
• පසුගිය මහ කන්නයේදී අක්කර 4300ක් අස්වද්දයි • රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 250ක් • වස විස නැති සහල් හා එළවළු ගොවිපළ 27කින් නිපදවයි • තල් බඩ අස්ැන්නක්් ලක්ෂ 5ක ආදායමක් • රට කජු, මඤ්ඤොක්කා, කෙසෙල් බඩ ඉරිඟු වී අස්වැන්න සරුයි
අනාදිමත් කාලයක සිට අපේ රටේ ජනතාවගේ ප්‍රධාන ජීවන වෘත්තිය ගොවිතැනයි. අතීතයේ සිංහල දෙමළ සැවොම එක්වී සැබෑ සංහිදියාවෙන් රට අස්වැද්දූ නිසා එකල අපේ රටින් එතෙරට සහල් හා කුළුබඩු පැටවූ බවට තොරතුරු පැහැදිලිව පවතී.
එදා අපේ රටේ තිබූ සශ්‍රීකත්වය එලෙසම පවත්වාගෙන යාමට අදත් උතුරේ දෙමළ සිංහල තරුණ තරුණියෝ එකට එක්වී සංහිඳියාවෙන් කටයුතු කරගෙන යති. ඒ අනුව එදා අතීතයේ තිබුණු අයුරින් ම මෙදා උතුරේ ගොවි බිම් සශ්‍රීකව බෝගවලින් සරු ලෙස අස්වද්දා සරු අස්වැන්නක් ගන්නට තරුණ තරුණියන් මෙහෙය වන්නට පෙරමුණ ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවයි.
මේ අනුව කලක් එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධව සිට පුනරුත්ථාපනය වූ ද්‍රවිඩ තරුණ තරුණියන් 3500 ක් පමණ 2013 සිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බැඳී සිංහල නිලධාරීන් සමඟ එක්ව මුලතිව්, කිලිනොච්චි හා වවුනියාව ප්‍රදේශවල මහ ගොවිපළ 27 ක් අස්වද්දා ඇත. කොලොම්පුරම්, හාරතිපුරම්, ඉරණමඩු, කුරුක්කම්, පුනරින්, ජයපුරම්, උදයාර්කුලම් ඒ අතර වෙයි.
මේ පිළිබඳව කරුණු දැක්වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුලතිව්, කිලිනොච්චි, යාපනය ප්‍රදේශවල අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා පැවසුවේ මේ තරුණ තරුණියන් දැනට අක්කර 500 ක පමණ වස විස නැතුව විවිධ බෝග වගාකර ඉහළම අස්වැන්නක් ලබා ඇති බවයි.
උතුරේ පමණක් නොව රටේ විවිධ ප්‍රදේශවල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් 2017/ 2018 මහ කන්නයේ පමණක් අක්කර 4300 ක් පමණ වගා කර ඇත. ඒ අතර වී වගාව අක්කර 959 කි. බඩ ඉරිඟු අක්කර 1072 කි. විශේෂ ව්‍යාපෘතිය යටතේ කොණ්ඩච්චි කජු අක්කර 1200 ක් ද මාර්කර්නි හි කජු අක්කර 400 ක් ද වගාකර තිබේ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් රටපුරා පසුගිය කන්නයේ දී වගා කළ කවුපි වපසරිය අක්කර 210 කි. කුරක්කන් අක්කර 22.5 ක් වගාකර ඇති අතර මිරිස් අක්කර 28 ක් ද වගා කර ඇතැයි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.
කිලිනොච්චි තිරිවෙයිආරු ගොවිපළට අප ගිය අවස්ථාවේදී අපට කරුණු දැක්වූ මේජර් සාගර වීරසිංහ මහතා පැවසුවේ පසුගිය වසරේදී පමණක් ලක්ෂ 10 ක මුදලක් තම ගොවිපළ මඟින් ලාභාංශ ලෙස රජයේ ඒකාබද්ධ අරමුදලට ලබාදුන් බවයි.
අපි මේ ගොවිපළේ සියලු වගාවන් කරන්නේ කාබනික ක්‍රමයට වස විස නැතිව. කොම්පෝස්ට් පෝර, ගොම පෝර, කුකුළු පෝර, කොළ පෝර තමයි අපි පොෙහාර ලෙස යොදා ගත්තේ. අපි අක්කර 5 ක් පුරා වී, කුරක්කන්, මාළු මිරිස්, වට්ටක්කා, රටකජු, මෑ කරල්, බටු, මඤ්ඤොක්කා ආදිය අපි සරු ලෙස වගාකර තිබෙනවා. මේ අස්වැන්න මේ පැත්තෙම විකුණන්න පුළුවන්. වැඩ කරන අයට අඩු මිලට දෙනවා. මේ ප්‍රදේශයේ මේ වස විස නැති වගාවල අස්වැන්නට ලොකු ඉල්ලුමක් තිබෙනවා. මේජර්වරයා කියයි.
මෙහිදී අපට හමුවුණ ගොවිපළේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බුද්ධි අංශ සාමාජිකයකු වූ ආර්. රාමලිංගම් කුමාර පැවසුවේ එදා තම සංවිධානයට උදවු කළ සමයට වඩා අද තමන් සතුටින් ඉන්නා බවයි.
පුදුකුඩුඉරිප්පු තෛයිවේලි ගොවිපළට ද යාමට මෙම සංචාරයේදී අපට අවස්ථාව ලැබිණි. එහිදී එම ගොවිපළේ ජ්‍යෙෂ්ඨ නියාමක එස්.ඊ. හමීඩ් බසීර් මහතා පැවසුවේ ඔවුන්ට ඇති ප්‍රධාන ගැටලුව ජලය බවයි. ජලය නැති නිසා අපි මේ සැරේ තල් ඇට ලක්ෂ දෙකක් කණ්ඩි සිටවනු ලැබුවා. ඉන් අපට තල් පැළ ලක්ෂ 1 ½ ක් පැළවුණා. ඒ පැළවලින් තල් අල (කොට්ටකිලංගු) ලක්ෂ 1 ½ ක් නිපදවා ගන්න පුළුවන් වුණා. ඒවා තැම්බූ විට එකක් රුපියල් 2 ගණනේ විකුණන්න පුළුවන්. වේලලා කිලෝ 1 ක් රුපියල් 170 කට විකුණන්න පුළුවන් වුණා.
මේ තෛයිවේලි ව්‍යාපෘතිය බාරව සිටින කර්නල් තිලක් ගනේගොඩ මහතා පැවසුවේ තල් ඇට අක්කර 5 ක් පුරා වගා කර ඇති බවයි. ඊට අමතරව පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විවිධ ගොවිපළ ව්‍යාපෘති 10 ක් ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව කොලොන්දුපුලොව් ප්‍රදේශයේදී සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් අලුත් ජලාශයක් ඉදිකර ඇති අතර ඒ මගින් අක්කර 65 ක් අස්වද්දා තිබේ. “අපි මේ ජලාශයේ ජලයෙන් උස්සාන වාරිමාර්ග යටතේ බටු, මිරිස්, කෙසෙල්, වට්ටක්කා වවා තිබෙනවා. ඒ සමඟම භාරතිපුරම් ප්‍රදේශයේත් භූමි අක්කර 65 ක අලුත් ගොවිපළක් හදලා අවසන්. එයින් මඤ්ඤොක්කා , වී, කෙසෙල් හා බටු වගේ දේවල් වවා තිබෙනවා. මේ කටයුතු සඳහා පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඇතුළු 65 ක් දෙනෙක් සම්බන්ධවී තිබෙනවා. කර්නල් තිලක් ගනේගොඩ පැවසීය. ගොවිපළ අස්වැද්දීම පස් ගල් සකස්කිරීම, සිමෙන්ති ගල් සකස්කිරීම හා තල් අල වැවීම තමයි අපේ ප්‍රධාන කටයුත්ත. ඉන් ලැබෙන ආදායම රජයේ රජයේ අරමුදලට අපි ලබාදෙනවා” කර්නල් තිලක් කියයි.
මුලතිව් දිස්ත්‍රික්කයේ මෙලෙස අස්වැද්දූ මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 140 කි. විල්පත්තුව මායිමේ අක්කර 148 ක් ද, කොණ්ඩච්චිගේ කජු අක්කර 350 ක් වවා ඇත. මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවිපළ 8 ක අක්කර 457 ක් අස්වද්දා තිබෙන අතර වවුනියාවේ එලෙස අස්වැද්දූ ප්‍රමාණය අක්කර 306 කි. මේ ගොවිපළවල වැඩියෙන්ම අස්වද්දා ඇත්තේ බඩ ඉරිඟු වගාවයි. ඒවා සියල්ලම වස විස රහිත වගාවක් ලෙස සිය අස්වැන්න ලබාදෙයි.
වවුනියාව අනුරාධපුර මායිමේ පිහිටි සිවිල් ආරක්ෂක මාමඩුව ගොවිපළ අක්කර 15 ක් විශාලය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් පාලනය වන මේ ගොවිපළේ තිබ්බටු, කරවිල බහුලව වගා කර තිබේ.
මාමඩුව ගොවිපළේ ස්ථාන භාර නිලධාරි තිස්ස විජේරත්න පැවසුවේ තම ගොවිපළ මඟින් වස විස නැති භව බෝග අක්කර 35 ක් පුරා අස්වද්දා ඇති බවයි. මේ අතර අක්කර 7 ක් තල ද, අක්කර 5 ක් කෙසෙල් ද අක්කර දෙකක් වම්බටු ද තවත් අක්කර 1 ක් මාළු මිරිස් ද වගා කර තිබෙන බව ඔහු කියයි.
වවුනියාවේ ඇටඹගස්කඩ ප්‍රදේශයේ පිහිටි ඇටඹගස්කඩ ගොවිපළේ අණ දෙන නිලධාරි කර්නල් චන්ද්‍රසිරි ධර්මකීර්ති මහතා පැවසුවේ තමා යටතේ ප්‍රදේශයේ ගොවිපළ 27 ක් අස්වද්දා ඇති බවයි. ඒ ගොවිපළවල දෙමළ සිංහල තරුණ තරුණියෝ 1300 ක් කෘෂිකාර්මික කටයුතු බව කර්නල්වරයා කීය.
පසුගිය වසරේදී තම වවුනියාව බළකාය මඟින් කෘෂිකාර්මික ගොවිපළවල ලාභය ලෙස රුපියල් ලක්ෂ 336 ක රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කර ඇති බව කර්නල් චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා පැවසීය.
අනුරාධපුරය සාගිර්වත්ත ගොවිපළේ ද මේ අයුරින් ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සෙබළ සෙබළියෝ අක්කර 35 ක් අස්වද්දා ඇත. ඒ අතර බඩඉරිඟු අක්කර 17 ක් රටකජු අක්කර 1 ක් හා වී අක්කර 2 ක් තිබේ. කර්නල් විජයකුමාර මහතා මෙහෙයවන මේ රජරට සිවිල් ආරක්ෂක ගොවිපළ සමූහය මඟින් වවා ඇත.
වස විස නැතිව අක්කර 50 ක් පමණ සරු කර තිබේ. සිවිල් ආරක්ෂක නිලධාරීන් 21 ක් සේවය කරන මේ ගොවිපළවල අඹ, පොල්, කජු වැනි ස්ථිර වාර්ෂික බෝග ද වවා ඇතැයි කර්නල් විජයකුමාර මහතා පවසයි.
අතිගරු ජනාධිපතිතුමාගේ වස විස නැති රටක් ධාර්මික ගොවිතැනක් නිරෝගිමත් ජනතාවක් බිහි කිරීමේ උදාර සංකල්පය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන තුන් අවුරුදු ජාතික සැලැස්ම යටතේ විවිධ ප්‍රදේශයන්හි වගා කරන ලද පාරම්පරික වී වර්ග මිලදී ගෙන සහල් කර විකිණීමට ජනාධිපති ලේකම් තුමාගේ උපදෙස් පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබයි.
ඒ අනුව තුන් අවුරුදු ජාතික සැලැස්ම යටතේ වගා කරන ලද පාරම්පරික වී වර්ග වන කහවනු, මරතමාඩු, කුරුළුතුඩ, පච්චපෙරුමාල්, බටපොල ඇල්, කහමාල, රත්දැල් ආදී වී වර්ග මිලදී ගැනීම් ආරම්භ කර ඇති අතර පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි පදවි ශ්‍රී පුර, වැලිඔය, මොරවැව, ගෝමරණ්කඩවල, සේරුවාවිල ප්‍රදේශයන්හි වගා කරන ලද පාරම්පරික වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරමින් මහජනතාවට මෙම සහල් වර්ග පරිභෝජනය කිරීමේ අවස්ථාව සලසමින් කොළඹ දිස්ත්‍රික්කය තුළ ද මෙම සහල් කිලෝවක් රු. 120.00ක් වැනි මුදලකට අලෙවි කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ඉහත ගොවිපළවල සේවය කරන විවිධ ජාතීන්ට අයත් සිවිල් ආරක්ෂක නිලධාරීන් සියලු දෙන සහජීවනයෙන් එක්වූ රටේ ම ජනතාවට වස විස නැති ආහාර වේලක් ලබාදීමට පෙරමුණ ගෙන තිබේ.
මේ අනුව මේ සිංහල - දෙමළ සංහිඳියාව අනුව මේ සිවිල් ආරක්ෂක නිලධාරීහු තම මහ ගොවිපළ 27 මඟින් වස විස නැති බෝග අස්වැන්නක් උතුරට පමණක් නොව ශ්‍රී ලාංකික සියලු ජනතාවට හිමිකර දී රට ස්වයංපෝෂිත කිරීමට දරන උත්සාහයට අප සහාය දිය යුතුය.
නිහාල් පී. අබේසිංහ