
‘උත්තරා ළඟින් එන පර්ෆියුම් සුවඳ නාලිකා ළඟින් එන සුවඳට වඩා වෙනස්. මම වැඩිපුර කැමති මොන සුවඳටද? මම උත්තරා ළඟින් ඇලවෙලා ඈ සිපගත්තා. මුහුණ නළල දෙතොල් පපුව දේශසීමා මුකුත් නැතිව හැම තැනම. හීන් කෙඳිරිය...මගේ හිත බයෙන් මිදිලා දැන්... නාලිකා ගැන හෝඩුවාවක් දැනගත්තා නම් උත්තරාගේ මේ උණුසුම මට කීයටවත් ලැබෙන්නෙ නෑ...නාලිකාගේ ඊමේල්ස් පික්චර්ස් වැස්ස පායපු ගමන් ඔක්කොම ඩිලීට් කරලා දාන්න ඕන... නාලිකාට එස් එම් එස් එකක් යවන්න ඕන පරිස්සමින් ගෙදර ආවා කියලා...’
අපේ කාලේ ගැහැනුන් හා මිනිසුන් ආදරය, ප්‍රේමය, කුටුම්බ සංරක්ෂණය, වැනි සන්දර්භ තුළ හැසිරෙන ආකාරය මෙන්ම අවට සමාජයේ පවතින විසම බැඳීම්, දේශපාලන බලය, උප සංස්කෘතීන් ඇසුරේ බිහිවන සමාජ විපර්යාස අපි නිතර දකින්නෙමු, අසන්නෙමු. එහෙත් ඒවා කෙතරම් සංවේදී මනසකින් ග්‍රහණය කර ගන්නෙමුද? බුද්ධදාස ගලප්පත්තිගේ ‘මැදියමක කළුවර’ කෙටි කතා සංග්‍රහය ඒ විවිධ සමාජ චර්යා කෙරෙහි ප්‍රධාන මාතෘකා නවයක් ඔස්සේ සුසර විය හැකි ආකාරය පිළිබඳ අපූර්ව අත්දැකීම් පෙළක් පාඨකයාට ළං කරන නිර්මාණ සමුච්ඡයක් ලෙස හැඳින්විය හැකිය.
කිරිමුට්ටිය ගඟේ ගියා, රාත්‍රිය දිගම දිගයි, ප්‍රේම ත්‍රිකෝණය, මේ පාළු සීත රාත්‍රියේ, බියකරුය රාත්‍රිය, යසෝදාගේ කතා වස්තුව, හඳුනා ගත්තොත් ඔබ මා, සුදු පුතා යන්නම ගිහිං, සමුගැනීම යන සිරස් තල මඟින් වරෙක යමෙකුට වඩාත් හුරු වූද තවත් වරෙක තවත් කෙනකුට මදක් නුහුරු වූද සමාජ ස්තරයන් පාඨකයාට ඔහු පොදුවේ සමීප කරවයි. කතා එකිනෙක කියවන්නෙකුට මෙහිදී මුලින්ම ඇති වන්නේ ‘මේවා අපට නිතර දෙවේලේ අහන්න ලැබෙන දේවල් නේද?’ වැනි හැඟීමකි. එහෙත් නිර්මාණකරුවා ඒ බහුලත්වය තුළම ඉස්මතු කරන ඔහුගේ දෘෂ්ටි කෝණය මෙන්ම මානවවාදී සමාජ විචාරයත් සියුම් උපහාසයත් කතාවේ නිමාව සමඟ පාඨක මනසට හෙමින් සීරුවේ කාන්දු වීමට ඉඩ ලබා දී තිබේ.
ප්‍රේම ත්‍රිකෝණයේ සේනක මාධ්‍යවේදියෙකි. ඔහුත් විමලසිරි නම් ත්‍රිරෝද රථ රියැදුරාත් අතර මිත්‍රත්වයක් ඇති වන්නේත් විමලසිරිගේ කතාව ලියන්නට මුල් බීජය වැටෙන්නේත් ත්‍රිරෝද රථයේදී නැති වූ සේනගේ වොලට්ටුව අඩුපාඩුවකින් තොරව යළි ලබා දීමට විමලසිරි ගත් මහන්සිය නිසාය. තැබෑරුමේ බිල ගෙවීමට සොයද්දී වොලට්ටුව නැති බව දැනගත් සේනක මකය අවදි කරවන්නේ මෙලෙසිනි.
‘වොලට්ටුව අවසන් වරට ගත්තේ කොහෙදීද, කුමකටද යන්න මතක් කර ගන්නට කොතෙක් උත්සාහ කළද මතකයට හරියට කිසිවක් ආවේ නැත. කාර්යාලයේදී බෞද්ධ සංගමයට රුපියල් පන්සියයක් ගෙවන්නට වොලට්ටුවෙන් රුපියල් දාහක් එළියට ගත්තද ඉතිරි රුපියල් පන්සියයේ නෝට්ටුව කමිස සාක්කුවේ දමාගෙන වොලට්ටුව කලිසම් සාක්කුවේ දාගත්තා නොවේදැයි ඔහු කල්පනා කළේය.’
මෙහි සේනක බෞද්ධ සංගමේට දී ඉතිරි වූ මුදලින් එන්නේ තැබෑරුමටය. වත්මන් සමාජයේ සැබෑ ආගමික භක්තිය කෙරෙහි ඔහුට ඇති සෝපාසාත්මක බව වැඩි ආයාසයකින් තොරව ඔහු විග්‍රහ කරන්නේ එසේය.
විමලසිරි පිටිසරින් කොළඹ ආ තරුණයෙකි. ත්‍රිරෝද රථ රැකියාව නිසා වත්මන් තරුණයන් බොහෝ දෙනකු මුහුණ දෙන බරපතළ ගැටලු රැසක නියෝජනයක් ලෙස විමලසිරිගේ චරිතය හැසිරවීමට කතුවරයා උපක්‍රම යොදා ඇති ආකාරය සිත්ගන්නාසුළුය. හැඟීම්වලට වශීවන තාරුණ්‍යයේ ඛේදජනක ඉරණම, තරුණියකගේ පවිත්‍රතාව පිළිබඳ ගැමි තරුණයකුගේ හැඟීම සහ මුලාව, හුදෙක් ලිංගිකත්වය මත පදනම්වන බැඳීම්වලදී විසි වී යන පන්ති භේදය වැනි විවිධ අංග රැසක් ප්‍රේම ත්‍රිකෝණයට රාමුව සපයයි.
‘...විමල්ගේ හදවත ගැස්සිණ. කුසුමේ අක්කා සමඟ ගෙවුණු රැයට වඩා මේ එකතු වීම වෙනස් නොවේදැයි ඔහුට සිතුණේ ලක්ෂ්මී තවමත් කෙල්ලක්ය යන සිතිවිල්ල සිත වසා සිටි බැවිනි... මොහොතින් ඉවුරු පවුරු බිඳගෙන ගඟ ගලා ගොස් නැවතිණ... පීටර්ගේ සුපර්මාකට්ටුවෙන් ගත් සිගරට්ටුව දල්වා ගත් විමලසිරි වීල්පාක් එකට එන තෙක් කල්පනා කළේ ලක්ෂ්මී ගැන ඔහුගේ හිතේ තිබුණේ හුඹස් බියක් නොවේද කියායි...’
‘... දුහුල් ඇඳුමකින් සැරසුණු පේෂලා මැඩම් නාන කාමරයෙන් එළියට පැමිණියේ කොණ්ඩය මුදුන් කොට බැඳගෙනය. දුහුල් ඇඳුමට එහා කිසිදු ඇඳුමක් ඇගේ ගත වසා නැති බව විමල්ට පෙනේ...සිරුර ගිනිගෙන රත් වන්නා සේ දැනේ. පේෂලා වෙතින් ගලා එන සුවඳ සමඟ මුසු වුණු ඇගේ මුදු ස්පර්ශය විමල්ගේ දඟකාර දෑතේ ඉවසීමේ සීමාව පන්නා දමා ඇත...’
විමල්ට වඩා හාත්පසින්ම වෙනස් චර්යාවන් ඇති පිරිමිද මේ සමාජයේ සිටිනා බව කතුවරයා ‘මේ පාළු සීත රාත්‍රියේ’ සහ ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැනි නිර්මාණවලින් තහවුරු කරයි.
ඇතැම් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආර්ථික පසුබිම නිසා ඔවුන් විවිධ ක්‍රම ඔස්සේ සමාජයේ ස්ථාවර වන්නට ගන්නා උත්සාහයන් විවරණය වන අතරම සැබෑ ප්‍රේමයක ඇති විරාගී බැඳීම මේ පාළු සීත රාත්‍රියට එළියක් එක් කරයි.
‘ජපුර කැම්පස් ගේට්ටුව ළඟින් මහේෂිකා මිලින්දගේ වෙහිකල් එකට ගොඩ වුණේ...රේල්පාරත් මුහුදත් අතරින් පටු පාරක් දිගේ කිලෝමීටර දෙකක් විතර ගිහින් මිලින්ද කාර් එක එයාගේ රිසෝට් එකට ඇතුළු කළේ...
‘යමුද මගේ සුයිට් එකට’
‘නෑ මම එළියේ ඉන්නම්’ මහේෂිකා ලැජ්ජාවෙන් කිව්වෙ.
‘එන්න..මම චේන්ජ් එකක් දාගන්නකල් ඔයා මියුසික් වීඩියෝ එකක් බලන්න’
මිලින්දට වෙන්වුණු එයාගේ හෝටලේ එයාගෙම විශාල කාමරේ මහේෂිකාගේ ඇස්වලට අදහන්න බැරි වුණා...සුදු පාට ටීෂර්ට් එකක් ඇඳගෙන රබර් සෙරෙප්පු දෙකක් දාගෙන මිලින්ද මහේෂිකා ඉස්සරහ.
‘අපි එළියට ගිහිල්ලම බොන්න මුකුත් ඕඩර් කරමු නේද?’
හඳුනා ගත්තොත් ඔබ මා හි ඉමාෂි අලුතෙන් ක්ෂේත්‍රයට පා තබා ජනප්‍රියම නිළිය වීමේ ප්‍රාර්ථනය ඇතිව ධනවත් කඩවසම් නිෂ්පාදකවරයා උදයංග හමුවට යයි. ඇයට අවශ්‍ය කෙටි පණිවුඩ සඳහා වැය වන මුදලට ඔහුගේ අනුග්‍රහය ලබා ගැනීමය. උදයංග ඊට එකඟ වෙයි.
‘මම ඔයාව පොපියුලර් ඇක්ට්‍රස් විතරක් නෙවි, මිස් ශ්‍රී ලංකාත් කරනවා... ඇගේ බ්ලවුසයේ ගැලවුණු බොත්තම් යළිත් පියවූ උදයංග ඇගේ බඳ වටා අතක් යවා තුරුලට ගත්තේය. ඔයා මිස් ශ්‍රී ලංකා කන්ටෙස්ට් කරනවා නම් මිස් ඉමාෂි විදිහටම කන්ටෙස්ට් කරන්න. මට ඕන නෑ ඔයාව මිසිස් ඉමාෂි කරලා කන්ටෙස්ට එකට යවන්න...’
ගැහැනු පිරිමි අතර ඇති වන නොගැළපීම් නිසා විකෘත වන මනස ඒ පීඩාවෙන් මිදීමට සම රිසියන් බවට පත් වන ආකාරය ‘සමුගැනීමට’ තේමා වී ඇත. එහෙත් එහි අවසානයේ කතුවරයා පෙන්වා දෙන්නේ නිරන්තරයෙන් සාමාන්‍ය ගැහැනිය පිරිමියකුගේ උණුසුම වෙතම ඇදී යන සිග්මන් ෆ්‍රොයිඩ් න්‍යායයි. එහිදී අචලා පියුමි අසම්මත ප්‍රේමයේ බිඳ වැටීම ලිංගික කුහකත්වය පරයා එන අවබෝධයෙන් මැඩ ගන්වා දැඩි ඛේදවාචකයකින් චරිත ගලවා ගැනීමට කතුවරයා මඟ සලසයි.
‘කිරි මුට්ටිය ගඟේ ගියා’ පසුබිම් කර ගන්නේ වත්මන් සමාජයේ බහුලව පවතින දරුවන් අහිමි කාන්තාවන්ගේ සහ කිරි දරුවන් මඟහැර යන මව්වරුන්ගේ සමාජ, මනෝ භාවයන් විදහා දක්වන කතාවකි. මව් සෙනෙහස ගැහැනියකට උපතින්ම ලැබෙන්නක් සේම වැදූ මවට වඩා හැදූ මවගේ සෙනෙහසේ ප්‍රබලත්වයත් දරුවන් අතහරින්නට ඇතැම් ගැහැනුන්ට බලපාන කරුණුත් යන සියල්ල පිළිබඳ මැදිහත් සිතින් බලන්නට ගලප්පත්ති කතුවරයා පාඨකයන් උනන්දු කරවයි.
තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟ සැබෑ මානව සම්බන්ධතා මායාවක් බවට පත් වන ආකාරයත්, චපල ස්වාමි පුරුෂයකුගේ හදවතේ ඇතිවන ගැස්ම, එහි වරද දැන දැන වුව ඉන් මිදීමට වඩා එය විඳීමට ඇති ආශාව යන අන්තයන් අතර දෝලනය වන කසුන්, උත්තරා සහ නාලිකා වැන්නන් නියෝජනය වන සමජයේ පැතිකඩක් ‘රාත්‍රිය දිගම දිගයි’ මඟින් හෙළි දරව් කෙරේ.
‘උත්තරා ළඟින් එන පර්ෆියුම් සුවඳ නාලිකා ළඟින් එන සුවඳට වඩා වෙනස්. මම වැඩිපුර කැමති මොන සුවඳටද? මම උත්තරා ළඟින් ඇලවෙලා ඈ සිපගත්තා. මුහුණ නළල දෙතොල් පපුව දේශසීමා මුකුත් නැතිව හැම තැනම. හීන් කෙඳිරිය... මගේ හිත බයෙන් මිදිලා දැන්... නාලිකා ගැන හෝඩුවාවක් දැනගත්තා නම් උත්තරාගේ මේ උණුසුම මට කීයටවත් ලැබෙන්නෙ නෑ... නාලිකාගේ ඊමේල්ස් පික්චර්ස් වැස්ස පායපු ගමන් ඔක්කොම ඩිලීට් කරලා දාන්න ඕන...නාලිකාට එස් එම් එස් එකක් යවන්න ඕන පරිස්සමින් ගෙදර ආවා කියලා...’
මේ පෙම්හබ අතර රතු සහෝදරයන්ගේ කටයුතුවලට තම නිසඟ හැකියාව වූ වේශ නිරූපණයෙන් දායක වීම නිසා රාත්‍රියේ හමුදාවෙන් කැඳවාගෙන යන කපිල නම් දෙදරු පියාගේ කතාව ‘බියකරුය රාත්‍රිය’ ලෙස බුද්ධදාස ගලප්පත්ති නම් කර තිබේ. දේශපාලනමය වශයෙන් සහාය දුන් මෙන්ම විරුද්ධ වූවන් යන දෙපිරිසටම එකම ඉරණම අත් වීම එක්තරා අන්දමකින් ඒ යුගයේ දේශපාලනය පිළිබඳ උපහාසාත්මක විවේචනයක් ලෙස ගත හැකිය.
‘සුදු පුතා යන්නම ගිහිං’ හෙළි කරන්නේ මව සහ දරුවන් නොදැනුවත්ම එකම ගමනක දෛවෝපගතව යෙදෙන සැටිය. එහිදී සුදු පුතා වෙනුවෙන් අම්මා මුදල් සොයා ගන්නේ කෙසේදැයි සවිස්තරව නොකීමට කතුවරයා වග බලා ගනී. එසේම ඒ මුදලින් සුදුසුකම් ලබා මාධ්‍යවේදියකු ලෙස ගණිකාවන් පිළිබඳ සොයන්නට යන කැරෝකේ ශාලාවේ තම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාට තුරුල් වන්නේ කවුද යන්නද ඔහු එක එල්ලේ නොකියයි. එහෙත් ඒ රතු හැට්ටය සහ කළු සාය වැලේ වනා තිබෙනු ඔහු දැක ඇත්තේය. එහිදී සුදු පුතා හෙවත් අරවින්දගේ මිශ්‍ර හැඟීම් කතුවරයා ඉදිරිපත් කරන්නේ තවත් කැරෝකේ කෙල්ලක සමඟ වන දෙබසකිනි.
'ඔව්! මට දුක හිතුණා. තරහ ගියා... ඔයත් එක්ක නෙවි. මට මං ගැනම දුක හිතුණා. තරහ ගියා...'
ඒ කුමක් නිසා දැයි විස්තර නොකිරීමෙන් පාඨකයාට කැමති මානයකින් සුදු පුතාගේ සන්තාපය අවබෝධ කර ගැනීමේ නිදහස කතාව සලසා තිබේ.
මේ සියලුම කතා පාහේ ඉදිරිපත් වන්නේ එකම ආකෘතියකිනි. කතුවරයා නිරීක්ෂකයකු ලෙස බාහිරින් සිට මේ කතා පාඨකයාට කියයි. දෙබස්වලින් චරිතවල ගලා යෑම සම්පූර්ණ කරවයි. එහෙත් යසෝදරාගේ කතා වස්තුව එහි නමින්ම කියැවෙන පරිදි පොදු ආකෘතියෙන් මිදුණු ජාතක කතා වස්තුවක මෙන් පෙර කතා අංකවලින් වැන්දඹු විමලජීවගේ සහ කුඩා දියණියක සිටින ලොතරැයි විකුණන්නියගේ විවාහයේ නිමිත්ත ඇතුළු ඔවුන්ගේ ජීවිතවල අතීත කතා හෙළි කරයි. එවැනි වෙනස් ආකෘති ගැළපෙන අයුරින් තවත් කතාවල අත්හදා බැලුවා නම් වැඩි විවිධත්වයක් මේ එකතුවට එකතු කරන්නට ඉඩක්ද තිබිණි.
කතා සියල්ලේ භාෂාව කතුවරයා විසින් සිතා මතාම වත්මනේ බහුලව භාවිත වන ඉංග්‍රීසි වචන මුසු කරමින් යොදා ගන්නේ එමඟින් නිරූපිත තත්කාලීන සමාජයේ ලක්ෂණ පාඨකයාට වඩාත් සමීප වහරකින් ළං කිරීමට විය යුතුය. එසේම ලිංගිකත්වය මතු කරන අවස්ථාවල එය ජුගුප්සා ජනක මට්ටමකට නොගොස් සෞන්දර්යාත්මක වින්දනයක් ලෙස ඉදිරිපත් කිරීමට ඔහු පරෙස්සම් වී ඇති බව අදාළ කොටස් සහිත කතා සියල්ලෙන්ම විද්‍යමාන කෙරේ. එහෙත් බොහෝ අවස්ථාවල පෙම්වතුන් දෙදෙනකු හමුවීම සිනමා ශාලා කොනක අඳුරේ ලවන් දොඩම රස බැලීමට යොමු කිරීම යම් ඒකාකරී බවක් කතා පෙළට ගෙන ඒ දැයි විටෙක සිතේ. එය ඩෙරිඩාගේ විසංවාදී මූලධර්මය භාවිතයෙන් බලන කල අපේ රටේ පෙම්වතුන්ට නිදහසේ කතාබහ කිරීමට වෙනත් තැනක් නැති වීමේ අඩුපාඩුව විදහා දක්වන්නට ගත් තැතක් ලෙස වුව අවශ්‍ය නම් හඳුන්වා දිය හැකිය.
වත්මන් කෙටි කතාවේ පියා ලෙස සලකන එඩ්ගා ඇලන් පෝට අනුව කෙටිකතාව යනු මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ විවරණය කළ හැකි වාහකයක් බඳු වේ. පසුබිම, සිද්ධි, චරිත සහ අභිප්‍රේරණයට ලක්වන අදහස නොබිඳෙන බැඳීමකට නතු කර ඉන් රසයක් මතු කිරීමට කෙටි කතාව සමත් විය යුතුය. එනයින් බලන කල මැදියමක කළුවර මේ ලක්ෂණ අඩු වැඩි මට්ටමින් විදහා පාන කතා සමුච්චයකින් සමන්විතය. මුල මැද අග කලණ වූ අයුරින් පැහැදිලි කතා වින්‍යාසයක් ඒ සියල්ලේ දක්නට ලැබේ. බියකරුය රාත්‍රිය, සමුගැනීම වැනි ඇතැම් කතා ඒවායේ ආකෘතිය විසින් ඉල්ලා සිටින පරිදිම පශ්චාත් නූතනවාදී ගතිය මතු කරමින් අවසානයකින් තොරව අවසන් වෙයි. කෙටි කතාව ලේඛකයාගේ ආත්ම කථනයක් වශයෙන් සලකන කල බුද්ධදාස ගලප්පත්ති නම් කවියා, කෙටිකතාවේදීද ශෝඛාන්තවලට වඩා ගැටලු විසඳාලීමේත් සුඛාන්තවලට යොමු වීමේත් වැඩි ප්‍රවණතාවක් දක්වමින් සිය සන්තානයේ සැඟවුණු සතුටක සෙවණැල්ල නිර්මාණකරණයට නිසගයෙන් මුසු කරන බවක් නිරීක්ෂණය කළ හැකිය.