහ අපගේ පෝෂණ අවශ්‍යතාවයන් ආදී තත්වයන් පිළිබඳ අඩු වැටහීමක් සහිතව ගෙවත්තක කටයුතු ආරම්භ කිරීමයි.
උපදෙස් - සංජීවනී ගිනිගද්දර
ජේෂ්ඨ කථිකාචාර්ය
කෘෂිකර්ම පීඨය, රජරට විශ්වවිද්‍යාලය