
ඉන්දීය ජනගහනයෙන් 15%ක් පමණ විවිධ හීන යැයි සම්මත කුලයන්ට අයත් වෙති. කුලීන සමාජය දාලිත් ඇතුලු කුලහීන ජනයා හඳුන්වන්නේ "සබදතා නොපැවැත්විය හැකි" (untouchables) වශයෙනි. දාලිත්වරුන් ඇල්ලූ භාණ්ඩයක් ඇල්ලීමෙන් තමන් අශුද්ධ බවට පත්වෙතැයි යන්න කුලීන පාර්ශව තුල ඇති විශ්වාසය පදනම් කරගනිමින් එම යෙදුම භාවිතයට පැමිණ තිබේ.
"මාගේ රජය කුලය, හෝ ආගමික මතවාදය පදනම් කරගත් වෙනස්කම් නොඉවසන අතර, ඊට කිසිදු ඉඩක් ලබාදෙන්නේ නැහැ" - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි
බුද්ධ කාලයේ භාරතයේ පැවති කුල හතරක් ගැන ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය හැදෑරීමේදි අප අසා ඇත. මහා බ්‍රහ්මයා මිනිසා මැවිමේදී ඔහුගේ හිසෙන් බ්‍රාහ්මණ වංශිකයන්ද, උරහිසෙන් ක්ෂත්‍රිය වංශිකයන්ද, කලවයෙන් වෛශ්‍ය හෙවත් වෙළෙඳ වංශිකයන්ද පාදයේ මහපටැගිල්ලෙන් ශුද්‍ර හෙවත් කුලහීනයන්ද මැවූ බව හින්දු - බ්‍රාහ්මණවාදී ඉගැන්වීම්වල දැක්වේ. මේ අතීත මතවාදය හිසින් දරාගත් කුලීන ජනකොටස් අදටත් කුලහීනයන් පාගාදැමිමට උත්සුක වෙති. දේශපාලනික ආර්ථික හා සමාජයීය වශයෙන් මේ නිසා ඉන්දියාව ගැටලු රැසකට මුහුණ දෙන්නේ ප්‍රධාන වශයෙන්ම රටේ සංහිදියාව හා ස්ථාවරභාවයට පවතින තර්ජනය පදනම් කරගෙනයි. 21 වැනි සියවසට පා තබා ගෝලීය ආර්ථික හා දේශපාලනික බලවතෙකු වීමේ අපේක්ෂාවෙන් ඉදිරියට යන වත්මන් භාරතයේ ගමන අඩාල කරන ශක්තිමත් විලංගුවක් වන්නේද එම කුලවාදයයි. ඉන්දීය ජනසමාජය බෙදා වෙන්කර එකිනෙකා මරාගන්නා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් වර්තමානයේද චෝදනා ලබන්නේ මේ කුලවාදයයි.
පසුගිය සදුදා ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක විශේෂයෙන් උතුරුදිග කොටසේ ප්‍රාන්තවල ඉතා දරුණු අන්දමින් ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර ගියේය. දාලිත් නමින් හැදින්වෙන කුලහීන ජනකොටසට අයත් දහස් සංඛ්‍යාත පිරිස් වීථි බැස විරෝධතා දැක්වූ අතර කඩසාප්පු හා වාහනවලට ගිිනිතබමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණහ. ඔවුන්ගේ විරෝධයට හේතුවූයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවකි. එම නඩුතීන්දුව මගින් කුලහීන ජනතාවගේ ආරක්ෂාව සඳහා ඇති රාජ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිපාදන දුර්වල වන බවත් තමන් ඉතා බරපතල ලෙස අනාරක්ෂිත වන බවත් දාලිත් වාර්ගිකයෝ පවසති. ගැටුම්කාරි තත්ත්වය අවසන් වූයේ දස දෙනෙකු පොලිස් වෙඩිපහරින් මියයෑමත් සමගයි. ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කළද තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් කුලහීන වැසියන් තුල පවතින්නේ ඉතා බරපතල කෝපයක්, ඉච්ඡා භංගත්වයක් හා භිීතියකි.
ඉන්දීය ජනගහනයෙන් 15%ක් පමණ විවිධ හීන යැයි සම්මත කුලයන්ට අයත් වෙති. කුලීන සමාජය දාලිත් ඇතුලු කුලහීන ජනයා හඳුන්වන්නේ "සබදතා නොපැවැත්විය හැකි" (untouchables) වශයෙනි. දාලිත්වරුන් ඇල්ලූ භාණ්ඩයක් ඇල්ලීමෙන් තමන් අශුද්ධ බවට පත්වෙතැයි යන්න කුලීන පාර්ශව තුල ඇති විශ්වාසය පදනම් කරගනිමින් එම යෙදුම භාවිතයට පැමිණ තිබේ. මේ නිසා ඇතැම් හෝටල්වලින් ආහාරගන්නා දාලිත්වරුනට තමන් පරිහරණය කළ පිඟන් කෝප්ප පවා සෝදා පිරිසිදු කරදීමට අණකරනු ලැබේ. එපමණක් නොව දිළිඳු දාලිත් ජනයා ඉතා බරපතල හිංසාවලට ලක්වෙති. 2016 වසර තුල පමණක් දාලිත්වරුන්ට සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා සංඛ්‍යාව හතළිස් දහස ඉක්මවන බව සංඛ්‍යා ලේඛණ පෙන්නුම් කරයි. මේ අතර මිනි මැරුම්, තුවාල සිදුකිරීම්, පහරදීම් දේපළ ගිනිතැබීම් හා විවිධ හිංසන ක්‍රියා ඇතුලත් වෙයි.
වත්මන් ලෝකයට කිසිසේත් නොගැළපෙන මේ කුලවාදයේ පවුරු පදනම් කඩාවැටෙන එක් උදාහරණයක් පෙන්වා දිය හැකිය. දාලිත් කුලයේ පුද්ගලයකු ඇල්ලූ කෝප්පයක් ඇල්ලීමෙන් පවා අශුද්ධ භාවයට පත්වන්නේ යැයි කුලීනයන් විශ්වාස කරන බව මෙහි කලින් සඳහන් කෙරිණ. එය එසේ වුවද මේ න්‍යාය ලිංගික ක්‍රියාවලියට බලපාන බවක් නොපෙනේ. පොලිස් සංඛ්‍යා ලේඛන අනුව සෑම සතියකදීම දාලිත් කුලහීන කාන්තාවන් 21 දෙනකු කුලීන පුද්ගලයන් විසින් දූෂණය කරනු ලබන බව තහවුරු වෙයි. අතීතය සිහිපත් කිරීමේදී ඉන්දියාවේ චෞර නායිකාව වූ පූලාන් දේවිය දාලිත් කාන්තාවක් වූ අතර ඇය මිනීමරුවකු වන්නේ තමන් ඨාකූර් නමැති කුලීන පුද්ගල කන්ඩායමක් විසින් සති තුනක් පුරා සමූහ දුෂණයට ලක් කිරීමෙන් පසුවය. ස්ත්‍රි හිංසනය ඉහළ මට්ටමක පවතින බව අපරාධ සංඛ්‍යා ලේඛන මගින් තහවුරු කරනු ලබන ඉන්දීය ජනසමාජය තුල දාලිත් කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය බරපතල සමාජ ගැටලුවක් වී තිබේ.
මෙහිලා සඳහන් කළ හැකි විශේෂ කරුණක් වන්නේ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සඳහා මූලික වී ඇත්තේ දාලිත් ජනකොටසට අයත් කීර්තිමත් විද්වතකු වූ බීම්රාඕ රාම්ජී අම්බෙඩ්කාර් හෙවත් බාබාසහෙබ් යන්නයි. නිදහස් ඉන්දියාවේ ප්‍රථම නීති අමාත්‍යවරයා වූ අම්බෙඩ්කාර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා වෙමින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවගේ සිවිල් නිදහස සුරැකීම, ආගමික සමානාත්මතාව, මානව හිමිකම් සුරැකීමට අවශ්‍ය වගන්ති රැසක් හඳුන්වාදීමට මුල්විය. එමෙන්ම තමාද අයත් පීඩිත ජනකොටස වන දාලිත් කුලහීනයන්ගේ අයිතින් සුරැකීම සඳහා 17 වැනි වගන්තිය එනම් කුලහීනයන් කොන් කිරීම පිටුදැකීමේ ප්‍රතිපාදන සළසාදීම සිදුකළේය. එමෙන්ම හින්දු කුලවාදයට එරෙහිව දාලිත්වරුන් දසලක්ෂයක් බෞද්ධාගම වැළදගැනීමේ ව්‍යාපාරය නායකත්වය දුන්නේද අම්බෙඩ්කාර්ය.
කුලහීන ජනතාව ආරක්ෂා කිරීම සඳහා පසුකාලීනවද ඉන්දියාව නීතිරීති හඳුන්වා දී තිබේ. 1955 සිවිල් අයිතීන් සුරැකීමේ පනත හා 1989 සටහන්ගත කුල හා සටහන්ගත ගෝත්‍ර පණත මුල්තැනක් ගන්නා අතර දාලිත්වරුන් සඳහා අධ්‍යාපනික හා රැකියා කෝටාවක් ද වෙන්කර තිබේ. මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපාදන පැවතියද සමාජයීය වශයෙන් තවමත් දාලිත් ජනයාට හිමිව ඇත්තේ ඉතා දුබල සමාජ පදනමකි.
ඉකුත්දා ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියාවලට මූලික වුයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 1989 සටහන්ගත කුල හා ගෝත්‍ර පණතේ ඇතැම් වගන්ති අක්‍රිය කිරීමට ලබාදුන් තීන්දුවයි. පනත මගින් ඉඩ සළසා ඇත්තේ කුලහීන ජනතාවට එරෙහිව හිංසාවන්හි නිරත වන්නන් දැඩි නීතිමය කොන්දේසි මගින් කොටුකිරීමයි. වහා අත්අඩංගුවට ගැනීම්, ඇප නොමැතිව රඳවා තබාගැනීම් ආදී වගන්ති ඊට ඇතුලත් වෙයි. මෑතදී කළ සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ දාලිත් ජනකොටසට එරෙහි ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් සිදුකෙරෙන පැමිණිලිවලින් 10%ක් පුද්ගලික පළිගැනීම් මත පදනම් වන බවයි. ඒ සම්බන්ධයෙන් පැවති නඩුවිභාගයකදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඇතැම් වගන්ති ලිහිල් කිරීම හා සෘජු ක්‍රියාමාර්ග නිලධාරි අධීක්ෂණයට ලක් කිරීමයි. මේ තුලින් දාලිත්වරුන්ගේ අයිතීන් බරපතල ලෙස හානියට පත්වන බව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ මතයයි. ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ ව්‍යාජ පැමිණිලි වලක්වා ලීම සඳහා මේ ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.
වහා මැදිහත් වු ඉන්දීය රජය මේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් කළ අතර එය යළි සළකා බලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඊට අනුමැතිය ලැබී තිබේ. මේ තත්ත්වය අගමැති මෝදිගේ ඉදිරි දේශපාලනික ගමනට දැඩි තර්ජනයකි. ඉදිරි මහමැතිවරණයේදීද යලි බලයට පත්වීම සඳහා අගමැති මෝදිට පැහැදිලි වරමක් තිබේ. එහෙත් කුලහීන ජනතා සහාය තමන් වෙත දිනාගැනීම ඔහුට ප්‍රශ්නයකි. හින්දුත්ව මතවාදය පදනම් කරගත් භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයට පැමිණි එකම බ්‍රාහ්මණ වංශික නොවන දේශපාලනඥයාද නරේන්ද්‍ර මෝදිය. සාමාන්‍යයෙන් දාලිත්වරු භාරතීය ජනතා පක්ෂය විශ්වාස නොකලද 2014 මැතිවරණයේදී මෝදිට සැළකියයුතු තරම් දාලිත් සහයක් පළවූ බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. එහෙත් පවතින ගැටුම්කාරී තත්ත්වය මත අගමැති මෝදි විශාල අභියෝගයකට මුහුණ දෙයි. දාලිත්වරුන්ට ඔවුන්ගේ ආරක්ෂාව ගැන සහතිකයක් ලබාදීමට මෝදි ආණ්ඩුව වහා පියවර ගෙන ඇත්තේ එබැවිනි. එම වැඩපිළිවෙලේ සාර්ථකත්වය අගමැති මෝදිගේ අනාගත දේශපාලන ගමන වඩාත් තහවුරු කරණු ඇත.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ