ඉහළ පෝෂ­ණ­යක් සප­යන පල­තුරු | සිළුමිණ

ඉහළ පෝෂ­ණ­යක් සප­යන පල­තුරු

පලතුරු කියන්නේ මිනිස් සිරුරට විටමින් සහ ඛනිජ ලවණ සැපයීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආහාර කාණ්ඩයක්. සමහරු ආහාර වේලක අනිවාර්ය අංගයක් විදියට පලතුරක් එක්කර ගත්තත්, තවත් සමහරු ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ ලිපියෙන් විස්තර වෙන්නේ ශ්‍රී ලංකාවේ ජීවත්වන අපිට ශ්‍රී ලංකාවේදීම සපයා ගත හැකිය, ඉහළ පෝෂණයක් සපයන පලතුරු වර්ග කිහිපයක් පිළිබඳවයි.

කෙසෙල්

කෙසෙල් කියන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම වශයෙන් වගා කෙරෙන, ඒ වගේම ඉතාම බහුල වශයෙන් පරිභෝජනයට ලක් වෙන ජනප්‍රිය පලතුරු වර්ගයක්. කෙසෙල් ආහාරයට ගැනීම මඟින් ශරීරයට යම් කැලරි ප්‍රමාණයක් වගේම විටමින් B6 සහ විටමින් C ලබාගන්න පුළුවන්. ඒ වගේම කෙසෙල්වල අඩංගු තන්තු මඟින් මල බද්ධය වැනි තත්ත්ව මඟ හරවනු ලබනවා. කෙසෙල් ආහාරයට ගැනීමෙන් ආහාර පිළිබඳව යම් සංතෘප්තතාවක් ලබා දෙන නිසා ඔබට බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් ඒ ඉලක්කය වෙත ළඟා වෙන්නත් කෙසෙල් උපකාරී වෙනවා. බොහෝ කෙසෙල් ප්‍රභේදවල පොත්ත ඉදුණු අවස්ථාවලදී කහ පැහැයක් ගන්නවා. නමුත් රත් කෙසෙල් නමින් හැඳින්වෙන කෙසෙල් ප්‍රභේදයේ පොත්ත රතු දුඹුරු පැහැයට හුරුයි.

තැඹිලි

තැඹිලි කියන්නේ පානයක් වශයෙන් සපයා ගත හැකි ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය පලතුරක්. උණුසුම් දිනවලදී විජලනය වීම වළකා ශරීරයට සිසිලසක් ලබා ගැනීම සඳහා බොහෝ විට මෙය පානයක් ලෙස භාවිත කෙරෙනවා. ඒ වගේම තැඹිලි වතුර වල ඛනිිජ ලවණ විශාල ප්‍රමාණයක්, එන්සයිම වර්ග සහ ප්‍රති ඔක්සිකාරක සංඝටක අන්තර්ගතයි.

තැඹිලි වතුරේ අන්තර්ගත ඛනිජ ලවණ මඟින් රුධිර පීඩනය අඩු කරනු ලබන බවත්, වකුගඩුවල යහ පැවැත්මට දායක වන බවත් පැවසෙනවා. ඒ වගේම දියර වශයෙන් පහසුවෙන් අවශෝෂණය කළ හැකි ආකාරයෙන් පවතින නිසා ජීර්ණය අපහසු පුද්ගලයින්ට අතිරේක පෝෂක පානයක් ලෙසත් මෙය ලබා දිය හැකියි.

නෙල්ලි

නෙල්ලි යන වචනය ඇසූ සැණින් සමහරුන්ට නම් තිත්ත රසක් දැනෙන්න පුළුවන්. නෙල්ලි ඉතාමත් ගුණදායක පලතුරක් වුණත්, බොහෝ අය අතර එතරම් ප්‍රසිද්ධ නැත්තේ මේ තිත්ත රස නිසා. නමුත් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී බහුලව භාවිතා කරන නෙල්ලි රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට විශාල දායකත්වයක් සපයනවා. ඒ ශරීරයට හිතකර අධි ඝණත්ව ලිපිඩ ප්‍රමාණයේ අගය වෙනස් නොකර ශරීරයට අහිතකර අඩු ඝණත්ව ලීපිඩ ප්‍රමාණය අඩු කිරීම මඟින්. ඒ වගේම දියවැඩියාව, පිළිකා, අජීර්ණ, සන්ධිපත් රුදාව ආදී රෝගවලට ප්‍රතිකාර කිරීමේදීත් ආයූර්වේදයේ නෙල්ලි යොදා ගනු ලබන බව සඳහන් වෙනවා.

ඒ වගේම නෙල්ලි ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට, ඇස් පෙනීම වැඩිදියුණු කිරීමට, ආහාර ජීර්ණය පහසු කරවීමට, වයස්ගත වීමත් සමඟ මුක්ත ඛණ්ඩක නිසා සමේ ඇතිවන ලප කැලැල් ඉවත් කරවීමට මෙන්ම කාන්තාවන්ට ඇති වන ඔසප් වේදනාව අඩු කිරීමටත් දායක වෙනවා.

දෙළුම්

දෙළුම් කියන්නේ සොයා ගැනීමට තරමක් අසීරු, නමුත් ඉතාමත් ඉහල ඖෂධීය වටිනාකමකින් යුත් පලතුරක්. විටමින් C සහ විටමින් K යන විටමින් වර්ගත්, පොටෑසියම් යන මූලද්‍රව්‍යයත්, ස්වභාවික තන්තුත් ප්‍රධාන වශයෙන්ම දෙළුම් වල අඩංගු වෙනවා.

නිරක්ති තත්ත්ව මඟ හැරීමට, නොමේරු දරු උපත් ඇති වීමේ අවදානම අඩු කිරීමට, පිළිකා වැලඳීමේ අවදානම අඩු කිරීමට මෙන්ම සම නීරෝගී සහ දිදුලන බවට පත් කිරීමට මෙම පලතුර සමත්කම් දක්වනවා.

 

උපදෙස්- පෝෂණ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු

 

යශෝදා ඉන්දීවරී

 

Comments