බිඟු ලොව අහිං­ස­කයා කනෙ­යි­මැස්සා | සිළුමිණ

බිඟු ලොව අහිං­ස­කයා කනෙ­යි­මැස්සා

අප රටේ දක්නට ලැබෙන, පැණි රැස් කරන ප්‍රධාන බිඟු විශේෂ හතර පිළිබඳ, මීට පෙරත් ලිපියකින් අප කතා කළා. ඒ තමයි. මීමැස්සන්, බඹරුන්, දඬුවැල්මැස්සන් හා කනෙයිමැස්සන් යන බිඟු විශේෂ හතර. මේ ප්‍රධාන බිඟු විශේෂ හතර, ‘විත සහිත බිඟුන්‘ හා ‘විත රහිත බිඟුන්‘ ලෙස නැවත ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මීමැස්සන්, බඹරුන් හා දඬුවැල්මැස්සන්, විත සහිත බිඟුන් ගණයට අයත් වන අතර, විත රහිත බිඟුන් ගණයට අයත් වන්නේ කනෙයිමැස්සන් පමණයි.

මේ විත සහිත බිඟුන් ඕනෑම අවස්ථාවක තම ප්‍රතිවාදීන්/ විලෝපිකයන්ට එරෙහිව තම විත භාවිත කිරීමට පසුබට නොවන අතර, එය ඔවුන් විසින් තම ජනපදයේ ආරක්ෂාව සඳහා භාවිත කරන ප්‍රධානතම ආරක්ෂක ක්‍රමවලින් එකක්. එහෙත්, කනෙයිබිඟුන් සතුව මේ හැකියාව නැති අතර, තම විලෝපිකයන්ට එරෙහිව ඔවුන්ට කළ හැකි දෙයක් නෑ. කෙසේ වුවත්, භෝග පරාගණය හා පැණි නිෂ්පාදනය සඳහා අතිශය වැදගත් බිඟු ලොව අහිංසකයා, කනෙයිමැස්සා ගැනයි අද ලිපිය.

Tetragonula iridipennis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කනෙයිමැස්සන්, මුල්වරට විද්‍යාත්මක පසුබිමක හඳුනාගැනීම සිදු වන්නේ අප රට තුළ වීම විශේෂත්වයක්. ඒ, 1854දී, Frederick Smith විසින්. මේ බිඟු විශේෂය ඉන්දු-මැලේ කලාපයේ දැකගත හැකිමුත්, අන් බිඟුන් මෙන් නොව, එය අතිශයින්ම සීමාකාරීයි. කෙසේ වුවද, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා ඉන්දුනීසියාව යන රටවල්වල කනෙයි බිඟුන් හොඳින් ව්‍යාප්ත වී සිටිනවා.

මීමැස්සන් මෙන්ම අඳුරු, ආවෘත ස්ථාන, තම ජනපදය සෑදීම සදහා තෝරාගන්නා කනෙයිමැස්සන්, ඒ සදහා බොහෝ විට යොදාගන්නේ, ලයිට් මීටර් පෙට්ටි, වහල සදහා යොදාගන්නා සිදුරු සහිත යකඩ බට, බිත්ති, ගල්කුහර වැනි ස්ථානවල තිබෙන කුඩා කුහර වැනි කුඩා ඉඩකඩක් තිබෙන, ආරක්ෂාකරී ස්ථාන. මොවුන් මීමැස්සන්, බඹරුන් හා දඬුවැල්මැස්සන් මෙන් ක්‍රමවත් වද සෑදීමක් කරන්නේ නෑ.

මොවුන් විසින් සාදන වද, ඉතා කුඩා ප්‍රමාණයේ, කළුපාටට හුරු රතු පැහැයෙන්, කුඩා බෝල අකාරයෙන් ජනපදය පුරා විසිරී තිබෙනු දකින්න පුළුවන්.

එසේම, එක් ජනපදයක් කොටස් දෙකකින් සමන්විතයි. එනම්, පැටවුන් රක්කවන, පිලා වද සහිත කලාපය හා පැණි ගබඩා කරන කලාපය ලෙස.

කනෙයිබිඟුන් භාවිතයෙන් පැණි ගැනීමට නම් මේ කලාප දෙක හොඳින් හඳුනාගැනීම ඉතා වැදගත්.

මේ කනෙයි ජනපදයක්ද රැජනක්, සේවිකා මැස්සන් හා පිරිමි මැස්සන්ගෙන් සමන්විත අතර, ජනපදයක වැඩි සේවිකා ගැහැනු මැස්සන් ප්‍රමාණයක්ද සුළු පිරිමි මැස්සන් ප්‍රමාණයක්ද දකින්න පුළුවන්.

සේවිකා මැස්කුගේ ශරීර ප්‍රමාණය, මිමී 3.5 සිට මිමී 4.0 දක්වා අතර ප්‍රමාණයක් වෙනවා.

එනම්, අප පරිසර පද්ධතියේ දක්නට ලැබෙන බිඟු විශේෂ අතුරින් ශරීර ප්‍රමාණයෙන් කුඩාම බිඟු විශේෂය ලෙස කනෙයිමැස්සන් හදුන්වන්නත් පුලුවන්. මොවුන්ගේ ශරීරය කලු හෝ කලුට හුරු දුඹුරු පැහැයක් ගන්නවා. එමඟින්ද කනෙයිමැස්සන් අන් බිඟු විශේෂවලින් පැහැදිලිව වෙන් කර හඳුනාගන්න පුළුවන්.

කනෙයිමැස්සන්ගේ ප්‍රජනක ක්‍රියාවලියෙහිද අන් බිඟුන්ගෙන් වෙනස් වන විශේෂ කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්.

සාමාන්‍යයෙන් බිඟු විශේෂ රංචු බෙදීයෑමේදී, ජනපදයේ සිටින පරණ රැජන, ජනපදයේ කොටසකුත් සමඟ ඉවත් වී යන අතර, මුල් ජනපදය නව රැජනකට භාර දෙනවා.

එලෙස ජනපදය කොටස් වෙන් වීමෙන් පසු මවු ජනපදය සමඟ කිසි සම්බන්ධයක් පවත්වා ගන්නේත් නෑ. එහෙත්, කනෙයිමැස්සන්ගේ රංචු බෙදීයෑමේදී සිදු වන්නේ, නව රැජනක ජනපදයේ මැස්සන් කොටසකුත් සමඟ ඉවත් වී යෑමයි. එසේම, එලෙස වෙන් වී ගිය නව ජනපදය, මවු ජනපදය සමඟ යම් කාලසීමාවක් දක්වා සබඳතාවක් පවත්වාගන්නවා.

මීමැස්සන් හැරුණු විට, අප පරිසරයේ දක්නට ලැබෙන බිඟු විශේෂවලින්, පැණි නිෂ්පාදනය සඳහා මිනිසාට තම පාලනය යටතේ ඇති කළ හැකි එකම බිඟු විශේෂය ලෙසද මේ කනෙයිබිඟුන් හඳුන්වන්නත් පුළුවන්. අප රටෙහි එය එතරම් ප්‍රචලිත නොවුණත්, අසල්වැසි ඉන්දියාව වැනි රටවල්වල එය ඉතා දියුණු මට්ටමෙන් සිදු කරනවා.

විශේෂයෙන්ම, ආයුර්වේද ප්‍රතිකර්ම සඳහා කනෙයි පැණි යොදාගන්නා අතර, සාමාන්‍යයෙන් එක් කනෙයි ජනපදයකින් ගත හැකි පැණි ප්‍රමාණය ඉතා සීමාකාරියි. කනෙයිබිඟුන් භෝග පරාගණය සඳහා අතිශයින්ම වැදගත් වන බිඟු විශේෂයක් ලෙස හඳුනාගත හැකි අතර, හරිතාගාර තුළ භෝග වගාවේ, පරාගණය සඳහා සුදුසු එකම අප රටේ හමු වන බිඟු විශේෂය ලෙස හඳුන්වන්නත් පුළුවන්.

 

ඉසුරු ලක්මාල් හේරත්

කෘෂිකර්ම පීඨය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයක

Comments