පොත පත වත | සිළුමිණ

පොත පත වත

නඩුකාරයාගේ කතාව දොරට වැඩීම ජූනි 06 වැනිදා

 

ප්‍රවීණ ලේඛක ගුණරත්න ඒකනායක විසින් රචනා කරන ලද ගණ්ධබ්බයන්ගේ රාත්‍රිය නඩුකාරයාගේ කතාව කෘතිය ලබන ජූනි මස 06 වැනිදා උදේ 6ට සොයිසා පුර නිපුන් පොත් මැදුරේදී ජනගත කෙරේ.

කෘති අනූවක් පමණ ලියා ඇති කතුවරයාගේ මේ කෘතිය ඉන්දියාව පසුබිම් කරගෙන ලියැවී ඇත. ලංකාවේ යම් අවස්ථා ගළපමින් නඩුකාරයකුගේ සැඟවුණු ජීවිතය පිළිබඳ ලියැවුණු කතුවරයා අතින් මෙතෙක් නොලියැවුණු ආකාරයේ කෘතියකි.

 


සමන්මලීගෙන් 04 වැනිදා ළමා පොත් පහක්

 

බෝසත් උපතයි, පින්මල් පිදුමයි රමණීයයි මැයෙන් සමන්මලී පද්මකුමාර මහත්මිය විසින් රචිත ළමා පොත් පහක් එළි දැක්වීම 2018 ජුනි මස 04 වැනිදා සඳුදා සවස 3.30 සිට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පර්ශ්‍ර යේදී සිදු කෙරේ.


ධවල සංග්‍රාමය ජූනි 05 දා දොරට වඩී

 

ජයශංඛ කරුණාරත්න පරිවර්තනය කළ ඉන්ස්පෙක්ටර් වෙස්ට්ගේ අභිරහස් පරීක්ෂණ ‘ධවල සංග්‍රාමය ’ ලබන මස 05 වැනිදා පෙරවරු 10ට කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මා‍ව‍තේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී නිකුත් වේ.

මෙම කෘතියට පාදක වූ මුල් කෘතියේ නිර්මාතෘ ජෝන් ක්‍රීසි (1908 - 1973) විවිධ අන්වර්ථ නාම භාවිත කරමින් අපරාධ පරීක්ෂක නවකතා සහ විද්‍යා ප්‍රබන්ධ නවකතා 600කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කළ ලේඛකයෙකි.

ධවල සංග්‍රාමය කෘතිය එදින අඩු මිලකට මිලදී ගැනීමට පාඨකයනට අවකාශ සැලසේ.

 


නිල් සකුරා

කර්තෘ - වෛද්‍ය නන්දන කොල්ලුරේ

මිල - රු. 320

ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.

 

කතුවරයාගේ කුලුඳුල් නවකතාවයි. ප්‍රේම වෘත්තාන්තයක් වුවද ඊට එහා ගිය ගැඹුරු සමාජ හා සංස්කෘතික අර්ථ කථනයක් කතාව මගින් ගෙන හැර පෑමට කතුවරයා සමත් වී ඇත්තේය. ජපානය පසුබිම් කරගෙන ඇති ලියැවී ඇති මේ කතාවේ දී එරටේ පාරිසරික තත්ත්වය, ජන ජීවිතය, මහාමාර්ග පද්ධතිය හා එරට මිනිසුන්ගේ හැසිරීම් රටා හා සිතුම් පැතුම් පිළිබඳ පාඨකයාට මනා වැටහීමක් ලබා ගත හැකිවන සේ සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කර ඇත. සරලව හා රසවත්ව ලියැවුණු කෘතියකි.


ගිරිදේවි

කර්තෘ - ශාන්ති දිසානායක

මිල - රු. 550

ප්‍රකාශනය - සරසවි ප්‍රකාශනයකි.

 

කතුවරියගේ නවතම කෘතියයි. විවිධ මාතෘකා ඔස්සේ නවකතා රචනයේ යෙදෙන කතුවරිය මෙවර තෝරා ගෙන ඇත්තේ තවත් අපූරුම කතා වස්තු බීජයකි. අවජාතක ලෙසින් සමාජයේ ගැරහුමට ලක්ව සිටින යුවතියක පාසලේ සිටම කොන්කිරීමට හා අනෙක් සිසුවියන්ගේ උසුළු විසුළුවලට ලක් වෙද්දී ඒ සියල්ල විඳ දරා ගනිමින් හිස එසවීමට දරණ උත්සාහයක් කතාව පුරා දිව යයි. අවජාතක දැරියක වුවත් ඇය ශක්තිමත්ය. එඩිතරය. කිව යුතු දේ නොපැකිළව කීමට පසුබට නොවන්නීය. මේ ගති ලක්ෂණ නිසා ඇය කෙතෙක් ගැරහුම් ලැබුවද ‘යක්ෂ කෙල්ලක’ ලෙසින් කාටවත් හිස නොනමන්නීය.

ආශා නම් වන තරුණිය සිය මිත්තණිය හැ හැදී වැඩෙන තරුණියකි. කතාවේ ප්‍රධාන චරිතය වන ඇය කුඩා කල සිටම වෙනත් යුවතියන්ගේ නොමැති ආකාරයේ ගති ලක්ෂණවලින් යුක්තය.

කතුවරිය කතාව ගොතා ඇත්තේ චරිතයේ එම ගති ලක්ෂණ ඇගේ එදිනෙදා ජීවිතයේ ඇතිවන සිද්ධි ආශ්‍රයෙන් ඉස්මතුවන අන්දමටය. පෙර අපර සිද්ධි ගළපමින් කතුවරිය කතාව ගොතා ඇති අන්දම අපූරුය. ඇතැම් තැන්වලදී මිත්තණියගේ දෘෂ්ටි කෝණයෙන්ද තවත් තැනකදී ප්‍රධාන චරිතයේ පැරැණි මතක අවදි කරමින්ද කතාව ගලා යෑමට සලස්වා ‍ඇත. ඒ‍ අතරදී ප්‍රධාන චරිතය හා එක්වන තරුණයා ද කතුවරිය සිද්ධි මාලාවක් සමඟින් පාඨකයාට හඳුන්වා දෙයි.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ මේ සිද්ධි හා කාලය පටලවා නොගනිමින් කතාව ඉදිරියට ගෙන යෑමට කතුවරිය සමත්ව තිබීමය.

එනිසාම මුල සිට අග දක්වාම මේ කෘතිය කුතුහලයෙන් යුක්තය. මීළඟට සිදු වන්නේ කුමක්දැයි සිතා ගැනීම අවිනිශ්චිතය‍.

කතුවරිය කතාව ගොඩ නැගීමේදී භාවිත කරන වදන්ද අපූරුය. එවැනි ඇතැම් වදන් හාස්‍ය රසයෙන් යුතුය. ගැමි ව්‍යවහාරයන් අදාළ තැන්වලදී ගැළපෙන අයුරින් යොදා ගැනීමට ද කතුවරිය සමත්ව ඇත්තේය. සරල බසින් රසවත්ව ලියැවුණු කෘතියක් ලෙස හැඳින්විය හැකිය.


වෙසඟසිරි

ප්‍රකාශනය - මහනුවර ශ්‍රී වෛශාඛදාන සංග්‍රහ සමිතිය

වාර්ෂිකව මුද්‍රණය කර නොමිලයේ බෙදා හැරෙන සාර සංග්‍රහයකි. රටේ ප්‍රකට ලේඛක ලේඛිකාවන්, කවීන් හා විද්වතුන් ගේ අගනා නිර්මාණ එකතුවකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ප්‍රවීන ලේඛක දෙනගම සිරිවර්ධන, සංස්කෘතික අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල, ර. බ. මල්ලිකාරත්න, විජයරත්න අතුරුපාන, හාතාගොඩ විමලසිරි සහ උඩුගොඩ සමරසේකර ඇතුළු විද්වත් පිරිසකගේ සාර්ථක නිර්මාණවලින් සමන්විතය.

පාසල් හා දහම් පාසල් සිසුන් ඇතුළු ළමා ලේඛක ලේඛිකාවන්ට ද නිර්මාණ යොමු කිරීම සඳහා ඉඩකඩ සලසා තිබීම විශේෂය.


සිඳුණු වෙණ තත්

කර්තෘ - චන්ද්‍රවංශ ඥානසේකර

මිල - රු. 350

ප්‍රකාශනය - සරසවි ප්‍රකාශනයක්

ජීවිතය දෙස විමසුම්ව බැලීමට පාඨකයා පොලඹවන කාව්‍ය සංග්‍රහයකි. ජීවිතය සරලව විවරණය කරමින් ගෙතුණු කාව්‍යයන්ගෙන් යුතුය. කවියා තමන් ගේ අත්දැකීම් කවිය මාධ්‍ය කොටගෙන රසවත්ව හරවත්ව පාඨකයාට ඉදිරිපත් කර තිබේ. සමාජයේ වෙසෙන ගැහැනු පිරිමින් ඇසුරෙන් ලබන ආදරය, සෙනෙහස හා වේදනාව ආදී අත්දැකීම් පමණක් නොව සතා සිවුපාවා ගහකොළ හා මල් ගැනද නිර්මාණශීලිව කවි ඇස යොමු කිරීමට කවියා සමත්වී ඇත.

 

Comments