
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනට උපකාරවන තේ කර්මාන්තයේ නිෂ්පාදනයෙන් 74.5%කට දායකත්වය සැපයන්නේ කුඩා තේ ඉඩම් හිමියන් සතු කුඩා තේ ඉඩම් මඟිනි. මේ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 121967 දක්වා දැන් වැඩිවී තිබේ.
කුඩා තේ වතු සංවර්ධන සමිති සංඛ්‍යාව 2016 සංඛ්‍යා ලේඛනවලට අනුව 1401කි.
මේ සමිතිවල සාමාජික සංඛ්‍යාව 288983කි. අවාසනාවකට මෙන් සමිති සාමාජිකයන් මෙන්ම ඒවායේ නිලතල හොබවන්නේ ද බොහෝවිට වයස 50 ඉක්මවූ ව්‍යවසායකයන් වීම කලක සිටම දක්නට ලැබෙන තත්ත්වයයි. තේ කර්මාන්තයේ කුඩා ඉඩම් අංශයේ සංවර්ධනය සඳහා මේ කර්මාන්තය තරුණපෙළට බාරදීම අවශ්‍ය පියවර ගැනීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය දැන් පියවර ගනිමින් සිටී.
කුඩා තේ ඉඩම් හිමියන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. 2014 කුඩා තේ ඉඩම් හිමියන්ගේ සංඛ්‍යාව 392108කි. 2015 දී 392979 ක් වූ එම සංඛ්‍යාව 2016 දී 393420 දක්වා වැඩි විය. ඉදිරියේදී මේ සංඛ්‍යාව තවත් වැඩි වනු ඇත.
ගාල්ල, රත්නපුර, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, කෑගල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල කුඩා තේ ඉඩම් හිමියෝ විසිරී සිටිති. කුඩා තේ වතු හිමියනගේ ආදායම් තත්ත්වය ක්‍රමයෙන් වැඩිවෙමින් තිබෙන නිසා කුඩා තේ වතු අංශයට තරුණ පෙළ සම්බන්ධ කර ගැනීම එතරම් අමාරුවක් නොවන බව ද පෙනී යයි.
එදා 2014 අමු තේ දලු කිලෝවකට ලැබුණේ රු. 67.54 ක මිලකි. 2015 තේ කර්මාන්තය බරපතළ අර්බුදයකට මුහුණ දුන් නිසා කිලෝවකට ලැබුණු මිල රුපියල් 58කි. අද විට තේ කර්මාන්තය නැවත ප්‍රකෘතිමත්ව තිබේ. අමු තේ දලු කිලෝවකට රුපියල් 100කට කිට්ටු ආදායමක් හිමි වේ.
වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ අදහසක් පිට ක්‍රියාත්මක වන මේ වැඩ සටහන කුඩා වැවිලි පුනර්ජීවනය අරමුණු කර ගත්තකි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියල්ල වැවිලි කර්මාන්ත ඇමැතිවරයාගේ අනුග්‍රහයෙන් සපයා දී ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා කියයි.
අවුරුදු තුනක කාලයක් ඇතුළත හෙක්ටයාර් 10,000ක කුඩා තේ ඉඩම් ප්‍රමාණයක් සංවර්ධනය කර ජාතික තේ නිෂ්පාදනය ශක්තිමත් කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණක් යැයි විජේරත්න දේවගෙදර මහතා කියයි.
එසේම මේ එක් දිස්ත්‍රිකයකින් තරුණයන් සියදෙනා බැගින් දිසා අටකින් තරුණයන් අට සියයක් තෝරා ගැනීමෙන් පසු තේ වගාවේ සියලු අංශ පිළිබඳව ඔවුනට නේවාසිකව පුහුණුවක් ලබා දී ඔවුන් තේ වගාවට යොමු කර වීමට ද නියමිතය.
තරුණයන් තෝරා ගැනීම සඳහා තේ වැවෙන දිස්ත්‍රික්ක 8 අතර තරගාවලි පවත්වා ඉන් ජය ලබාගන්නා තරුණයන්ගෙන් තරුණ බළකායක් පිහිටුවා ගත්නා බවද, තෝරාගත් ප්‍රථම තරුණ කණ්ඩායම මේ වන විට සිය නේවාසික පුහුණුව සපුරා ඇති බව ද විජේරත්න මහතා කියයි. තේ කර්මාන්තයේ අනාගතය පිළිබඳව 2015 දී පැවැති අවිනිෂ්චිතභාවය දැන් තුරන්ව ගොස් ඇති බව කියන විජේරත්න මහතා මැද පෙරදිග තේ මිලදී ගත් රටවල ඉස්මතු වූ දේශපාලන අස්ථාවර ස්වභාවය දැන් පහව ගොස් ඇතැයි ද කියයි. එම රටවල ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීම නිසා ඔවුන් කොළඹ තේ වෙන්දේසියට ඉදිරිපත් වීම දැන් දක්නට ලැබෙන බවද විජේරත්න මහතා කියයි.
එසේම කොළඹ තේ වෙන්දේසියට ඉදිරිපත් වන පහත රට තේ සඳහා ඉහළ මිලක් හිමි වන බවද ඒ මහතා කියයි. මේ නිසා කුඩා තේ වතු අංශය සංවර්ධනය කිරීමෙන් ග්‍රාමීය ප්‍රදේශයනට මිල මුදල් ගලා ගොස් ග්‍රාමීය ප්‍රදේශයන්හි ආර්ථිකය ශක්තිමත් වන බවද කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි.
රත්නපුර කරපිංචේ මෙරිල් දිසානායක කුඩා තේ ඉඩම් හිමි තරුණ ව්‍යවසායකයෙකි. ඔහු කීවේ 2015 සිංහල අවුරුදු සමයේ අමු තේ දලු කිලෝවකට රුපියල් 65 ක් ලැබු නමුත් අද රුපියල් 100කට නොඅඩු ආදායමක් ලැබෙන නිසා සතුටුදායක ලෙස ආදායම වැඩිව ඇති බවයි. එහෙත් ශ්‍රමිකයන්ගේ හිඟයත් ශ්‍රමික කුලිය ඉහළ යෑමක් ගැටලුවක් බව ඔහු කියයි. ශ්‍රමිකයකුගේ දෛනික කුලිය රුපියල් 1200කි.
2017 මැයි මාසයේ සිදු වු ගංවතුර සහ නායයෑම් නිසා රත්නපුර ප්‍රදේශයේ කුඩා තේ වතුවලට හානි සිදු වු බව කියන ඒ මහතා වගා පුනරුත්ථාපනය සඳහා තරුණ පෙළ ඉදිරිපත් වු නමුත් විධිමත් දැනීමක් නොලැබීම නිසා වගා පුනරුත්ථාපන කටයුතු අතපසු වු බවත් කියයි. එහෙයින් කුඩා ඉඩම් හිමි තරුණ පරපුර සඳහා විධිමත් වැවිලි අධ්‍යාපනයක් ලාබා දීම කර්මාන්තයේ දියුණුවට හේතුවන බවත් ඒ මහතා කියයි.
ඔහුගේ කතාවේ සත්‍යයක් තිබේ. 2017 මැයි මස ස්වාභාවික විපත් නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක, කුඩා ඉඩම් හෙක්ටයාර් 159 ක තේ වගා වැනසී ගියේය. එමගින් හානි ලද පිරිස 1073කි. අර්ධ හානි ලද පිරිස 2132 කි. ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 374කි. මේ අයුරින් ගාල්ලේ කුඩා තේ ඉඩම් හෙක්ටයාර263ක් ද කළුතර හෙක්ටයාර් 502ක් ද සහමුලින් විනාශ වී ගියේය. මේ නිසා ඉඩම් හිමියනට වූ පාඩුව මකා ගැනීමට ආධාර කිරීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට සිදුවිය. මෙවැනි පුනරුත්ථාපනයකදීද කිසියම් අධ්‍යාපනයක වාසිය වැදගත්වේ.
කුඩා තේ වතු අංශයේ නිමි තේ නිෂ්පාදනය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 1872කි. හෙක්ටයාර 10,000 ඉලක්කය සපුරා ගැනීම ජාතික නිෂ්පාදනයට තේ කිලෝ ග්‍රෑම් 18700000 ක් එකතු වීමයි. එසේම තරුණ පෙළට නව ආදායම් මාර්ගයක් විවෘත වීමයි.
මේ අතර තේ මණ්ඩලය ද තේ පැළ නිෂ්පාදනයට සැලැස්මක් සකස් කර ඇත. ඉදිරි කාලයේ දී අඩුමිලට තේ පැළ සැපයීම එහි අරමුණයි.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ තොරතුරු විවරණයක් කරන ඒසියා සියක කොමඩිසි ආයතනය 2018 දෙවන කාර්තුවේ සිට තේ අංශය වඩාත් යහපත් වන බව කියයි. ඉරානය සහ ශ්‍රී ලංකාව අතර වඩා යහපත් වෙළෙඳ සබඳතා ගොඩනැගී තිබුණ ද, ඒසියා සියක පවසන්නේ ඉන්දියා අපනයන අංශ ඉරානයේ වෙළෙඳ අවස්ථා ඩැහැගැනීමට සුදානමින් සිටින බවයි. එමගින් 2018 අපේ තේ අපනයනට බලපෑම් සිදුවීමට ඉඩ තිබේ.
ශ්‍රී ලංකාවේ අනාගත තේ අපනයනය සඳහා තුර්කිය වඩාත් සක්‍රිය වෙළෙඳ පොළක් වන ලකුණු පහළ වෙමින් තිබේ.
තුර්කිය 2016 දී ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් දස ලක්ෂ 51.6ක් වටිනා භාණ්ඩ අපනයනය කළ අතර ශ්‍රී ලංකාවෙන් ඇ.ඩොලර් දස ලක්ෂ 105ක භාණ්ඩ ආනයනය කර තිබේ. ඒ අනුව තුර්කි - ශ්‍රී ලංකා වෙළෙඳාමේ වැඩි වාසිය ශ්‍රී ලංකාව සතුවේ.
තේ කෝපි සහ කුළුබඩු යන භාණ්ඩ තුර්කිය විසින් මිලට ගනු ලැබේ. තුර්කිය වාර්ෂිකව තේ කිලෝ මෙ.ටොන් 259000 ක් නිෂ්පාදනය කරන නමුත් ඒ නිෂ්පාදනය රටේ අවශ්‍යතාව සපුරන්නේ නැත. ඒ නිසා තේ ආනයනය කිරීමට තුර්කියට සිදුව තිබේ. තුර්කියේ එක පුද්ගල වාර්ෂික තේ පරිභෝජනය තේ කිලෝ 3.6කි.
කුඩා තේ වගා ඉඩම් හිමි පවුල් තුන් ලක්ෂ පනස් දහසක් දෙනාගේ ආදායම් මාර්ගය තවත් පුළුල් කිරීම සඳහා කටයුතු කිරීමත් ඔවුනගේ අනාගතය සුරක්ෂිත කිරීමත් කුඩා තේ ඉඩම් සංවර්ධනය අධිකාරියේ වගකීමකැයි එහි සභාපතිවරයා කියයි.
කුඩා තේ ඉඩම් යනුවෙන් සඳහන් වන්නේ අක්කර 10න් අඩු තේ ඉඩම්ය. එබඳු ඉඩම් සංවර්ධනය කිරීම, නිෂ්පාදනය වැඩිකිරීම, අලෙවි පහසුකම් දියුණු කිරීම, ඔවුනගේ සුබසාධනය සැපයීම අරමුණු කරගත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය 1977 පෙබරවාරි 1 වනදා ස්ථාපිත කරන ලද්දකි.