කැමැති නම් උඳු වවන්න | සිළුමිණ

කැමැති නම් උඳු වවන්න

ඉන්දියානු ආහාර වර්ග බොහෝමයක් පිළියෙල කර ගැනීම සඳහා උඳු වඩාත් ප්‍රයෝජනවත් ධාන්‍ය වර්ගයකි. ඒ නිසාම වර්තමාන වෙළෙඳපළේ උඳු අනෙකුත් ධාන්‍ය පිටිවලට සාපේක්ෂව මිලෙන් වැඩි වී තිබේ. උතුරුකරයේ වගා කරන උඳු, අවසානයේ දී සරු අස්වැන්නක් හිමි කර ගැනීම සඳහා ගොවීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වේ.

අප රටේ විශේෂයෙන්ම උතුරු මැද හා උතුරු පළාත්වල ජනප්‍රිය රනිල බෝගයකි. එය අඩු ජල ප්‍රමාණයක් යටතේ සාර්ථකව වගා කළ හැකිය. අප රටේ වගා කරනු ලබන, අසල්වැසි ඉන්දියාව සමග තරගකාරී මිලකට නිපදවිය හැකි බෝග කිහිපයෙන් උඳු ද එක් බෝගයක් වේ. නියගයට ඔරොත්තු දීමේ වැඩි හැකියාවක් පවතින බෝගයකි. එහෙත් අර්ධක හා මල් හටගන්නා අවස්ථාවේදී පසෙහි ජල හිගයක් නොපැවතිමද වැදගත්ය. කරල් මේරීමේ හා අස්වනු නෙළන අවස්ථාවේදී වියළි කාලගුණයක් තබීම ඉතා වැදගත්ය. එනිසා යල සහ මහ කන්න දෙකෙහිදිම මෙම බෝගයට අවශ්‍ය වන කාලතුණික තත්ව අප රටේ වියළි හා අතරමැද කලාපවල පවතී.හොඳින් ජලය බැසයන වැලිලෝම පසක් වගාවට වඩා සුදුසුය. එහෙත් මැටි ස්වභාවය අධික පස්වලද උඳු වගා කළ හැකිය. මුං හා කව්පි වලට වඩා තරමක දුර්වල ජලවහන තත්ත්වයක් වුවද බෝගයට දරාගත හැකිය. ඉඩමෙහි පස පෙරලා හොදින් කැට පොඩිකර ගන්න. වගාවට වඩා සුදුසු අන්දමට බිම් සකසාගත හැකි වන්නේ පසෙහි තෙතමනය වැඩි හෝ තදින් වියළි හෝ ඇති අවස්ථාවන් මග හැර බිම් සැකිසීමෙනි.

නිර්දේශිත ප්‍රභේදය වන්නේ එම්. අයි. 1 වේ.දින 90 දී අස්වනු නෙළාගත හැකිය. ප්‍රමාණයෙන් විශාල බීජ, කළු පැහැතිය. කරල් වල බූව පවතී. හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 25 - 30 බීජ වගා කළ හැකි ය.මහ - ඔක්තෝබර් අග සිට නොවැම්බර් මැද දක්වා සිටුවා ගත යුතු ය. තව ද යල - අප්‍රේල් මස මුල් කාලයේදී ලැබෙන පළමු වර්ෂාවත් සමග සිටුවීම වඩාත් උචිත ය. සරු ඉඩම්වල බීජ පේළි අතර සෙන්ටි මීටර් 40 හා පැළ අතර සෙන්ටි මීටර් 8 ක පරතරය සිටින සේ සිටුවීමත් ,නිසරු ඉඩම්වල බීජ පේළි අතර සෙන්ටි මීටර් 30 හා පැළ අතර සෙන්ටි මීටර් 8 ක පරතරය සිටින සේ සිටුවීමත් සුදුසු ය.පසෙහි ජලවහනය දුර්වල විටදී සහ අමතර ජල සම්පාදනයක් යටතේ වගා කරන විට උස් පාත්ති හෝ වැටි සකසා බීජ සිටු විය යුතුය. හොදින් ජලය බැසයන ගොඩ ඉඩම් වල සමතලා බිමෙහි බීජ සිටුවිය හැකිය.ඉපනැල්ල සහිත කුඹුරුවල වගා කරනවිට නියමිත පරතරයට සකසාගත් නොගැඹුරු ඇලි දිගේ බීජ සිටුවීම උචිත ය. මේ සඳහා වප්කරයක් වුවද භාවිතා කළ හැකිය. බීජ සෙන්ටි මීටර් 2 - 3 ගැඹුරින් සිටු විය යුතු ය.

මුලික පොහොර, යූරියා හෙ./ කි.ග්‍රෑ 30,ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙ./ කි.ග්‍රෑ 140 ,මියුරියේට් ඔෆ් පොටෑෂ් හෙ./ කි.ග්‍රෑ 75 ද,මල් හටගැනීම ආරම්භයේදී යූරියා හෙ./ කි.ග්‍රෑ 30 පොහොර යෙදීමට මතක තබා ගත යුතු ය.

වගාවේ මුල් සති 3 තුලදී දින 4 වරක් බැගින් ද ඉන්පසු දින 7 වරක් බැගින් ද ජලය සැපයිය යුතු ය. පසෙහි පවතින තෙතමන ප්‍රමාණය අනුව ජලය ලබා දීමත් කාලාන්තරය වෙනස් කිරීමත් කළ යුතු ය. විශේෂයෙන්ම මල් පිපීම හා කරල් පිරීම සිදුවන අවස්ථාවලදී බෝගයට ජල හිගයක් ඇති නොවීමට වග බලා ගත යුතු ය.සිටුවා සති 3 දී හා 6 දී වගාවේ වල් පැළ උදලු ගා දැමිය යුතු ය. පූර්ව නිර්ගමන වල් නාශක් භාවිතා කරන්නේ නම් බීජ සිටවු වහාම පසේ තෙතමනය ඇති විට කළ යුතුය.

කෘමි පාලනය බෝංචි මැස්සා

කොදුරුවෙකුට සමාන මැස්සෙකි. පත්‍ර 2 -3 ඇති විට හානි කිරීම නිසා ළපටි කද පුපුරා පැල විනාශ වේ. මේ සදහා විශේෂයෙන් යල කන්නයේදී ප්‍රමාද නොවී වගාව ආරම්භ කළ යුතු ය. නිර්දේශිත කෘමිනාශකයක් වගාවට යෙදිය යුතු ය.

කරල් විදින පණුවා

මල් හා කරල් හටගන්නා අවස්ථාවේදී මෙම හානිය දැකගත හැකිය. නිර්දේශිත කෘමි නාශකයක් වගාවට යොදා පාලනය කර ගත යුතු ය.

කොළ කන දළඹුවන්

දරුණු හානියක් පවතී නම් පමණක් කෘමිනාශකයක් භාවිතා කළ යුතු ය.

රෝග පාලනය කහවන් විචිත්‍ර වෛරස් රෝගය

පත්‍රවල කහ කොළ විච්ත්‍රයක් ඇති වේ. කරල් කහපාට වී විකෘති වන අතර බීජ හැකිළී යයි. රෝගී ශාක කුරුවේ.

කන්නය ප්‍රමාද නොවී වගාව ඇරඹීම, රෝගී පැල දුටු විගස ගලවා විනාශ කිරීම හා වල් පැළෑටි පාලනය පිළිබදව සැලකිලිමත්වීම මෙම රෝගය පාලනය සදහා විශේෂයෙන් වැදගත්ය. රෝගය බෝකරන සුදුමැස්සා මර්ධනය කිරීම සදහා නිර්දේශිත කෘමිනාශකයක් වගාවට යෙදීමද කළ හැකිය.

තව ද පිටිපුස් රෝගය, පත්‍ර පුල්ලි රෝගය හා පත්‍ර මලකඩ රෝගය ද තෙත් කාලගුණ තත්ත්වවලදී උඳු වගාවට වැලදිය හැකිය. නීරෝගී බීජ සිටුවීම සදහා යොදාගැනීමත්, රෝගය දරුණු තත්ත්වයට පත්වේයයි නිගමනය කළහොත් නිර්දේශිත දිලීර නාශකයක් යෙදීම මඟින් මේ රෝගය පහසුවෙන් පාලනය කරගත හැකිය.

අස්වනු නෙළීම.

මේරූ කරල් වියළී ඇතිවිට වුවද පුපුරා නොයන නිසා කරල් සියල්ල කළු පැහැ වු විට දෑකැත්තක් මගින් ගසෙහි පහළින් කපා පළමුව අව්වේ දමා වියළා ගෙන ඉන් පසුව ලීයකින් තැලීම මගින් හෝ ගවයන් හෝ ට්‍රැක්ටර් යොදා හෝ බීජ වෙන්කර ගත යුතු ය.

අස්වැන්න උසස් වගා පාලන තත්ත්ව යටතේ හෙක්ටයාරයකින් කිලෝ ග්‍රෑම් 1650 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.බීජ පිරිසුදුකර හොදින් වියළා ගබඩා කළ යුතු ය. උඳු රනිල ගුල්ලාගේ හානියට තරමක් ඔරොත්තු දේ.

උපදෙස්- ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය

Comments