හැදෙන්නට පාඩුවේ පොහොර මොටද යාළුවේ | සිළුමිණ

හැදෙන්නට පාඩුවේ පොහොර මොටද යාළුවේ

පැරැණන්ගේ දීර්ඝායුෂ, නීරෝගීබව සහ සවිශක්තිය සැඟව තිබුණේ සොබාදහම හා උරණ නොවුණු ආහාර නිෂ්පාදන මාදිලියක් මතය. එදා මිනිසාගේ පෝෂණය වෙනුවෙන් ද නීරෝගීභාවය වෙනුවෙන් ද ද්විත්ව කාර්ය කළ“ආහාර”අද වන විට මිනිසාගේ පැවැත්ම අභියෝගයට ලක්කරමින් තිබේ.

ඒ රට පුරා අද ශීඝ්‍රයෙන් බෝ වෙමින් තිබෙන බෝ නොවන රෝග ගණනාවක මූල හේතුව “ආහාර” බව හඳුනාගැනීමෙනි. එහෙයින් අද ලෝක සෞඛ්‍ය දිනයේදී ද ලෝක පිළිකා දිනයේදීද ලෝක කාන්තා දිනයේදීද ලෝක ළමා දිනයේදී ද යන එළැඹෙන සෑම ගෝලීය සැමරුම් දිනයකදීම “ආහාර” ගැන කතා කිරීමට සිදු වී තිබේ. වෙළෙඳපළ විසින් විචිත්‍රත්වයෙන් හැඩගන්වා වර්ණගැන්වූ ආහාර සුරූපී ලෙස දවටන ඇසුරුම්වලින් නිමවා අද සුපිරි වෙළෙඳපළවල් කලාගාරයන් බවට පත්කර තිබේ. ඒ සුපිරි “ආහාර” මිනිසාගේ සිරුර පෝෂණය කරනවා වෙනුවට,සිදුකරමින් තිබෙන්නේ දුර්වලකිරීම නොවේද?

දේශීය හා විදේශීය වෙළෙඳපළ විසින් අද කෘත්‍රිම, රසකාරක වර්ණකාරක අඩංගු ක්ෂණික ආහාර රට පුරා ව්‍යාප්ත කරමින් ඒ සඳහා මනබඳනා ප්‍රචාරණයේ ද යෙදෙමින් පොදුජනයා ශීඝ්‍රයෙන් ආකර්ෂණය කරගනිමින් සිටී. එවන් අධික ලාභ ලබන ආහාර නිෂ්පාදකයන්, බටහිර ඖෂධ නිෂ්පාදකයන් ද වන බව නොදන්නෝ නැතිතරම්ය. එමෙන්ම, ලාභ ලබන ඩොලර්වලින් සුළුවෙන් රුපියල් වියදම් කරමින් ආරෝග්‍යශාලා හදන, දහසක් බෝ නොවන රෝග හඳුනාගැනීමට නවීන යන්ත්‍ර පරිත්‍යාග කරන දානපතියන්ගෙන් අප රට බේරා ගත යුතුය. මන්දයත්, ඒ ව්‍යාජ මනුසත්කම්වලින් අනාගතයට ඉතිරි වන දෙයක් නැතිහෙයිනි. ජාතියේ නාමයෙන් ප්‍රමාද වී හෝ නීරෝගීභාවය නසා බෙහෙත් විකිණීම වෘත්තීය කරගත් ඒජන්තයින්ගෙන් මාතෘභූමියේ හෙට දවස අයිති නූපන් දරුවන් වෙනුවෙන් රැකදිය යුතුය.

ලෝක සෞඛ්‍ය දිනය සමරන ඔබ විමසිල්ලෙන් බලන්නේ නම්, අද ආහාර නිෂ්පාදනය කරන්නවනුත් ආහාර පරිභෝජනය කරන්නවුනුත් රෝගී වී මරණයට දින ගණන මිනිසුන් ගම්දනව්වලත් අගනගරයේත් අපමණකි. කෘෂි රසායනික හේතුවෙන් රජරට ගොවීහු ගණනින් ලක්ෂ තුනක් වකුගඩු අකර්ණම්‍ය වී මරණයේ බිහිසුණු දොරටුව අභියස හතිලති.

පිළිකා, දියවැඩියාව, හෘදය රෝග, තරබාරුව වැනි එකී නොකී බෝ නොවන රෝග ගණනාවක් මිනිස් සිරුරේ වැදී ජාතියම රෝගී කරමින් සිටී. අද ලෝකය පුරා සිදුවන මරණ හතකින් එක්‌ මරණයකට හේතුව පිළිකා බව සොයාගෙන ඇත.

අපට උරුම කෘෂි සංස්කෘතිය වෙනුවට ගොවිතැන කර්මාන්තයක් කරගෙන ලාභ උපයන්නට උගැන්වූ පනහ දශකයේ හරිත විප්ලවය ගොවීන්ගේ ජීවන තත්ත්වය කිසිවිටකත් ඉහළ දැමුවේ නැත. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ භීතියක් බලධාරීන් තුළ මවා එක රැයකින් රටට අවැසි ආහාර නිෂ්පාදනය කිරීමට කෘෂි වස විස තරගකාරී ලෙස මහපොළව මත දියකර හළ අපි විදේශිකයින්ගේ උවමනාවට රැවටී මහපොළව හා උරණ වුණෙමු.

රටට බත සපයන ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමකින් තොරව රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කළ නොහැකිය. මිහිකත හා තරඟවැද ආහාර නිපදවන්නට බල කළ කෘෂි වස විස ඒජන්තයින් අපේ රටේ ගොවීන් නැවත නැවතත් දුප්පත්කමේ අඳුරු අගාධයට තල්ලු කළේය.

දේශීය, කලාපීය හා ගෝලීය වශයෙන් අද කෘෂි රසායනික භාවිතයෙන් ගොවීන් ඉවත්වීමේ ප්‍රවණතාව, සමඟ නවීන විද්‍යාත්මක දැනුම හා පාරම්පරික ඥානය මුසුකර ගොවිතැන කලාවක් සහ ධාර්මික වෘත්තියක් බවට පත් වෙමින් තිබේ.

ඇත්ත වශයෙන්ම, රටේ ආහාර සුරක්ෂිතතාවය සහ ස්වෛරීත්වය තහවුරු කිරීම සඳහා දැන් අවශ්‍යව ඇත්තේ විමුක්ති අරගලයකි. වෙළෙඳපළ බලවේගය සියල්ල යටපත් කරමින් තිබෙන අවධියක මෙවැනි අරගලයක් යනු අභියෝගයකි. ඒ සඳහා පුළුල් ජාතික වැඩසටහනක අවශ්‍යත්වය අද බැලූ බැලූ අත පෙනේ.

මාතෘභූමිය පිළිබඳ අනුරාගයෙන් මහපොළවට සංවේදී ආහාර නිෂ්පාදන මාදිලීන් ගවේෂණය කිරීම අද ගෝලීය පැවැත්මේ ද වුවමනාවය. ධනවාදයේ තෙවන කාර්තුවේ වෙළඳපළ බලවත්වීමේ හේතුවෙන් දැන් දැන් සෑම ක්ෂේත්‍රයකම බාල ඉසවු මිස සංවේදී තැන් මනුෂ්‍යයාට ගෝචර නොවන වග දැකිය හැකිය.

එහෙයින් ගොවිබිම හා අධ්‍යාත්මයෙන් බැඳෙන්නට හෝ ධාර්මික වෘත්තීන් වටා මිනිසා රොඳ බඳිනු දැකීම අභියෝගයකි. ඒ හෙයින්, අද නිපදවන ආහාර අපට වුවද නිපදවන්නේ අපේ ගොවීන් වුවද මහපොළවේ අයිතිය ගොවීන්ගෙන් විදේශීය ඒජන්තයින් පැහැරගෙනය. මේ තත්ත්වයෙන් රට මුදවා ගැනීම නොහොත් වස විස නැති ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලියකට රට මෙහෙයවීම අපේ කාලයේ විමුක්ති අරගලය වනු ඇත. ලෝක සෞඛ්‍ය දින සැමරුම අපට මතක්කර සිටියේ ඒ අරගලයට පමා නොවන ලෙසයි.

 

පවිත්‍රා රූපසිංහ

Comments