බොරු­ව­ළ­ව­ල්හි නොවැටී ලෙස්ටර් දැකීම | සිළුමිණ

බොරු­ව­ළ­ව­ල්හි නොවැටී ලෙස්ටර් දැකීම

සිනමාව පිළිබඳව එතරම් කියැවීමක් නොතිබූ කාලයක ඔවුන්ට වටහාගත හැකි ආකාරයට කිසියම් භාවපූර්ව විලාශයකින් ප්‍රේක්ෂකයා යථාර්ථයට සමීප කිරීමට ලෙස්ටර් උත්සාහ කළේය. ඒ "අධිතාත්විකත්වය යටපත් කර භාවාත්මක රංගය ඔසවා තැබීමෙනි". පුරෝගාමී සිනමාකරුවකු ලෙස හේ අගේ කළ යුත්තේ එනිසාය.

1919 අප්‍රේල් මස 05 වැනිදා දෙහිවලවදී මෙලොව එළිය දකින ලෙස්ටර් ජේම්ස් පීරිස් වනාහී මෙරට මේතාක් ජීවත් වූ වයෝවෘද්ධ මානව කැටපතකි. රෝමානු කතෝලික පවුලක ඉපදී හැදී වැඩුණු ඔහු කුඩා කාලයේ දී පටන් ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කළේය. සැමරුවේ කතෝලික උත්සව පමණි. ඔහු යම්තාක් දුරට හෝ සිංහල සංස්කෘතියට සම්බන්ධතාවක් තිබුණේ වී නම් ඒ ඔහුගේ මිත්තණියගෙ ඇසුර නිසාය. ඇය, සිංහල භාෂාව කතා කළ ඉංග්‍රීසි වෙදකම් විශ්වාස නොකළ කාන්තාවක් වූවාය. එකොළොස් හැවිරිදි ඔහුට පියාගෙන් ත්‍යාගයන් ලෙස මිලිමීටර 8ක කොඩැස්කෝ ප්‍රක්ෂේපණයක් ලැබුණි. එම ප්‍රොජෙක්ටරයෙන් චාලි චැප්ලින් ගේ නිහඬ චිත්‍රපට නැරඹීමට ඔහු පෙලඹී සිටියේය. මීට අමතරව මේ කාලයේ දී ලෙස්ටර්ගේ සහෝදරයා වූ අයිවන් හා ලෙස්ටර් දිනපතා කොටස් වශයෙන් විකාශනය වන විදේශීය චිත්‍රපට නැරඹීමට ද පෙලඹී සිටියේය. ලෙස්ටර් කිසිදු දිනෙක පාසල් නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වූ අයකු නොවේ. එමෙන්ම ඔහුට ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්‍වරයකු වීමට කිසිදු අදහසක් නොතිබුණි. එකල ලංකාවේ චිත්‍රපට කර්මාන්තයක් නොතිබුණි. වයස අවු 17 දී සිය ජීවන වෘත්තිය ලෙස ජනමාධ්‍ය වේදය තෝරා ගන්නා හෙතෙම ඩේලි නිව්ස් පුවත්පතේ අතිරේකයක් ද සංස්කරණය කළේය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වසර සීයකට ආසන්න කාලයක් සිහිබුද්ධියෙන් ජීවත් වූ පුද්ගලයෙක් විය. ඒ අනුව බලන කළ හෙතෙම මානව කෝෂ්ඨාගාරයකි. එහෙත් එවැන්නක් ලෙස්ටර්ගේ සිනමා දිවිය තුළින් වහනය වූවාදැයි සොයා බැලීම ඉතාමත් වැදගත්ය. එය මෙරට සිනමාව පිළිබඳව ගැඹුරින් සිතන්නට කරන පෙලඹවීමකි. මෙම කියැවීම හරහා ඒ පිළිබඳව කිසියම් ප්‍රවේශයක් ගැනීමට මම කැමැත්තෙමි.

ලෙස්ටර් සවිඥානිකව වැඩුණු කාලයේ පටන් පශ්චාත් ජාතිකවාදය කැටුව නැඟී සිටි පිරිස් කියා සිටියේ 'යටත්විජීතවාදීන් විසින් මෙරට ඉතිරි කර ගිය ප්‍රතිගාමී සංස්කෘතික මූල බීජ විනාශ කර දැමිය යුතු බවය. මේ අනුව, දේශීය සංස්කෘතිය තුළ සිනමාව පිළිබඳව ගොඩනැංවී තිබුණු මතවාදයන් අතර ප්‍රබලව බලපැවැත්වූ මතවාදය වූයේ 'සිංහල සිනමාව ද්‍රවිඩ බලපෑමෙන් මුදා ගනිමින් දේශීය වටිනාකම්, අනන්‍යතා සහිත සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීමට සිනමාව පවත්වාගෙය යාම" පිළිබඳවය.

ඒ අනුව 1956දී 'රේඛාව' නිර්මාණය වන විට මෙරට සංස්කෘතික හා දේශපාලන සංවාදය තුළ ප්‍රමුඛත්වය හිමි වූයේ දේශීය අනන්‍යතාවන් ගොඩනගා ගැනීමට සිනමාව ඉවහල් කර ගැනීම පිළිබඳවය. මෙනිසා දකුණු ඉන්දීයානු සිනමාවේ ආභාසයෙන් තොරව සිංහල සිනමාවක් ගොඩනැගීමට අවශ්‍ය කරන ලාංකිකකම සොයාගත හැක්කේ ග්‍රාමීය පරිසරයෙන් බව ඔවුන්ගේ මතය විය. ඒ අනුව ලෙස්ටර්ටද මේ අදහස්වලින් මිදිය නොහැකි විය. මේ නිසා දෘෂ්ටිවාදීමය වශයෙන් ලෙස්ටර් ගම ලෙස පරිකල්පනය කළේ ජාතිවාදීන් විසින් පෙන්වාදුන් ගම ය. ඔවුන් පැවසූ 'ගම ,ගමේකම,සිංහල ලකුණ,සිංහල සිරිත්විරිත්...' ආදී නොයෙක් මතවාදී නිර්මිතයන් ඊට බලපෑවේය. 'සැබෑ ලංකේය අනන්‍යතාව පවතින්නේ ග්‍රාමීය පරිසරය තුළ බවත්, සංස්කෘතික පිරිහීමට හේතු කාරණා වී ඇත්තේ නාගරිකකරණය වුණු ජීවන විලාසිතාව බවත් ඔවුන් ප්‍රචාරය කළේය. මේ සඳහා අනගාරික ධර්මපාල පෙරටු කොටගෙන ගෙන ගිය ඕල්කට් (රෙපරමාදු) බෞද්ධ ව්‍යාපෘතිය ප්‍රබල ලෙස බලපෑ බව නොරහසකි.

එහෙත් ලෙස්ටර් සිනමාවට අත්පොත් තබන්නේ මෙම ව්‍යාපෘතියේ මැදිහත් කරුවකු ලෙස නොවේ. ජාතිකවාදීන්ගේ බලාපොරොත්තුව වූයේ ගැමි සිංහල බෞද්ධ සමාජයේ සංස්කෘතික නිර්මිතයන් හා ඔවුන්ගේ ලෝක දෘෂ්ටිය වූ බෞද්ධ චින්තනය ඔස්සේ නිමැවෙන සිනමා නිර්මාණයක් කෙරෙහිය. එහෙත් ලෙස්ටර්ගේ කතෝලික පසුබිමත්, ඉහළ මධ්‍යමපාන්තික පවුල් පසුබිමත් හා එංගලන්තයේ පුවත්පත් කලාවේදියකු ලෙස සේවය කිරීම නිසා ඔහු ලැබූ පරිචයත් නිසා එය ඔහු මඟින් ඉටු නොවන කාර්යයක් බව පෙනුණි. ඒ වෙනුවට එවක නැගෙමින් පැවති වාමාන්ශිකයින් බලා පොරොත්තු වූ මානව හිතවාදය දෙසට ලෙස්ටර් තල්ලු වී ආවේය. අනෙක් අතට මානව හිතවාදය පිළිබිඹු නොවූ කලා නිර්මාණ දැඩි විවේචනයට හා හෙළා දැකීමට මෙම වාමාංශික සංවිධාන පුරුදුව සිටියේය. මානව හිතවාදය ඉලක්ක ගත විය යුත්තේ අධිරාජ්‍ය විරෝධී සටනට දායක වන මිනිසුන් හා ඔවුන්ගේ ජීවන ප්‍රවෘත්ති අනුසාරයෙන් යැයි ඔවුන් විශ්වාස කළේය. එසේම එය ජනතාවගේ අධිරාජ්‍ය විරෝධී සටන කුළු ගන්නන්නක් විය යුතු බවද ඔවුන් පැවසීය. මේ හේතුව නිසාදෝ 'රේඛාව' ඔවුන්ගේ නිර්දය විචාරයට හසු විය.

මේ පිළිබඳව විමසිලිමත්ව බැලීමේදී පෙනී යන්නේ මෙරට මුල් අදිමින් තිබූ ඊනියා වාමාංශික මානව හිතවාදයට වඩා ලෙස්ටර් ඉදිරිගාමී මානව හිතවාදී කලා කරුවකු බවය. රේඛාව වනාහී මානව සෞදර්ය අගය කළ සිනමා වේදියකුගේ නිසඟ ප්‍රකාශනයකි. එසේ වුවත් සිංහල සිනමාවේ යථාර්ථවාදී ගුණය මොනවට පෑ සිනමා නිර්මාණය 'රේඛාව' බව ඇතැම් විචාරකයින්ගේ මතය වී තිබුණි. එසේ ම මේ තුළ ඇත්තේ කිසියම් ගූඪ විශ්වාසයක් මත

 

පදනම් වුණු කතාවක් බවත් එය කිසියම් පුරෝගාමී කටයුත්තක් පමණක් බවත් සමහරකුගේ මතය විය. එමගින් නිරූපණය කෙරුණු ගම කොළඹ සිට ගම ගැන කවි ලියූ කවීන්ගේ ව්‍යාජ ගමක් වැනි යැයි ඔවුන් කීවේය. රජයේ චිත්‍රපට අංශයෙන් සමුගෙන කිසියම් සිනමා නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුවෙන් පිටව ආ ලෙස්ටර්ගේ අභිප්‍රාය වූයේ "වෘත්තාන්ත චිත්‍රපටයක් හදන්න කියල හිතාගෙන රජයේ චිත්‍රාගාරයෙන් එළියට එනකොට මට දැනුණ, මම මේ යන්න හදන්නෙ කිසිම අත්දැකීමක් නැති ක්ෂේත්‍රයකට නේද? කියල. ඇත්තටම මට ඕනවෙලා තිබුණ අපේ රටේ අපේම ජීවිතය පෙන්වන්න පුළුවන් චිත්‍රපටියක් හදන්න. ඒ කා‍රණේ ඉෂ්ට කර ගන්න නම් එතෙක් චිත්‍රපටවලින් කියපු කතාන්තරවලට හාත්පසින්ම වෙනස් කතාවක් තෝරගන්න ඕන. ඒ වෙනුවෙන් අළුත් නිර්මාණාක්මක ශෛලියක් ගොඩනංවන එක හරිම දුෂ්කර කටයුත්තක් වුණා. චිත්‍රපටයට වස්තුව වුණේ සාමාන්‍ය තේමාවක්. ගැමි මිථ්‍යා විශ්වාසමත පදනම් වෙච්ච කතාවක්." (දෙසතිය-1981 මාර්තු 15 වැනිදා)

නමුත් රේඛාව නිපදවීමේදී තාත්විකව එය ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයකට වඩා පෙරදිග ජීවිතයේ මිථ්‍යා විශ්වාස මත පදනම්ව පැවති ගූඪත්වය ඉස්මතු කිරීම මගින් ලාංකේය අනන්‍යතාවක් ස්ඵුට කර පෙන්වීමට හේ උත්සාහ කළා යැයි සිතිය හැකිය. පෙරදිග බොහෝ කලා කෘතිවල යථාර්ථවාදී පිළිබිඹුවක් දිස්වන්නේ මඳ වශයෙනි. අධිතාත්වික කලා රසයට මෙරට ප්‍රෙක්ෂකයා හුරුව සිටියේය. සිනමාව පිළිබඳව එතරම් කියැවීමක් නොති බූ කාලයක ඔවුන්ට වටහාගත හැකි ආකාරයට කිසියම් භාවපූර්ව විලාශයකින් ප්‍රෙක්ෂකයා යථාර්ථයට සමීප කිරීමට ලෙස්ටර් උත්සාහ කළේය. ඒ "අධිතාත්විකත්වය යටපත් කර භාවාත්මක රංගය ඔසවා තැබීමෙනි". පුරෝගාමී සිනමාකරුවකු ලෙස හේ අගේ කළ යුත්තේ එනිසාය.

ආචාර්ය ලෙස්ටර්ගේ නිර්මාණශීලීත්වය වටහා ගැනීමේදී ඔහු විසින් තෝරාගන්නා වස්තු විෂයෙහි පත්ලටම ගමන් නොකළද ඊට අදාළ චරිත හැසිරවීමෙදී මානව සබඳතා ඉතා සියුම් ඉංගිත මඟින් දැනවීමට හේ මහත් වෙහෙසක් දරා තිබේ. මෙය එක් අතකින් භාවමය නිර්මිතයකි. භාවපූර්වක ආකාරයකින් යථාර්ථයට සමීප වීමට ගත් උත්සාහයකි. එනිසා ඔහුගේ නිර්මාණ තුළින් අන්තර්ගතයට වඩා භාවමය සෞදර්ය විලාසයක් අප ඉදිරියේ දිස් වේ. (මේ යට වෙනමම කිය විය යුතු අධ්‍යයනය කළ යුතු ඉසව්වක් තිබේ) මෙය එක් අතකින් අධිතාත්වික කලා කෘතීන්ට සමීපව සිටි ප්‍රේක්ෂක ප්‍රජාව දිනා ගැනීමට කළ ප්‍රශස්ත සිනමාත්මක ප්‍රයෝගයකි. එහෙත් ගැටලුව වන්නේ ඊට පසුව හෝ වර්තමානයේ හෝ ඔහු මෙම සමාජ සත්තාව යථාර්ථවාදීව ඉස්මතු කිරීමට උත්සාහ නොකිරීමය. සුමිත්‍රා පීරිස් විසින් තැනුවද වෛෂ්ණාවී හීද මේ ගුණය නොඅඩුව වහනය වේ. එනිසා ප්‍රේක්ෂකයා ඒ තුළ රඳවා තබා ගැනීමට ඔවුන්ට හැකි වුවද ප්‍රේක්ෂකයා පරිකල්පනීය සීමාවකට රැගෙන ඒමට ඔවුහු අපොහෝසත් වෙති. සිනමා කෘතියක අන්තර්ගතයට වඩා ඉදිරිපත් කරන විලාසය පිළිබඳව ඔවුන් වැඩි අවදානයක් යොමු කිරීම ඊට හේතුවයි. එනිසා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යථාර්ථය නිරූපණය කිරීමට උනන්දුවක් දැක් වූ සිනමා කරුවකු ලෙස හැඳින්වීමට වඩා සිනමාවේ විලාසිතාමය විචිත්‍රවත් ගුණය රැගෙන සිනමාකරණයේ යෙදුණු සෞන්දර්යාත්මක සිනමා කරුවා ලෙස හැඳින් වීම වඩාත් ම උචිත වේ. මේ සෞන්දර්යාත්මක ගුණය සුමිත්‍රා පීරිස් තුළින් වහනය වන්නේ කෙසේද යත්, ඇතැමුන් ඇය හඳුන්වන්නේ සිනමාවේ කිවිඳිය කියාය.

ඔහුගේ අවමංගල්‍යට සහභාගි වූ දේශපාලඥයකු මේ ජේත්තුකාර සිනමාකරුවා ගැන සඳහන් කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ "ඔහුගෙන් පසුව මේ සිනමාව පිරවීමට කෙනෙකු නොමැති බවයි". නමුත් ඇත්ත වෙ‍ෙනකකි. මෙරට සිනමාකරණයේ නියැලෙන සියලු දක්ෂතාවලින් පොහොසත් තරුණ තරුණියෝ සිටිති. ඔවුන්ට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී ඒ සඳහා අවශ්‍ය ඉඩ සලසා දුන්නේ වී නම් ගුවන් පාලම් කියා ඒඳඬු හදා ලෝකයට ණය වනවාට වඩා ඉන්දියාව මෙන් ලෝක සිනමාව ජයගෙන විදේශ විනිමය ළඟා කරගැනීමට අපට ද හැකිය. ගැටලුව වන්නේ ඊට ඉදිරිපත් වී මේ අයට අතදෙන්නේ කවුරුන්ද යන්නය.

දක්ෂයින් සොයායන ඊනියා විද්‍යුත් නාලිකා ඉතාම නිර්ලජ්ජිත ලෙස වාණිජ පරමාර්ථය පෙරදැරිව ස්ටාර් වැඩසටහන් මෙහේයවති. මේවායින් ජයග්‍රහණය කරන තරුණ පරම්පරාව අවසානයේ ගෙනගොස් ඇත්තේ කොතැනටද? මේ රටේ දක්ෂතා ඇති කලාකරුවන්ට, තරුණ තරුණියන්ට අනුග්‍රාහය දක්වන්නේ නම් අග්‍රගණ්‍යය සිනමා කරුවන් ඉදිරියටත් මේ රටේ පහළ වන බව සහතිකය. දැනුදු එවැනි සිනමාකරුවන් මේ රටේ සිටිති. ඒහෙත් ඔවුන් හුදෙකලා වී ඇත. මෙලෙස හුදකලාවේ වසන සිනමා කරුවන් බොහෝ‍ දෙනා වෙහෙස මහන්සි වී අගනා සිනමා නිර්මාණ මානව ප්‍රජාවට දායද කර ලෝක පූජිත වූ අති දක්ෂ සිනමා කරුවෝය. මේ සිනමා කරුවන් අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාටද සුවිශේෂ ස්ථානයක් හිමි වේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා සිනමා කරුවාට ලබාදිය හැකි උතුම්ම ගෞරවය වන්නේ විකසිත වීමට නොහැකිව බලාගෙන සිටින සිනමාකරුවන්ට අත හිත ලබා දීමය. සිය ජීවිතයම සිනමාව වෙනුවෙන් කැප කළ මේ උතුම් මිනිසාට ඊට වඩා ගෞරවයක් කිසිසේත්ම ලබාදිය නොහැකිය. එය සැබෑම රාජකීය ගෞරවයක් වනු නොඅනුමානය.

Comments