අත­මිට සරු ආණ­ම­ඩුව ගොවියෝ | සිළුමිණ

අත­මිට සරු ආණ­ම­ඩුව ගොවියෝ

ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය හා බැඳුණු රටකි. ඉතා දීර්ඝ ඈත අතීතයකට උරුමකම් තියන මේ රට තුළ කෘෂිකර්මාන්තය සාර්ථකව පැවැතුණු බවට කිසිදු සැකයත් නොමැත. දැනුදු ලංකාව කෘෂිකර්මාන්තය හැ බැදුණු රටක් බව සැබෑය. නමුත් ස්වාභාවික විපත් කෘෂිකර්මාන්තයට කණකොකා හඬන්නකි. නියඟය ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මිනිසෙකුට ආහාර නොමැතිව බොහෝකලක් ජීවත් විමට නොහැකිය. රට කෘෂිකර්මාන්තය අතින් සවංපෝෂිත කිරීමට වෙර දරන ගොවීහු නියඟය පැමිණි විට අපා දුක් විදිති. තම දරු දැරියන් කුසගින්නේ නොතබන්නට වෙහෙස දරණ ගොවි මහතුන් කෙමෙන් කෙමෙන් වෙනත් රැකියා කරා එළඹීම පුදුමයකට කරුණක්ද නොවේ. ඒ අතර කෙසේ හෝ වගා කර යමි කිසි ඵලදාවන් ලබා ගැනීමට වෙහෙසෙන ගොවීහුද සිටිති. ඒ අන් රැකියාවක් තම දෑතට හුරු නොවීම නිසා වෙන්නට හැකිය.

වසර දෙකක් පුරාවට යල මහ කන්න පාඩු පිට පාඩු ලබමින් සිටි පුත්තලම ආණමඩුව මහඋස්වැව අවට ගම්මානවල ගොවීන්ට මේ කාලය අතමිට සරු කාලයකි. එසේ පැවසීමට හේතුව නම් මේ වන විට එම ගම්මාන වල ගොවින් බඩඉරිඟු වගාව සාර්ථකව සිදු කර ඇති ආකාරය මෙන්ම රටකජු වගාවත් සාර්ථකව සිදු කර ඇති ආකාරයයි.එමෙන්ම ප්‍රධානතම කරුණ නම් ගොවීන්ට බඩඉරිඟු වගාව සඳහා ජලය ලබා දි ඇති ආකාරයයි.

ඉඟිණිමිටිය ජලාශය දැක බලා ගැනිමට ගිය අපට දැක ගැනීමට හැකිවූයේ නෙතට කඳුළක් නැගෙන දසුනකි. ජලාශය ජලය පහ ගොස්ය. මිට වසර දෙකකට පෙර විවෘත කළ සොරාව්ව තවමත් විවෘත කර නොමැත.

ජලාශය තුළ අනිවාර්යයෙන් තිබිය යුතු සක්‍රීය ජල ධාරිතාව අක්කර අඩි අටදහසකි. අක්කර අඩි 58000කට උරුමකම් කියන ජලාශයේ මේ වන විට පවතින ජල ප්‍රමාණය අක්කර අඩි10700ක් ප්‍රමාණයකි. ඉඟිණිමිටිය ජලාශය තුළ පැවැති සීමිත ජල ප්‍රමාණය උපයෝගී කර ගනිමින් පැසිෆික් 984 බඩඉරිඟු බීජ අක්කර 600ක ප්‍රමාණයක වගාකර ඇත.

එමඟින් 520කට අධික පිරිසක් ප්‍රතිලාබ ලබති.ඊට අමතරව රටකජු, උඳු, කව්පි, මුං, මිරිස්, අල බෝග ආදියද වගා කිරීමේ කටයුතු පුත්තලම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇත.

ආහාර සුරක්ෂිතතාවය හා ස්වංපෝෂිත භාවය රට තුළ ඇති කිරීම, ගුණාත්මක ආහාර පරිභෝජනයට හුරු කරමින් සෞඛ්‍ය සම්පන්න හා නිරෝගිමත් ජාතියක් බිහි කිරීම ඇතුළු අරමුණු රැසක් පෙරදැරි කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය මත ජනාධිපති ලේකම් කාර්යාලයේ තිරසර සංවර්ධන අංශය යටතේ රට පුරා කියාත්මක වන ආහාර නිශ්පාදන ජාතික වැඩසටහන මඟින් පුත්තලම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරනු ලැබූ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 16.64ක මුදලක් වෙන් කර තිබිණි.

කෘෂිකර්ම, ධීවර, පරිසර හා මහවැලි,ග්‍රාමීය ආර්ථික හා වැවිලි කර්මාන්ත යන අමාත්‍යංශ සහ සියලු පළාත් පාලන ආයතන,පෞද්ගලික අංශයන්,රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මඟින් ප්‍රදේශයේ ගොවීන් වෙත උපදෙස් දෙමින් ඔවුන් සමඟ එක්වෙමින් මෙම වැඩසටහන් දියත් කර තිබේ. අතිරේක ආහාර භෝග ප්‍රවර්ධන වැඩසටහන්, සූර්ය බලශක්තියෙන් ජල පොම්ප ක්‍රියාකරවීමේ වැඩසටහන යටතේ සූර්ය බලශක්ති උපකරණ කට්ටල ලබා දීම, බහු කාර්යය වල් මර්ධන හා රොටරි කිරීමේ සරල උපකරණ ලබා දීම, කෘෂි ව්‍යවසායකයින් දිරිගැන්වීම සඳහා ණය ලබාදීමේ වැඩසටහන්, තරුණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන් ඒ අතර වේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවකින් පසු

 

සඳුන් රමේෂ්

Comments