වත්මන් ගොවි­තැන අර්බු­ද­යක? | සිළුමිණ

වත්මන් ගොවි­තැන අර්බු­ද­යක?

වසර දහස් ගණනක් පුරා මෙරට ජනතාව පෝෂණය වූයේ පාරම්පරික ගොවිතැන හේතුවෙනි. එය ස්වයම්පෝෂිත කෘෂි ආර්ථිකයක් විය. 1980 ගණන්වලදී කෝපි, තේ, රබර් සහ පොල් ප්‍රධාන වැවිලි කර්මාන්ත බිහි විය. ඒවා වගා කළේ විශාල ඉඩම්වල තනි භෝග ලෙසටය. නිෂ්පාදන විදේශ වෙළෙඳපළට යොමුවීම ප්‍රධාන විය. 1960 ගණන්වලදී මෙරටට හඳුන්වා දුන් හරිත විප්ලව තාක්ෂණය හා එම කට්ටලය ලංකාවේ ගොවිතැනට විශාල බලපෑමක් ඇති කළේය. මේ ගොවිතැනට විදේශ යෙදවුම් අත්‍යවශ්‍ය අංගයක් වීය. තවද එතෙක් පැවති ස්වයම්පෝෂිත ගොවිතැනින් ඉවත්ව වාණිජ ගොවිතැනක් ලෙස වර්ධනය වීමට එමඟින් මංපෙත් විවර විය.

1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා මෙතෙක් වෙළඳාම සඳහා විෂයක් නොවූ ජලය, ජාන සම්පත් හා බුද්ධිමය දේපළ වැනි පොදු සම්පත්වලට පෞද්ගලික සමාගම්වලට ළඟා වීමට මඟ පෑදිණි. අවුරුදු දහස් ගණනක් ගොවියාටම උරුමව තිබූ කෘෂිකාර්මික ජාන, බීජ අයිතිය උදුරාගැනීමට උපක්‍රම යෙදුණේද මේ පරිසරය තුළය.

හරිත විප්ලව තාක්ෂණය, ගොවියාට බාහිරින් කෘෂි යෙදවුම් මිල දී ගැනීමට පොලඹවා ඇත. වැඩිදියුණු කළ බීජ, පොහොර, පළිබෝධ හා වල්නාශක පමණක් නොව, සීසෑමට හා ගොයම් කැපීමට යන්ත්‍රසූත්‍ර, වතුර පොම්ප සඳහාද ගොවියාට විශාල මුදලක් වැය වෙයි. අවාසනාවන්ත තත්ත්වය නම්, මේ යෙදවුම් සඳහා සෑම කන්නයකම විශාල පිරිවැයක් දැරීමට ගොවියාට සිදු වීමය. මේ යෙදවුම්වල මිල, වර්ෂයක් පාසා ඉහළ යෑමද ගොවියාට නිෂේධාත්මක බලපෑමක් ඇති කිරීමට හේතු වෙයි.

 

ගොවියාගේ ඉරණම

මෙරට සියයට අනූවක්ම සිටින්නේ සුළු ගොවීහුය. අලෙවිය සඳහා කණ්ඩායම්ගත වී නැති නිසා, තනි තනිව හෙට්ටු කර ඉහළ මිලක් ලබා ගැනීමට හැකියාවක් ඔවුනට නැත. මේ හැරුණු විට එකම ප්‍රදේශයේ විශාල වපසරියක එකම වර්ගයේ බෝගයක් වගා කරගැනීමට ගොවීහු පෙලඹී සිටිති. තම නිෂ්පාදන වෙළෙඳපළට ප්‍රවේශ වීමේදී තියුණු තරගයකට මුහුණු දීමට ගොවියාට සිදු වෙයි.

මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නේ වෙළෙන්දාය. ඔහු පහළම මිලට භාණ්ඩ මිල දී ගනියි. මේ අතින් බලන විට එක අතකින් නිෂ්පාදන පිරිවැය වැඩි වීමත්, වෙළෙඳපළ මිල අඩු වීමත් යන දෙක අතර ගොවියා තෙරපී මිරිකී සිටියි. තවද නියඟය, ගංවතුර හෝ පලිබෝධ රෝග වැනි අවදානම් තත්ත්වයන්ද දරාගත යුත්තේ ගොවියාමය. දේශීය නිෂ්පාදන ප්‍රමාණ පිළිබඳ නිසි තක්සේරුවකින් තොරව, මේ නිෂ්පාදනම අඩු මිලට ආනයනය කර දේශීය වෙළ‍ෙඳපළේ ගොඩ ගැසීම නිසාද ගොවියා අසරණ වූ අවස්ථා එමටය. මේ සියලු සාධක දේශීය කෘෂි නිෂ්පාදනය අවක්‍රමණය වීමටත්, වගා වපසරිය සංකෝචනය වීමටත්, හේතුවිය.

 

වත්මන් ගොවිතැන හා පරිසර හානිය

වර්තමාන හරිත විප්ලව තාක්ෂණයේ එකම අරමුණ ඒකක බිම් ප්‍රමාණයකින් උපරිම අස්වැන්නක් නෙළාගැනීමය. මේ නිසා කෘෂිකර්ම පද්ධතියක තිබිය යුතු ස්ථිරසාරත්වය නොසලකා හැරිණි. එහි ප්‍රතිඵලය ලෙස ස්වාභාවික සම්පත් (ජලය, පස, ජෛව විවිධත්වය) හායනයට පත් වීමත්, ජලසම්පත දූෂණය වීමත් කෘෂිකර්මය සඳහා රැකගත් ජාන විවිධත්වය පරිහානියට පත් වීමත් ප්‍රතිඵලය විය. පස හෝ ඉඩම ගොවිතැනට අවශ්‍යම සම්පතකි. බෝග වර්ධනයට අවශ්‍ය කාබනික ද්‍රව්‍යය, ක්ෂුද්‍ර හා මහා ජීවීන්, පෝෂක ද්‍රව්‍යය මෙහි සංචිත වී තිබේ. මීට වසර කිහිපයකට පෙර පරිසර අධිකාරිය විසින් සිදුකරන ලද සමීක්ෂණයකදී හෙළිවූයේ සෝදා පාළුව,ලවනතාවය වැනි කරුණු නිසා වගා කරන බිම්වලින් 44%ක්ම හායනය වී ඇති බවයි; තවදුරටත් වගා නොකළ හැකි බවයි; එහි සඵලතාව ක්ෂීණ වී ඇති බවයි.

ශ්‍රී ලංකාව ඉහළ කෘෂි ජෛව විවිධත්වයකට හිමිකම් තිබෙන රටකි. විවිධ පරිසර වාසස්ථාන කරගත් අලවර්ග, එළවළු හා පලතුරු,මාංස හා රළු භෝග උරුමව තිබිණි. මේවායේ ගුණාත්මය, රසය, සෞඛ්‍ය වටිනාකම් මෙන්ම ගංවතුරට නියඟයට, පලිබොධවලට ඔරෝත්තු දීමේ හැකියාව පිළිබඳ දැනුමද පාරම්පරික ගොවියා සතු විය. දෙවරුද්දිරි ගොයමට ගංවතුරට ඔරෝත්තු දිය හැකි අතර, පොක්කාලිවලට ලවණතාවට ඔරෝත්තු දිය හැකිය. එහෙත් 1960න් ආරම්භ වූ හරිත විප්ලවය සමඟ මේ ප්‍රභේද විශාල ලෙස ගොවිබිම්වලින් ඉවත් විය. වැඩිදියුණු කළ බීජ, පොහොරට ඉහළ ප්‍රතිචාරය දක්වන ප්‍රභේද ප්‍රචලිත විය. වී ප්‍රභේද 2800ක් අපට උරුමව තිබිණි. 1940 වන විට වගා කර ඇත්තේ මෙයින් ප්‍රභේද 600ක් පමණක් බව ආචාර්ය මැග්ඩන් ජයසූරිය ප්‍රකාශ කරයි.

අනාගතයේ සිදු විය හැකි දේශගුණ වෙනස් වීම්වලට හෝ පලිබෝධ වසංගතවලට හෝ ඔරොත්තු දිය හැකි ප්‍රභේද මේ අතර තිබේ. අභිජනන කටයුතු සඳහා මේ ලක්ෂණ ඇති ජාන රැකගැනීම අත්‍යවශ්‍ය කටයුත්තකි.

ගොවිතැන සඳහා යොදන සියලු පොහොර වර්ග - එනම්: යූරියා, සල්ෆේට්, ඔෆ් ඇමෝනියා, සුපර් ෆොස්ෆේට් මියුරේට්, ඕෆ් පොටෑෂ් - ජලයේ ද්‍රාවණය වෙයි. ඒවා විවිධාකාරයෙන් වැව්, ගංගා, ළිං ජලයටද එකතු වෙයි. නුවරඑළිය, කල්පිටිය හා යාපනය පානීය ළිංවලින් ජලය රැගෙන කරන ලද පරීක්ෂණවලට අනුව එම ජලයේ දිය වී ඇති නයිට්‍රේට් ප්‍රමාණය ප්‍රමිති ආයතනය දී ඇති අගයන්ට වඩා ඉතා වැඩිය. නයිට්‍රේට් යූරියා හෝ ඇමෝනියම් සල්ෆේට් පොහොරෙන් ව්‍යුත්පන්න වන රසායනයකි. මේ ජලය පානය කිරීමේ ප්‍රතිඵලය ලෙස “නිලදරු උපත්” ඇති වන බව වෛද්‍ය මතයයි. වකුගඩු රෝගයට හේතු සංකීර්ණ වුවත්, පානීය ජලයේ අඩංගු කෘෂිරසායන ඍජුවම එයට සම්බන්ධතාවක් දක්වන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. දිගු අධ්‍යයනයකින් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම් 2016 අප්‍රේල් 27 සහ 28 යන දිනයන්හි සකස් කළ වාර්තාවේ “රසායනවලට විවෘත වීම අවම කිරීම” පිටුවේ, ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම පාරිසරික ගොවිතැන, රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ප්‍රමුඛ කටයුත්ත කරගත යුතුයැයි නිර්දේශ කර තිබේ. 2014න් පසු කෘෂිකර්ම අමාත්‍යාංයේ භෝග නිවාරණ අංශයෙන් එතෙක් භාවිතයේ තිබූ පළිභෝධනාශක 13ක් නීතියෙන් තහනම් කරන ලදි.

ශ්‍රී ලාංකික විද්‍යාඥයන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජල මූලවල ඉතා භයානක විෂ ද්‍රව්‍ය නිපදවන මයික්‍රොසිස්ටිස් සහ සිලින්ඩ්‍රොස්පර්මොප්සිස් නැමති මේ නීලහරිත ඇල්ගා විශේෂ බහුල බව සොයාගනු ලැබීය. නාච්චදූව, නුවර වැව, කලා වැව සහ මහකනදරාව වැව්වල නීලහරිත ඇලිගා වන්ගේ උඩමණ්ඩි නිරතුරුව නිරීක්ෂණය වෙයි. මේ ඇල්ගා විශේෂ ජලයේ බහුල වීමට හේතුව ජලයේ ඇති පොස්ෆේට් අයන ද්‍රාවණය වැඩි වීමය. මෙය සුපර් පෙසේෆේට් ගොවිතැනට යෙදීමේ ප්‍රතිඵලයකි. මේ “උඩමණ්ඩි” කලකදී වියෝජනය වී අතිශයින් විෂ සහිත සයික්ලික් ට්‍රාපෙප්ටයිඩ් (මයික්‍රොසිස්ටිස්) හා ඇල්කලොයිඩ් (සිලින්ඩ්‍රොස්පර්මොප්සිස්) ජලයට එකතු වෙයි. මේවා අක්මාවට හා උදරයට අතිශයින් විෂ සහිතය.

සමහර විද්‍යාඥයින්ට අනුව වකුගඩු රෝගයටද මෙම විෂ හේතු වන බව දක්වයි. ඉහත සඳහන් කළ විග්‍රයට අනුව වර්තාමන කෘෂිකර්මය, ගොවියාටත්, ගොවිතැනටත්, පරිසරයටත්, එක සේ හානි පමුණුවයි.

එබැවින් ස්වභාවධර්මයත්, පාරම්පරික ගොවිතැනත්, අනුගමනය කරන මූලධර්ම නවීන විද්‍යාවට ගළපා වර්තමාන කෘෂි පද්ධතිය සමස්ථ ලෙස ප්‍රතිව්‍යූහගත කරගත යුතු වේ.

 

ආචාර්ය ලයනල් වීරකෝන්

Comments