
බොහෝ දෙනෙක් අළු කෙසෙල් උයලා පොත්ත විසික් කරනවා. කෙසෙල් පොත්ත කියන්නේ විටමින් B6 , B12 , මැග්නීසියම් , පොටෑසියම් , කෙඳි සහ ප්‍රෝටීන් අනූන ආහාරයක්. මේ කෙසෙල් පොත්ත ඉතාම රසවත් ලෙස උයා ගන්න පුළුවන්. බත් කෑමට විශේෂයෙන් ව්‍යංජනයක් ලෙස භාවිත කරන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
• හොඳින් මේරූ අළු කෙසෙල් ගෙඩි 5ක පමණ පොතු
• කැබලි මිරිස් හැඳි 3ක්
• අමු තුනපහ හැඳි 1ක්
• කහ හැඳි බාගයක්
• කරපිංචා මිටක්
• ලොකු ලූනු ගෙඩියක්
• අමුමිරිස් කරල් 5ක්
• අබ ස්වල්පයක්
• උම්බලකඩ හෝ කරවල (කුඩා කැබලිවලට කපා ගන්න)
හදාගන්නා ක්‍රමය
මුලින්ම කෙසෙල් පොතු හීනියට ලියා ගන්න. ලූනු හීනියට කපා අමු මිරිස් දිගු අතට කපා ගන්න. ඉන් පසු කරවල කැබලි කපා ගන්න. උම්බලකඩ නම් තරමක් විශාල කැබලිවලට කපා ගන්න. පොල් තෙල් තේ හැඳි 2 ක් පමණ භාජනයකට දමා රත් වෙන්නට හරින්න. අබ ස්වල්පය එහි දමා පිපිරෙන විට කරවල / උම්බලකඩ බැදෙන්න දමන්න. ටික වෙලාවක් කරවල බැදුන පසු අළු කෙසෙල් පොතු, ලූනු, අමුමිරිස්, තුනපහ, කහ, කෑලි මිරිස් එයට දමා හොඳින් කවලම් කරන්න. ඉතාම මඳ ගින්නේ පියනකින් වසා විනාඩි කීපයක් පිස ගන්න. බත් සමග පිළිගන්වන්න. රසයෙන් ඉහළයි.